ජාතිවාදයට හිස නොනැමූ ශ්‍රී ලාංකේය ජනතාව

ජාතිවාදයට හිස නොනැමූ ශ්‍රී ලාංකේය ජනතාව
2015 වසරේ ශ්‍රි ලංකායේ උත්තරීතර පාර්ලිමෙන්තුවට මහජන නියෝජිතයින් තෝරා පත් කරන 8 වන මහ මැතිවරණය මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මැතිවරණයක් වන බවට කිසිඳු සැකයක් නැත. මහ මැතවරණයක් රටේ අනාගත සංවර්ධනය හා අභිවෘද්ධිය තීරණය කරන්නක් වූවත් මෙවර පැවති මැතිවරණය ඊටත් වඩා මදක් ඔබ්බට ගොස් ආගමික සංහිඳියාව හා සහ ජීවනයේ පැවැත්ම තීන්දු කරන තීරණාත්මක මැතිවරණයක් බව අප කාගේත් හැඟීම විය.
එක්සත් ජාතික පක්ෂය විසින් ආසන 106කින් සමන්විත විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටු වීමට සූදානමින් සිටියි.මෙවර මැතිවරණය කාගේත් අවධානයට යොමු වූයේ හිටපු විධායක ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය ඉලක්ක කර ගනිමින් මැති සභයට තරඟ කිරීමයි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය කිසිසේත්ම නොදෙන බව වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් නිකුත් කර සිටියේ ය. මෙම ප්‍රකාශය මහින්ද රාජපක්ෂ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයට මානසික ආතතියක් ඇති කළ අතර දේශපාලන කරලියේ උණුසුම තව දුරටත් ඉහළ නැංවිය.
එපමණක් නොව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත මහතා හා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සිය ලේකම් ධූර වලින් එකහෙලා ම ඉවත් කරනු ලැබීම ද මෙවර සන්ධාන පක්ෂය මානසිකව පරාජය වීමය බෙහෙවින් ම හේතුපාදක විය.
ජාතිවාදයට තිත!!!
තවත් සුවිශේෂී කරුණක් වූයේ සිංහල බෞද්ධ ජනතාව අතර ජාතිවාදී මානසිකත්වය ගොඩ නගා ශ්‍රී ලාංකේය ජනතාව කොටස් කර මහ ජාතීන් හා සුළු ජාතීන් වශයෙන් බෙදුම්වාදයක් ඇති කර මෙරටේ නම සිංහලේ රට යැයි ද මෙරටේ එක ම ජාතිය සිංහල ජාතිය පමණක් යැයි ද පවසමින් ජාතිවාදී වියරුවෙන් දේශපාලන බලයක් ගොඩ නැගීමට අතලොස්සක් දැරූ උත්සහය හුදෙක් ම පුස්සක් විම ය. දිවයින පුරා මැති සභය අරභයා තරඟ කළ භික්ෂු වරු සියලු දෙනා ම පාට පක්ෂ භේදයෙන් තොරව පරාජය වීම ජාතිවාදයට ජනතාව දුන් උචිත පිළිතුරක් විය.
එයින් අපට පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ ජනතාව ජාතිවාදී නොවන මෙරටේ සෙසු ජාතීන්ට ප්‍රේම කරන ඉතා කාරුණික ජනතාවක් වන බවයි. රටේ ඒකීයභාවය, ස්වෛරීය භාවය හා නිදහස සුරැකීම ලක් පුරවැසියන්ගේ මුළු අභාප්රාය වූවත් එය ජාතාවාදයෙන් සිදු නොකළ යුතු බවත් සියලු ජාතීන් සිරි ලක් මෑණියන්ගේ දුවාදරුවන් වන බවත් අපි සැමදා එක්සත්ව හා එක්සිත්ව කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් වන බවත් මෙවර මැතිවරණ ප්‍රතිඵලය තුළින් සිංහල ජන සමාජය තහවුරු කර තිබීම මෙරටේ සහජීවනය හා සදාචාරය පමණක් නොව ආර්ථිකය ද වේගයෙන් දියුණුවේ ඉලක්කය කරා හඹා යන බවට අනාවැකි පල කිරීමක් බව අප කාගේත් විශ්වාසයයි.
බොදු ජන පෙරමුණ හෙවත් බී.ජේ.පී. පක්ෂය
බොදු ජන පෙරමුණ නමින් නයා ලකුණින් තරඟ කරමින් සිංහල ජනතාවගේ ඡන්ද ගිලින්නට පැමිණි විෂකුරු සර්පයින්ට අවස්ථාවක් ලබා නොදී රටේ මහ ජනතාව ප්‍රතික්ෂේප කළේ බුරුමයේ අසින් විරාතුගේ න්‍යාය පත්‍රය අයින් කරමිනි. ඉස්ලාම් විරෝධී ආකල්ප දරන ඉන්දියාවේ බී.ජේ.පී. පක්ෂයට අප කිසිත් නොදෙවෙනිව ලංකාව තුළත් ඉස්ලාම් විරෝධී මානසිකත්වයක් ගොඩ නගන්නට බොදු බල සේනාව පටන් ගත්තේ මේ කපටි කෛරාටික දේශපාලුවන් විසින් දැනට වසර තුනකට පෙරදී සිට ය. ජාතික ව්‍යාපාරයක් සිදු කරන බව පවසමින් දිය යට ගිනි ගෙනියමින් දේශපාලනයක් සිදු කළ නිසා ම සැබෑ ජාතික ප්‍රේමයෙන් හෙබි කිරම විමලජෝති හිමි බොදු ජන පෙරමුණ කරලියට බසින්නට කලින් ම බොදු බල සේනාවෙන් ඉවත් විය.
මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා බොදු බල සේනාවේ බොදු ජන පෙරමුණ දිස්ත්‍රික්ක 16කට නාමයෝජනා ලබා දුන් අතර කොළඹ කණ්ඩායම් නායක ලෙස විතාරන්දෙණියේ නන්ද හිමි, කළුතර කණ්ඩායම් නායක ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතා යන අය විසින් නාමයෝජනා භාර දෙන ලදී.
අන්ත අසරණ පරාජයක්!!!
බොදු ජන පෙරමුණ පක්ෂයට සියලු දිස්ත්‍රික්ක වලින් ම ලබා ගත හැකි වූයේ හුදෙක් ම ඡන්ද 20377ක් පමණි. කිසිඳු ආසනයක් ලබා ගැනීමට නොහැකි විය.
දිස්ත්‍රික් මට්ටමෙන් බොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව දෙස බලන්න.
01.කළුතර දිස්ත්‍රික්කය 5727
02.ගාල්ල දිස්ත්‍රික්කය 3041
03.නුවර දිස්ත්‍රික්කය 2305
04.කොළඹ දිස්ත්‍රික්කය 2137
05.ගම්පහ දිස්ත්‍රික්කය 1664
06.කෑගල්ල දිස්ත්‍රික්කය 1530
07.කුරුණෑගල දිස්ත්‍රික්කය 788
08.බදුල්ල දිස්ත්‍රික්කය 688
09.පුත්තලම් දිස්ත්‍රික්කය 441
10.හම්බන්තොට දිස්ත්‍රික්කය 419
11.රත්නපුර දිස්ත්‍රික්කය 413
12.මාතලේ දිස්ත්‍රික්කය 402
13.නුවරඑළිය දිස්ත්‍රික්කය 313
14.අනුරාධපුර දිස්ත්‍රික්කය 285
15.පොලොන්නරුව දිස්ත්‍රික්කය 160
16.දිගාමඩුල්ල දිස්ත්‍රික්කය 64
උපරිම වශයෙන් ඡන්ද 5727ක් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර තරඟ කළ කළුතර දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි විය. එමෙන් ම කොළඹ කණ්ඩායම් නායක ලෙස විතාරන්දෙණියේ නන්ද හිමිට ඡන්ද 2137ක් පමණක් ද ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතාට ඡන්ද 1664ක් පමණක් ද ලබා ගත හැකි විය.
මේ තුළින් බොදු බල සේනා මෙරටේ දේශපාලනයට හා සමාජ සුබ සාධනයට බාධාවක් වන විෂකාරකයක් ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ ජනතාව තීන්දු කර තිබෙන බව මැතිවරණ ප්‍රතිළුල මොනවට පැහැදිලි කරයි.
ජාතිවාදය පරාජය වී තිබීම දෙනෙත් ඉදිරිපිට දකින්නෙමු. සිංහලකම හා දේශ ප්‍රේමිත්වය ඡන්ද වලට නොවිකිණෙන බව සැබෑ සිංහල බෞද්ධ ජනතාව බොදු බලේට ප්‍රා යෝගිකව ම ඔප්පු කළේ තව දුරටත් ජාතිවාදය පතුරුවා බුදු දහමට අපහස නොකරන මෙන් ජාතිය වෙනුවෙන් දැහැම් පණිවුඩයක් ද තබමිනි.
ජාතිය වෙනුවෙන් එක් පවුලකට එක් ඡන්දයක් ලබා දෙන්නැයි බොදු ජන පෙරමුණ ඡන්ද සිඟා කෑවත් රටේ බුද්ධිමත් ජනතාව ඊට හසු නොවූ බව ඉතා හොඳින් පෙනේ.
එදා 'බොදු බල සේනා' ගාල්ල කාර්යාලය වන ගාල්ලේ 'මෙත් සෙවණ' විවෘත කිරීමට ආරක්ෂක ලේකම්වරයා සහභාගි වීමෙන් හා බොදු බල සේනාවේ විවිධ කටයුතු සඳහා ආණ්ඩුවේ ඇමැතිවරුන් සහාය වීමෙන් පෙනුණේ එම සංවිධානයට රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවයි.
ඒ රාජ්‍ය අනුග්‍රහය ජනතාවගේ පිළි ගැනීමක් යැයි හුණු ගසා වසන් කළ බොදු බල සේනාවට අද ජනතාව පරදුවට තබා තම සංවිධානය පෝෂණය කිරීම වෙනුවට අවමානයෙන් වන්දි ගෙවන්නට සිදු වී ඇත. ඇමෙරිකානු හා ඊශ්‍රා යෙල් ගැති න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කළ දේශ ද්‍රෝහීන් අද වන විට අන්ත අසරණ පරාජයක් අත් කර ගෙන ඇත.
සිංහල බෞද්ධ ජනතාව අතිශයින් ම බුද්ධිමත් ජනතාවකි!!!
ජාතිවාදය පමණක් නොව පවුල් වාදය පරදවා ජාතීන් අතර සහ ජීවනය වර්ධනය කරන්නටත් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නටත් සිංහල බෞද්ධ ජනතාව බුද්ධිමත් තීරණයක් ගෙන ඇත.
හලාල් වලින් ආරම්භ වී කූරගල, දෙවනගල, නිකාබ්, ෂරීආ නීතිය යනාදී වශයෙන් ජාතික සමඟිය හා වනසමින් අවසානයේ දී ජාතික කොඩියට අත තබමින් රටේ උත්තරීතර නීතියට අපහස කරමින් රටේ ඒකීයභාවය හා ඒකාග්‍රතාවය ප්‍රශ්නාර්ථයක් කරමින් කටයුතු කළ අයට මෙරටේ සිංහල බෞද්ධ ජනතාව දුන්නේ මරු පහරක් වන බවට කිසිඳු සැකයක් නැත. එය දැනටමත් ඉතිහාසයේ සනිටුහන් වී හමාර ය.