තබ්ලීග් තඃලීමයේ මහිමය (?) - බුද්ධියේ විමසුමට

තබ්ලීග් තඃලීමයේ මහිමය (?) - බුද්ධියේ විමසුමට

අප සමාජයේ මුස්ලිම් වරුන් විසින් ඉස්ලාමීය නාමයෙන් බොහෝ සංවිධාන බිහි කර ඇත. මිනිසුන් හට යහ මග පෙන්වීමේ අරමුණින් ස්ථාපිත කර ඇති සංවිධාන අතරින් තබ්ලීග් සංවිධානය ද ප්‍රධාන ස්ථානයක් හිමි කර ගෙන ඇත. නමට පමණක් මුස්ලිම්වරුන් ලෙස ජීවත් වෙමින් සර්ව බලධාරී අල්ලාහ්ව අමතක කර, ඔහුට ඉටු කළ යුතු නැමදුම් ද අමතක කරල සොහොන් වන්දනාවල පුද්ගල වන්දනාවල මළවුන් පිදීමල ශාන්තුවරුන් ඇදහීම, ඔවුන්ගේ දෙපාමුල වැටීම, දාන මාන, යන්ත්‍ර, මන්ත්‍ර, වශී ගුරුකම්ල නැකැත් බැලීම, ජ්‍යෝතිෂය වැනි මිථ්‍යා දෘශ්ටික බහු දේව වාදී ඇදහිලි වල යෙදී ඉස්ලාමයේ වගකීම් අමතක කර අන්ධ භක්තිකයන් ලෙස ජීවත් වූවන් දැක ශෝකයට පත් වී මෙවැනි පාප ක්‍රියාවන් වලින් මුස්ලිම්වරුන් මුදවා ඉස්ලාමීය වගකීම් ඉටු කරන්නන් ලෙස වෙනස් කිරීමට ඉන්දියාවේ මෙම සංවිධානය ඉල්යාස් නැමැති වියතෙකු විසින් ආරම්භ කරන ලදී.

යහපත අණ කොට අයහපත වළක්වා යහ මාර්ගය දෙස කැඳවන පිරිසක් නුඹලා අතර සිටිය යුතුය. ජය ලද්දෝ ඔවුහු ම ය. පරිශුද්ධ වූ අල් කුර්ආන් 3:104

ඉහත කුර්ආන් වැකියට අනුව යහපත් මාර්ගය දෙස කැඳවන පිරිසක් බිහි කිරීමේ උසස් අරමුණින් මෙම සංවිධානය ස්ථාපිත කරන ලදී. අල්ලාහ් ව පමණක් නමදින පුද්ගලයින් මෙම සංවිධානයේ ප්‍රචාරක කටයුතු හරහා බිහි වූහ. වර්තමානයේ අධික සාමාජිකයින්ගෙන් යුත් සංවිධානයක් ලෙස තබ්ලීග් සංවිධානය දැකගත හැකිය.

අදටත් මෙම සංවිධානයේ සිටින්නන් තමන්ගේ මුදල් ද, කාලය ද, පවුල් ජීවිතය ද, ව්‍යාපාරය ද තුච්ච කොට සළකා අන් අයට ඉස්ලාමය පහදා දීමේ අරමුණින් මොවුන් කරන කැප කිරීම් ද, මොවුන් විසින් අනුගමනය කරන චාම් ගතික ජීවිතය ද, ඉබාදතයන් කිරීමට පෙන්වන උනන්දුව ද කවුරුත් පහත් කොට සැලකිය නොහැකි ය.

මොවුන්ගේ ක්‍රියාවන් දැක මෙම සංවිධානයට බොහෝ පිරිසක් එක් වීම ද මෙයට සහයෝගය දීම ද අදටත් දැකගත හැකිය.

එනමුත් අධික පිරිසකගේ සහයෝගය ලැබී ඇති බැවින් එය යහ මග ගමන් කරන සංවිධානයක් ලෙස අනුමාන කිරීම වැරදි ය. එක් සංවිධානයක් සත්‍ය මාර්ගයේ ගමන් කරන්නක් ද? අසත්‍ය මාර්ගයේ වැළලී සිටින්නක් ද? යන්න නිශ්චය කිරීමට ඇති නිර්ණායකය වනුයේ එහි ක්‍රියාවන් සහ ප්‍රතිපත්තීන් දේව පණිවුඩ වලට අනුකූලව තිබේ ද නැතහොත් එයට පටහැනිව තිබේ දැයි නිරීක්ෂණය කිරීමයි.

යහ මග ක්‍රියා කර එලොව ජීවිතය ජයග්‍රහණය කර ගැනීමට නම් දේව පණිවුඩ වලට අනුව ජීවිතය හැඩ ගස්වා ගත යුතු ය. ප්‍රථම මිනිසා සහ ධර්ම දූතයාණන් වන ආදම් තුමාණන් හට සර්ව බලධාරී අල්ලාහ් පැවසූ ප්‍රකාශයක් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වේ.

මෙතැනින් සියල්ලන් ම බසින්නග මා වෙතින් නුඹලාට යහ මග පැමිණෙන විට මාගේ යහ මග අනුගමනය කරන්නන්ට කිසිඳු බියක් නැත. ඔවුන් දුක් වන්නේ ද නැතැ යි අපි පැවසීමු. පරිශුද්ධ වූ අල් කුර්ආන් 2:38

දේව පණිවුඩ පිළිපදින්නන්ට පමණක් යහ මග ගමන් කිරීමේ හැකියාව ඇත්තේ යැයි සර්ව බලධාරී අල්ලාහ් ඉතා පැහැදිලිව ඉහත පරිශුද්ධ වූ අල් කුර්ආන් වැකියෙන් පවසයි.

දේව පණිවුඩ පිළිපැදිය යුතු පිරිසක් ගොඩ නැගිය යුතුය යන යහපත් අරමුණකින් තබ්ලීග් සංවිධානය ආරම්භ කළත්, ඉල්යාස් (රහ්) තුමාගේ අභාවයට පසු එහි සිටි සමහර පුද්ගලයින් එහි උසස් පරමාර්ථයෙන් වෙන මගකට හැරවීමේ කටයුතු වල නිරත වූ හ. උත්තමවරයන් හට අධික ලෙස ගෞරවය දැක්වීමට මහ ජනතාව පෙළඹවූ හ. නැවතත් සොහොන් වන්දනාවල ශාන්තුවරුන් ඇදහීම සහ තනි පුද්ගල නමස්කාරය වෙත ජනතාව කැඳවා යෑමේ උත්සාහයේ නිරත වූ හ.

මෙලෙස එහි ප්‍රතිපත්තීන් වෙනස් කිරීමට නිරත වූ පුද්ගලයින්ගෙන් ෂේහුල් හදීස් කුත්බුල් අක්තාබ් මුහම්මද් සකරියියා යනුවෙන් හැඳින්වෙන පුද්ගලයා ප්‍රමුඛස්ථානයේ සිටියේ ය. මොහු විසින් රචිත තබ්ලීග් තඃලීමය යන පොත කියවීම අනිවාර්ය කාර්යයක් ලෙස ප්‍රකාශ කරමින් තවමත් මෙම සංවිධානයේ සිටින්නන් විසින් රෑ දහවල් නොබලා මෙය කියවීමට දක්වන උනන්දුව අපරිමිත ය. පරිශුද්ධ වූ අල් කුර්ආනය සහ නබි නායක (සල්) තුමාණන්ගේ මඟ පෙන්වීම් වලට වඩා තබ්ලීග් සහෝදරයන් වැදගත් කොට සලකන මෙම තබ්ලීග් තඃලීමය එම සංවිධානයේ සිටින්නන්ට පහළ වූ නව ධාර්මික ග්‍රන්ථයක් ලෙස වෙනස් වී ඇත.

සලාතයේ මහිමය, රමළානයේ මහිමය, සකාතයේ මහිමය යනාදී වශයෙන් බොහෝ මාතෘකාවන් යටතේ සකරියියා විසින් රචනය කරන ලද තඃලීම් ග්‍රන්ථයේ ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්ති වලට පටහැනි විරුද්ධ කරුණු රාශියක් අඩංගු වී ඇත.

තබ්ලීග් තඃලීමය කෙතරම් දුරට පරිශුද්ධ වූ අල් කුර්ආනයට සහ නබි මගට පටහැනි ද, මෙය කියවීම කෙතරම් භයානක ද, යන්න පහදා දීම මෙම ලිපි පෙලේ මූලික පරමාර්ථය වන්නේ ය.

(1) අභාවප්‍රාප්ත වී උපන් උත්තමවරයා

උම්මු කුල්සුම් රලියල්ලාහු අන්හා තුමියගේ සැමියා වන අබ්දුර් රහ්මාන් (රලි) තුමා රෝගාතුරව සිටියේ ය. වරක් ඔහුට සිහි නැති විය. ඔහු මරණයට පත්වී ඇත යනුවෙන් සියලු දෙනාම තීරණය කළහ. එවිට උම්මු කුල්සුම් (රලි) තුමිය නැගිට ගොස් සලාත් කිරීමට පටන් ගත්තා ය. සලාතය අවසන් වූ විට අබ්දුර් රහ්මාන් (රලි) තුමාට නැවත සිහිය ඇති විය.

"ඇයි? මා මරණයට පත්වූ ලෙස සිටියේ දැ"යි එහි සිටි අයගෙන් ඇසීය. ඔව් යැයි ඔවුහු කීහ. එවිට අබ්දුර් රහ්මාන් (රලි) තුමා මලක්වරු දෙදෙනකු මා වෙත පැමිණ පිටත්වන්න මහා නීති ගරුක අල්ලාහු තආලාගේ සමූහයේ නුඹ ගැන තීරණය කිරීමට ඇත. එවිට තුන්වන මලක්වරයකු පැමිණ එම දෙදෙනා අමතා ඔබලා පිටත්වී යන්න මවු කුසේ සිටින විට වාසනාවන්තයෙකු යැයි ලියන ලද්දන්ගෙන් මොහු ද කෙනෙකි. මොහුගේ දරුවන් මොහු මගින් තවත් ප්‍රයෝජන ලැබීමට ඇතැයි පැවසූ පසු ඒ දෙදෙනා මා අත්හැර ගිය හ යැයි පැවසුවේ ය. මෙම සිද්ධියෙන් පසු මාසයක් වන තුරු අබ්දුර් රහ්මාන් (රලි) තුමා ජීවත්ව සිටියේ ය. ඉන් පසු මරණයට පත් විය.

(උපුටා දැක්වීම සලාතයේ මහිමය සිංහල පරිවර්තනය පිටු අංක 21)

සලාතයේ මහිමය පිළිබඳව ජනතාවට පවසා ඔවුන් ව දිරිමත් කිරීම උදෙසා මෙවැනි බොරු සිද්ධීන් කෘතියේ කර්තෘ වන සකරියියා සාහිබ් සඳහන් කර ඇත.

මතු පිටින් මෙවැනි සිද්ධීන් කියවන විට සලාතයේ මහිමය ගැන පවසන ආකාරයෙන් තිබුණත් ගැඹුරින් සිතා බලන විට මෙහි තිඛෙන උපහාසාත්මක භාවය දැනගත හැක. මෙම සිද්ධිය කෙතරම් දුරට ඉස්ලාමි ධර්මයට පටහැනි ද යැයි පරිශුද්ධ වූ අල් කුර්ආනය සහ සම්මත හදීසයින් හි අනුසාරයෙන් අපි නිරීක්ෂණය කර බලමු.

ඉහත සඳහන් කර ඇති සිද්ධියෙහි උත්තමවරයෙකුගේ ප්‍රාණය මලාඉකාවරුන් විසින් අත්පත් කළ පසු ඔහු උත්තමවරයෙකු නිසා ඔහුගේ ප්‍රාණය නැවත ඔහුට දී මාසයක කාලයක් ඔහුගේ මරණය පමා වූ බව සඳහන් කර ඇත. සකරියියා සාහිබ් විසින් උත්තමවරයින්ගේ මහිමය පෙන්වා ඔවුන් හට ගෞරවය එක් කිරීමට පරිශුද්ධ වූ අල් කුර්ආනයට ප්‍රතිවිරුද්ධව මෙවැනි කතාවක් එහි බරපලතලකම නොසළකා ගොතා ඇත.

මරණය පිළිබඳව ඉස්ලාම් ධර්මය පවසන්නේ කුමක්ද?

ප්‍රාණයන් ඒවා මරණයට පත් වන විටදීත් මරණයට පත් නොවන ඒවා නින්දේදීත් අල්ලාහ් අත්පත් කර ගනියි. කවරකට මරණය නියම කළේ ද එය තම අත් වසමෙහි තබා ගෙන අනෙක්වා නියමිත කාලයක් දක්වා හැර දමයි. සිතන ජනතාවට මෙහි සාධක රැසක් ඇත. පරිශුද්ධ වූ අල් කුර්ආන් 39:42

කෙනෙකු මරණයට පත් වීම යනු ඔහුගේ ප්‍රාණය සර්ව බලධාරී අල්ලාහ් විසින් ඔහුගේ අත් වසමෙහි තබා ගන්නා බව ඉහත කුර්ආන් වැකිය අවධාරණය කරයි. මරණයට පත් වූ කෙනෙකු කොහෙත්ම නැවතත් ඒමට නොහැකි බවට පරිශුද්ධ වූ අල් කුර්ආනයේ මේ වැකිය ම ප්‍රමාණවත් සාධකයක් වන බව සිතන අයට වටහා ගත හැකිය. මළගියවූන්ගේ ප්‍රාණයන් තම පාලනය යටතේ දෙවියන් තබා ගෙන සිටින බව මෙහි ඉතා පැහැදිලිව ම ප්‍රකාශ කරයි. දෙවියන්ගේ පාලනය යටතේ සිටින ආත්මයන් පාලනයෙන් මිදී ඒමට හැකි බව කිසිඳු මුස්ලිම්වරයෙකුට විශ්වාස කළ නොහැකිය.

සකරියියා සාහිබ් විසින් තඃලීමයේ සඳහන් කර ඇති එම සිද්ධිය විශ්වාස කරන අය දෙවියන්ගේ මේ පරිශුද්ධ වැකිය ප්‍රතික්ෂේප කළ අය බවට පත්වීමට සිදු වේ. නැතහොත් ඔවුහු දෙවියන්ගේ පාලනය ශක්තිමත් නොවන බව නොකියා කියති. ඉහත කරුණු දෙකෙන් කුමක් ඔවුහු පිළිගත්තත් ඉස්ලාමයෙන් ස්වෙච්ඡාවෙන් ම බැහැරව යති.

මරණයට පත් වීමේ දී මිනිසුන්ගේ ආත්මයන් දෙවියන්ගේ පාලනය යටතේ ඇති බව අල්ලාහ් දෙවැනි මතයකට ඉඩ නොතබා දැනුම් දුන් පසුත් සකරියියා සාහිබ් විසින් පවසනු ලැබූ එම සිද්ධිය මුස්ලිම්වරයෙකු විශ්වාස කරන්නේ කෙසේ ද? මෙවැන්නක් විශ්වාස කරන්නන් දෙවියන් හා දෙවියන්ගේ දූතයාණන් විශ්වාස කරන්නෙකු වන්නේ කෙසේ ද? තබ්ලීග් සහෝදරයින් මදක් සිතා බලනු මැනව.

මරණය පමා වේවි ද?

සෑම ජන සමාජයකට ම කාල සීමාවක් ඇත. ඔවුන්ගේ කාල සීමාව පැමිණෙන විට නිමේෂයකටවත් ඔවුහු පමා නොවෙති, ඉක්මන් ද නොවෙති. පරිශුද්ධ වූ අල් කුර්ආන් 7:34

අල්ලාහ් සිතූ දේ හැර මට ම අයහපතක් හෝ යහපතක් හෝ කිරීමට මට බලයක් නැතැ යි (මුහම්මද්,) පවසන්න. සෑම ජන සමාජයකට ම කාල සීමාවක් ඇත. ඔවුන්ගේ කාලය පැමිණෙන විට නිමේෂයකටවත් ඔවුහු පමා නොවෙති. ඉක්මන් ද නොවෙති. පරිශුද්ධ වූ අල් කුර්ආන් 10:49

මිනිසුන්ගේ අපරාධය හේතු කොටගෙන සර්ව බලධාරී අල්ලාහ් ඔවුනට (එකෙණෙහි ම) දඬුවම් කර සිටියේ නම් ඔහු පොළොවෙහි කිසිඳු ජීවියෙකු අත් හැර දමා සිටින්නේ නැත. නමුත් ඔහු නියමිත කාල සීමාවක් දක්වා ඔවුන් පමා කරයි. ඔවුන්ගේ කාල සීමාව පැමිණි විට සුළු මොහොතක්වත් ඔවුහු පමා නොවෙතිග ඉක්මන් ද නොවෙති. පරිශුද්ධ වූ අල් කුර්ආන් 16:61

ඉහත සඳහන් පරිශුද්ධ වූ අල් කුර්ආන් වැකියන් හි සර්ව බලධාරී අල්ලාහ් මිනිසාට නියම කර ඇති වේලාවේ නිමේෂයක්වත් පමා නොකර ප්‍රාණය අත් පත් කර ගන්නා බව පවසයි.

නුඹලාට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට දුන් දැයින් (යහපත් මාර්ගයේ) වියදම් කරන්න. "දෙවියනි, සුළු කලකට ඔබ මට ඉඩ ප්‍රස්තාවක් ලබා දිය යුතු නොවේ ද? සදකා කොට සත් පුරුෂයෙක් වී ඇත්තෙමි"යි එවිට (මිනිසා) පවසයි. කිසිඳු ප්‍රාණයකට එහි වාරය පැමිණියේ නම් අල්ලාහ් ඉඩ ප්‍රස්තාවක් නොදෙන්නේ ම ය. අල්ලාහ් නුඹලා කරන දේ ගැන ප්‍රවීණයෙකි. පරිශුද්ධ වූ අල් කුර්ආන් 63:10,11

මිනිසුන් තම ප්‍රාණය මලක්වරුන් විසින් අත් පත් කර ගන්නා මොහොතේ "මට ඉඩ ප්‍රස්තාවක් ලබා දිය යුතු නොවේ ද? සදකා කොට සත් පුරුෂයෙක් වී ඇත්තෙමි"යි පවසන බවත් එවිට කිසිඳු ප්‍රාණයකට එහි වාරය පැමිණියේ නම් අල්ලාහ් ඉඩ ප්‍රස්තාවක් නොදෙන බව ඉතා පැහැදිලිව ඉහත කුර්ආන් වැකියෙන් පවසයි. තමන් සත් පුරුෂයෙකු වීමට ද අල්ලාහ් විසින් කිසිඳු ඉඩ ප්‍රස්ථාවක් මරණ මොහොතේ නොදෙන ලෙස සඳහන් කර තිබුණත් සකරියියා සාහිබ් පරිශුද්ධ වූ අල් කුර්ආන් වැකියන්ට පටහැනිව කෙනෙකුගේ මරණ වේලාව පැමිණි පසුත් මලාඉකාවරුන් විසින් ප්‍රාණය අත් පත් කරගත් පසු ද, ඔහුගේ දුවා දරුවන් මොහු ගෙන් තවත් ප්‍රයෝජන ලබා ගැනීමට ඇතැයි පවසා ඔහුගේ ප්‍රාණය නැවත දුන් බව සඳහන් කර සර්ව බලධාරී අල්ලාහ් විසින් නියම කොට ඇති වේලාවට වඩා මසක පමණ කාලයක් මරණය පමා වූ බව සඳහන් කිරීමෙන් සකරියියා සාහිබ් පැවසීමට තැත් කරන්නේ කුමක් ද? සර්ව බලධාරී අල්ලාහ්ගේ නියමයන් සාමාන්‍ය ජනතාවට පමණකි උත්තමවරයන් එයට පටහැනිව කටයුතු කිරීමට හැකි බව පවසනවා ද? නැතහොත් සර්ව බලධාරී අල්ලාහ් පොරොන්දු කඩ කරන්නෙක් යැයි පවසනවා ද?

අල්ලාහ්ගේ සන්නිධානයේ සටහන් කිරීම අනවශ්‍ය කරුණක් ද?

ෂේහුල් හදීස් (හදීස් කලාවේ විද්වතා) යැයි තමන් ව හඳුන්වා දෙනු ලබන සකරියියා සාහිබ් හදීසයන් පිළිබඳ කිසිඳු දැනුමක් නොමැති පුද්ගලයෙකු බව ඔහු විසින් සඳහන් කර තිඛෙන සිද්ධියෙන් සිතා ගත හැක. උත්තමවරයින්ට ගෞරවය එක් කිරීමේ එකම අරමුණින් නබි නායක (සල්) තුමාණන් ගේ හදීසයන්ට පටහැනි කතාවන් ගොතා එයට ඉස්ලාමීය සායම් ආලේප කිරීමට උත්සාහ දරයි.

කෙනෙකු මරණයට පත් වූවොත් අයහපත් කෙනෙකු නම් "සිජ්ජීන්" නැමැති පොතේ ද, යහපත් කෙනෙකු නම් "ඉල්ලියීන්" නැමැති පොතේ ද ඔවුන්ගේ ක්‍රියාවන් සටහන් කරනු ලබන බව නබි නායක (සල්) තුමාණන් පවසා ඇත.

අපේ වැකි අසත්‍ය යැයි සිතා එය නොසලකා හරින්නන්ට අහසෙහි දොරටු විවෘත නොවේග ඉඳිකටුවේ සිදුරෙන් ඔටුවෙකු ඇතුළු වන තෙක් ඔවුහු ස්වර්ගයට ඇතුළු නොවෙති. වරදකරුවන්ට මේ අන්දමින් දඬුවම් කරන්නෙමු,( පරිශුද්ධ වූ අල් කුර්ආන් 7:10) යන වැකිය පවසා අවසානයේ පොළොවේ ඇති "සිජ්ජීන්" නමැති පොතේ මොහුගේ ගණන් සටහන් කරන්නැයි ගෞරවනීය හා උත්තරීතර සර්ව බලධාරී අල්ලාහ් ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ ය.

-හදීසයේ කොටසකි. මූලාශ්‍රය : අහ්මද්-17803

අවසානයේ හත්වෙනි අහස්තලය පසු කරත් ම සර්ව බලධාරී අල්ලාහ් එම ආත්මය රැගෙන ගිය සුර දූතයින් අමතා 'මගේ මෙම ගැත්තාගේ ක්‍රිරයාවන් ඉල්ලියීන හි (දේව විශ්වාසවන්තයින්ගේ ප්‍රාණයන් සිටින ස්ථානය) ලියා පදිංචි කර පොළොවේ ඇති ඔහුගේ දේහය සමඟ ඔහුගේ ආත්මය එක් කරන්නැ'යි ප්‍රකාශ කරයි.

-හදීසයේ කොටසකි. මූලාශ්‍රය : අහ්මද්-17803

මෙම සිද්ධීන් මරණයට පත් වීමට පෙර කෙනෙකුට දැන ගැනීමට නොහැකි වූවත් නබි නායක (සල්) තුමාණන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ධර්ම දූතයෙකු වන බැවින් සර්ව බලධාරී අල්ලාහ්ගේ වහී පණිවුඩ මගින් මරණයෙන් පසු සිදුවන සිද්ධීන් ප්‍රකාශ කර ඇත. කෙතරම් යහපත් පුද්ගලයෙකු වූවත් සර්ව බලධාරී අල්ලාහ් වෙතැති 'ඉල්ලියීන්' නැමැති පොතේ සඳහන් කිරීම අනිවාර්ය වේ, එය සර්ව බලධාරී අල්ලාහ්ගේ නියමයකි. එය ඉහත සඳහන් නබි නායක (සල්) තුමාණන්ගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව පෙනේ. එසේ තිබියදී සකරියියා සාහිබ් සර්ව බලධාරී අල්ලාහ්ගේ නියමයට, නබි (සල්) තුමාණන්ගේ ප්‍රකාශයට විරුද්ධව උත්තමවරුන් ගැන 'ඉල්ලියීන්' නැමැති පොතේ සටහන් කිරීම අවශ්‍ය නොවන බව ඉස්ලාම් ධර්මයට පටහැනිව සඳහන් කිරීමෙන් මොහුගේ හදීස් කලාවේ ප්‍රඥාවන්තකම කෙතරම් දැයි විදහා දක්වයි.

අල්ලාහ්ගේ අණ නොපිළිපදින මලාඉකාවරුන්

එපමණක් නොව මලාඉකාවරු යන සර්ව බලධාරී අල්ලාහ්ගේ අණට කීකරු වී කටයුතු කරන පිරිසකි. එහි කිසිඳු මුස්ලිම්වරයෙකුට වෙනස් මතයක් තිබීමට නොහැක.

තමන්ට ඉහළින් සිටින තම දෙවියන්ට ඔවුහු බිය වෙති. අණ වන ලද දේ ඉටු කරති. පරිශුද්ධ වූ අල් කුර්ආන් 16:50

ඉහත කුර්ආන් වැකිය ද එය ස්ථිරව ම පවසයි. නමුත් සකරියියා සාහිබ් විසින් සඳහන් කර ඇති සිද්ධියේ උත්තමවරයාගේ ප්‍රාණය ජීවය අත්පත් කර ගත් මලාඉකාවරුන් දෙදෙනා සර්ව බලධාරී අල්ලාහ්ගේ නියමය වන 'ඉල්ලියීන්' නැමැති පොතේ එය සඳහන් කිරීමට සැරසෙන විට වෙනත් මලක්වරයෙකු පැමිණ 'මවු කුසේ සිටින විට වාසනාවන්තයෙකු යැයි ලියන ලද්දන්ගෙන් මොහු ද කෙනෙකි' එම නිසා අන් අය සේ මොහුව සඳහන් කිරීම අනවශ්‍ය කාර්යයක් යැයි පවසා සර්ව බලධාරී අල්ලාහ්ගේ නියමයට විරුද්ධ ව මලාඉකාවරුන් ක්‍රියා කළ බව සඳහන් කර ඇත.

තම වහලූන් කෙරෙහි ආධිපත්‍ය පතුරුවන්නා ඔහු ම ය. ඔහු නුඹලා වෙත ආරක්ෂකයින් එවයි. එබැවින් නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණියේ නම් අපේ දූතවරු ඔහු අත් පත් කර ගනිති. ඔවුහු (එකී මෙහෙවරෙහි) කිසිඳු අඩුවක් නොකරති. පරිශුද්ධ වූ අල් කුර්ආන් 6:61

කෙනෙකුගේ ප්‍රාණය අත් පත් කිරීමට සර්ව බලධාරී අල්ලාහ්ගේ අණ මත මලාඉකාවරුන් එවන ලද්දේ යැයි ඉහත කුර්ආන් වැකිය සඳහන් කරයි. එසේ අල්ලාහ්ගේ අණ පරිදි එවන ලද මලාඉකාවරුන් වෙත වෙනත් මලක්වරයෙකු අල්ලාහ්ගේ අණට වෙනස් ව කටයුතු කරන ලෙස පවසයි ද? කතාවකට එසේ පැවසූ බව සිතුවත් මලාඉකාවරුන් කීකරු විය යුත්තේ අල්ලාහ්ගේ අණට ද? නැතහොත් ඔවුන්ට සමාන අන් මලක්වරයෙකුගේ අණට ද?

උත්තමවරුන්ගේ මහිමය පෙන්වීමේ නාමයෙන් මලාඉකාවරුන් සර්ව බලධාරී අල්ලාහ්ගේ අණට අකීකරුව ක්‍රියා කරන්නන් ලෙස නිරූපණය කිරීමට උත්සහ දරා ඇත.

සර්ව බලධාරී අල්ලාහ් කෙරෙහි කිසිඳු බියකින් තොරව උත්තමවරයන්ට ගෞරවයන් උසස් කිරීමට කිසිඳු බොරුවක් කීමට සැරසෙන පුද්ගලයිකුගේ රචනයක් වන තබ්ලීග් තඃලීමය කියවීමට සුදුසු ද? නුසුදුසු ද? යන්න ගැන ඉතා ඕනෑකමින් සිතා බලන මෙන් තබ්ලීග් සහෝදරවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

තඃලීමයේ ඇති ඉස්ලාමයට පටහැනි තවත් කරුණු බලාපොරොත්තු වන්න...