ඉස්ලාම් ආගමක් ද? ධර්මයක් ද?

ඉස්ලාම් ආගමක් ද? ධර්මයක් ද?

ෆාතිමා, සවුදි අරාබියාව.

ආගම යන්නට වර්තමාන ශබ්ද කෝෂයන්හි විවිධ අර්ථ දී ඇත. සැබවින්ම එකී අර්ථ දී ඇත්තේ කෙනකුගේ හිතූ මතයට නොවේ. ව්‍යවහාරයෙහි ඒ ඒ අර්ථයේ වලංගුතාවය සලකා ය. එවැනි අර්ථ කීපයක් මෙසේ දැක්විය හැකි ය. එනම් ඇදහීම, ලබ්ධිය, අවබෝධය, ශාස්ත්‍රය, පාරම්පරික ධර්මය, , පෙළ දහම, තන්ත්‍රය, තාන්ත්‍රික කෘතිය, පැමිණීම, සම්ප්‍රාප්තිය යනුයි.

මේවායින් ඉතාම වැදගත්, අර්ථාන්විත වචනය ලෙස ඇදහීම ගැනීම මෙතැනදී සාධාරණ වනු ඇතැයි සිතේ. එයට හේතුව ඇදහීම හෙවත් ආගමික විශ්වාසය මිනිසාගේ ලෞකික හා ලෝකෝත්තර විමුක්ති මාර්ගය ලෙස භාවිතයට පත්ව ඇති බව පිළිගන්නට සිදු වීමයි.

ඉහත දක්වන ලද වචන වලින් වැඩි හරියක ඇත්තෙත් ඇදහීම හෝ ඊට සබඳතාවක් ඇති අර්ථ නිරූපණයක් බව ද පෙනේ. මේ සටහනින් අදහස් කෙරෙන්නේ ආගම බිහිවීමට පාදක වූ මූලික සංකල්පය හෝ සංකල්ප ගැන විමසා බැලීමයි.

ආගමික දැනුම මුලින් ඉගෙන ගතයුතු අතර පසුව ඒවා අවබෝධය, පිලිගැනීම, පිලිපැදීම ආදී වශයෙන් අවසානයේ ඒවා ඇදැහීම කරනු ලබයි. එබැවින් අදහන්නා සැමවිටම ඉන්නේ අනුන්ගෙන් ණයට ගත් දැනුමෙන් මුලා වීම බවත් ඔහුට තමන් අදහන දැනුම විමර්ශනය කිරීමට බුද්ධිය පහල නොවේ. ඇදැහිල්ල පමණික් සිදු කරන බවත් විවේචනය වේ. නමුත් ධර්මය යනු එසේ නොවේ. එය ඇදහිල්ලක් මත පදනම් වූ දෘෂ්ඨියක් හෝ මතවාදයක් හෝ නොවේ. එය ලෝකයේ යථාර්ථයයි. එබැවින් මිනිසාට ධර්මයක් තුළින් ම විචාර බුද්ධියට ගැළපෙන මග පෙන්වීමක් ලැබෙන බව ඇතැමුන්ගේ මතයයි. මෙය සැබෑවකි. නමුත් ඉස්ලාම් සම්බන්ධයෙන් මෙය නිවැරදි නොවේ.

මන්ද යත් ඉස්ලාම් විශ්වාසය හා ඇදහිල්ල මත පදනම් වූ යම් යම් කරුණු ප්‍රකාශ කළ ද ලෞකික ජීවිතයේ සියලු කරුණු වලට නිසි මග පෙන්වයි. එය හුදෙක් ම සර්ව බල දෙවියන් ඇදහීම, සුර දූතවරු ඇදහීම, පරලොව, මරණින් මතු ජීවිතය, ස්වර්ගය හා නිරය වැනි ආධ්‍යාත්මික විශ්වාසය මත පමණක් පදනමු වූවක් නොව ගිහි ජීවිතය, අධ්‍යාපනය, ආර්ථිකය, දේශපාලනය වැනි මනු ජීවිතයට අවශ්‍ය කරන්නා වූ ප්‍රාෙයා්ගික කරුණු වල දී වඩාත් නිවැරදි හා යටාර්ථවාදී මග පෙන්වීම් ලබා දෙන ජීවන සැලැස්මකි.

ඉස්ලාම් ආධ්‍යාත්මයේ නාමයෙන් මිත්‍යා දෘෂ්ටිකත්වය කිසිසේත් ම අනුමත නොකරයි. එහි පැවසෙන ඇදහිලි වල පවා මානට සංහතියට යහපතක් වන කරුණු ම පැවසී ඇත. එබැවින් ඉස්ලාමය ඇදහිල්ලෙන් ආගමකි. ලෞකික මග පෙන්වීම් වලින් යටාර්ථවාදී ධර්මයකි.

සර්ව බල අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් යමක් පැවසුව ද ඒ ගැන විපරම් නොකර පිළි ගැනීම ඉස්ලාම් තරයේ හෙළා දකියි.

وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآَيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا (73) سورة الفرقان

ඔවුහු තම දෙවියන්ගේ වැකි මගින් අනුශාසනා කරනු ලැබූවේ නම් ඒ මත බිහිරන් හා අන්ධයින් ලෙස නොවැටෙති.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 25:73

ඉස්ලාම් ධර්මය අර්ථවත් වන්නේ කෙසේ දැයි දැන ගැනීමට අර්ථවත් ඉස්ලාම් යන පොත කියවන්න.