ඊද් මුබාරක් යන පැතුම ඉස්ලාම් ධර්මය තුළ අනුමත ක්‍රියාවක් ද?

ඊද් මුබාරක් යන පැතුම ඉස්ලාම් ධර්මය තුළ අනුමත ක්‍රියාවක් ද?

සංස්කාරක: ආර්. අබ්දුර් රාසික්

 අවුරැදු දන එකිනෙකා ඊද් මුබාරක් යන පැතුමෙන් සුබ පැතීමේ සිරිතක් සමාජය තුළ පැතිරෙමින් පවතී. මෙය ඉස්ලාමයේ අවධාරණය කරන ලද නබි මගක් යැයි සැලකෙන තරමට වේගයෙන් සමාජගත වී ඇත.

 යම් කෙනෙක් තම මව් බසින් තමන් ප්‍රිය කරන වදන් භාවිත කරමින් කුර්ආන් හදීස් වලට පටහැනි නොවන අයුරින් දුආ - ප්‍රාර්ථනා කරන ලෙසින් සුබ පැතීම වරදක් නොවේ. 

 අල්ලාහ් ඔබට දයාව දක්වනු මැනව!

 අල්ලාහ් ඔබට සතුටු සෞභාග්‍ය පිරි දිවියක් ලබා දෙනු මැනව!

 යනාදී වශයෙන් සුබ පැතීම වරදක් නොවේ.

 නමුත් යම් විශේෂිත වදන් පෙලක් සියලු දෙනා ම පැවසිය යුතු තත්ත්වයක් උදාවන අයුරින් යම් සුබ පැත්මක් පවතී නම් එය සර්ව බලධාරී අල්ලාහ් හෝ ඔහුගේ ධර්ම දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ප්‍රකාශ කර තිබිය යුතුය. මන්දයත් සියලු දෙනාට පොදු වූ පිළිවෙතක් ඇති කිරීමේ බලය තිබෙන්නේ ඔවුන්ට පමණි.

 ඊද් මුබාරක් යන සුබ පැතුම නබි නායක (සල්) තුමාණන්ගේ ජීවිත කාලයේ එකදු ‍වතාවක්වත් භාවිත කර නැත. එතුමාණන් භාවිත නොකළ මෙම වදන එතුමාණන් භාවිත කළ හා මග පෙන් වූ දෙයක් බවට චිත්ත රූපයක් ගොඩනගා අලුත් සුන්නතයක් ‍බිහි කිරීමට අවසර දිය නොහැකිය. අරාබි බසින් පිහිටිය යුත්තේ නබි නායක (සල්) තුමොණන් උගන්වා දුන් ප්‍රාර්ථනා, සුබ පැතුම් යනාදිය පමණි. අනෙක්වා ඔවුනොවුන්ගේ මව් බසින් පිහිටිය යුතුය.

 සුන්නත් යන තත්ත්වය අත් මිදී ඔවුනොවුන්ගේ කැමැත්තට සිදු කරන කාර්යයක් වශයෙන් සැලකෙන්නේ එවිට ය.

 යම් කිසි පුද්ගලයෙකු විසින් වසර කිහිපයකට පෙර බිහි කරන ලද වදනක් සියලු මුස්ලිම්වරුන් විසින් පිළිපදිනු ලබන්නේ නම් මෙය ඉවසිය හැක්කේ කෙසේ ද? නබි නායක (සල්) තුමාණන්ගේ තැන කිසිවෙකුට ලබා නොදෙමි යැයි ස්ථීරව සිටින කෙනෙක් තම තමන්ගේ බසින් සුබ පැතුම් හුවමාරු කර ගත යුතුය.

 සුබ පැතුම යන පදය අර්ථ දෙකක් ගෙන අයුරින් පිහිටා ඇත. ඔබ හොඳින් ජීවත් වන්න යනුවෙන් ආශිර්වාද කරන අයුරින් පිහිටීම එකකි. ඔබ හොඳින් ජීවත් වීම‍ට දෙවියන් වෙත ප්‍රාර්ථනා කරන අයුරින් පිහිටීම තවත් එකකි.

 ඔබ හොඳින් සිටින්නට නැතහොත් ජීවත් වීමට නැතහොත් දුක් පීඩා ඉවත් වන්නට අල්ලාහ් වෙත දුආ කරමි යන අර්ථයෙන් මෙසේ පැවසීම දෙවියන් වෙත මුස්ලිම් සහෝදරයෙකු වෙනුවෙන් ප්‍රාර්ඵනා කිරීම යන පොදු අවසරය තුළ එය අන්තර්ගත වේ.

 ආශිර්වාද කිරීම යන අර්ඵයෙන් මෙසේ නොපැවසිය යුතුය. යම් කෙනෙක් තවත් කෙනෙකුට ආශිර්වාද කිරීමෙන් ආශිර්වාදය ලැබූ තැනැත්තාට සුබ දිවියක් ලැබේ යැයි සැලකීම පිළිගත නොහැකිය. එසේ විශ්වාස කළ නොහැකිය, විශ්වාස නොකළ යුතුය. මුස්ලිම් සහෝදරයෙකුට දුආ කළ හැකි පොදු අවසරය යටතේ අවුරැදු දින වල දී ද දුආ කළ හැකිය. මෙකී පදනම මත පිහිටා සුබ පැතීම වරදක් නොවේ.

 නමුත් මෙය බිද්අතයක් - නබි මගේ ආදර්ශයක් නොමැති නූතන ධාර්මික කටයුත්තක් බවට පත් නොවිය යුතුය. යම් ක්‍රියාවක් බිද්අතයක් බවට පත් වන්නේ කෙසේ ද යන්න වටහා ගත්තා නම් මෙම කාරණාවේ දී ප්‍රවේශමෙන් සිටින්නට හැකි වනු ඇත.

 යම් කෙනෙක් රක්අත් දෙකක් නෆිල් සලාතය ඉටු කරන්නට ප්‍රිය කළේ නම් ඔහුට එය ඉටු කළ හැකිය. යම් දිනක උපවාසයේ යෙදෙන්නට ප්‍රිය කළේ නම් උපවාසයේ යෙදිය හැකිය. මෙයට සාධක වන්නේ පොදුවේ නෆිල් සලාතය ඉටු කිරීමට තිබෙන අනුමැතියයි.

 නමුත් අපි අවධානම්ශීලි නොවූයෙමු නම් මෙය පවා බිද්අත් විය හැකිය. මම උදෑසන 8 ට නෆිල් සලාතය ඉටු කරමි. එබැවින් සියලු දෙනා ම උදෑසන 8 ට නෆිල් සලාතය ඉටු කළ යුතුයැයි යම් කෙනෙක් පැවසුවේ නම් නැතහොත් ඔහු පවසන දේ සියල්ලෝ ම පිළිගෙන අනුගමනය කළහොත් එය බිද්අතයක් බවට පත් වනු ඇත.

 මම මුහර්රම් මස පළමු දින උපවාසයේ යෙදෙන බැවින් සියල්ලෝම උපවාසයේ යෙදිය යුතුයැයි යම් කෙනෙක් පැවසුවේ නම් එය අන් අය පිළිගෙන අනුගමනය කළහොත් එය ද බිද්අතයක් බවට පත් වනු ඇත.

 යම් කෙනෙක් තමන් විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී යම් ක්‍රියාවක් කරන්නේ නම් එය ඔහු පමණක් පිළිපැදිය යුතුය. ඔහු කරන දේ සියල්ලෝ ම අනුගමනය කළ යුතුයැයි පවසන්නේ නම් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ගේ බලය සියතට ගත් කෙනෙක් ලෙස සැලකේ.

 ඔහු කරන නිසා එය අන් අය පිළිගෙන ක්‍රියාත්මක කළහොත් අල්ලාහ්ගේ දූතයාණන්ගේ තැන එකී පුද්ගලයාට ලබා දුන් අය වශයෙන් සලකනු ලබති. සියල්ලෝ ම මෙය සිදු කළ යුතුයැයි පැවසීමේ බලය කිසිවෙකුට නැත.

 යම් කෙනෙක් ප්‍රිය කරන දිනක උපවාසයේ යෙදිය හැකියැයි පිළි ගන්නා අපි මිංරාජ්, බරාඅත් වැනි උපවාස නොයෙදිය යුතුයැයි පවසන්නෙමු. මෙයට හේතුව කුමක් ද? මෙය බිද්අත් යැයි අපි පැවසීමට හේතුව යම් කිසි පුද්ගලයෙක් ඇති කළ ක්‍රියාවක් සියලු දෙනාම පිළිපැදිය යුතු තත්ත්වයක් උදා වීම ය.

 යම් කෙනෙක් රජබ් මස 27 වන දින අහම්බෙන් උපවාසයේ යෙදුණේ නම් එය බිද්අතයක් නොවේ. මෙය සියලු දෙනා ම උපවාසයේ යෙදිය යුතු දිනයක් යැයි සලකා උපවාසයේ යෙදුණේ නම් එය බිද්අතයක් බවට පත් වනු ඇත.

 සියලු දෙනා ම යම් ක්‍රියාවක් නියමිත දිනක දී කළ යුතු නම් එය වහී - දේව පණිවුඩ මගින් තීන්දු විය යුතුය.

 ඊද් මුබාරක් හි තත්ත්වය කුමක් ද? එය අවුරැදු දිනක දී උසුරිය යුතු වදනකි. එය ධර්මයේ පිළිපැදිය යුතු සුබ පැතුමක් වශයෙන් සැලකෙන තත්ත්වයක් උදා වී ඇත. යම් කෙනෙක් ඔහුගේ කැමැත්තට ඊද් මුබාරක් පැවසුවේ නම් එය බිද්අතයක් නොවේ. නමුත් සියලු මුස්ලිම්වරු පවසන සුබ පැතුමක් බවට එය පත් වුවහොත් එය ධාර්මයේ අවධාරිත ක්‍රියාවක් බවට පත් වේ.

 යම් කිසි පුද්ගලයෙක් ඇති කළ ක්‍රියාවක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ වචනයකට සමාන තැනක් ගනී. සියලු බිද්අත් වල පදනම අල්ලාහ්ගේ දූතයාණන්ගේ තැන අනුන්ට පිරිනමන පුරැද්ද වේ.

 නියමිත දිනක නියමිත වදනක් සියලු දෙනා ම පැවසීමේ තත්ත්වයක් ඇති කිරීම‍ට අවසර දීම බරපතල වරදකි.

 ඊද් මුබාරක් පමණක් නොව හැපි රමසාන්, අවුරැදු සුබ පැතුම්, කුල්ල යව්මින් අන්තුම් බි කෛර් වැනි සියලු වචන මෙකී තත්ත්වයේ ම පවතී. යම් කෙනෙක් හමු වන විට සලාම් කීවෙමු නම් එය සියලු දෙනා විසින් ඒකාකාරීව කියනු ලැබේ. අල්ලාහ්ගේ දූතයාණන් (සල්) තුමාණන් එසේ පැවසූ නිසා එය සුන්නතයක් වේ.

 ඊද් මුබාරක් යැයි යම් කෙනෙක් භාවිතයට ගෙන ආ වදනක් සියලු දෙනා ම නියමිත දිනක පැවසිය යුතුයැයි පැවසීම පැහැදිලි බිද්අතයකි.

 حدثنا يعقوب حدثنا إبراهيم بن سعد عن أبيه عن القاسم بن محمد عن عائشة رضي الله عنها قالت قال رسول الله صلى الله عليه وسلم من أحدث في أمرنا هذا ما ليس فيه فهو رد رواه عبد الله بن جعفر المخرمي وعبد الواحد بن أبي عون عن سعد بن إبراهيم 2697

 මෙම ධර්මයේ නොමැති දෙයක් යම් කෙනෙක් ඇති කළේ නම් එය ප්‍රතික්ෂේප කරනු ලැබේ යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පැවසූ හ.

මූලාශ්‍රය: බුහාරි (2697)

 නියමිත වදනක් සියල්ලෝ ම පැවසිය යුතුය යනුවෙන් නොවී, නියමිත දිනක එය අනිවාර්යයයෙන් ම පැවසිය යුතුය යනුවෙන් නොවී, ආශිර්වාද කරන අයුරින් නොවී, ධර්මයේ අවසර ති‍ෙබන වචන භාවිත කර අවුරැදු දින වල දී හෝ වෙනත් දින වල දී හෝ දුආ කරන අන්දමින් සුබ පැතීම වරදක් නොවේ.

 බිද්අත් යන්න තවත් නොයෙකුත් සූක්ෂම ව වටහා ගත යුතු ස්වභාවයෙන් යුක්ත වන බැවින් ඉතා ප්‍රවේශමෙන් අපි කටයුතු කළ යුතුය.