නව වසර සැමරිය හැකි ද?

නව වසර සැමරිය හැකි ද?

නව වසර සැමරිය හැකි ද?

නව වසර සැමරීම ක්‍රිස්තියානි ජාතිකයින්ගේ සංස්කෘතියකි. මුස්ලිම් වරු ධර්ම දූතයෙකු යැයි නබි ඊසා-යේසුස් (අලෛ) තුමා ක්‍රිස්තියානි ජනතාව දෙවියෙකු ලෙස සලකති. ක්‍රිස්තියානි චාරිත්‍රයට අනුව, ජනවාරි පළමු වන දින වන්නේ යේසුස් (උපතින් දින අටක් ගෙවුණු දින) දිනය වන අතර, එදින දී එතුමාට යේසුස් යන නම දෙන ලදි (ලූක් 2: 21) යැයි ක්‍රිස්තියානුවරු විශ්වාසය කරති. එතැන් පටන්, ජනවාරි පළමු වන දින වසරේ පළමු දිනය ලෙස ගෝලීය සම්මතයක් බවට පත් වී සියලු ලෝ වැසියන් විසින් ලොව පුරා ප්‍රධාන උත්සවාංගයක් ලෙස සමරනු ලබයි.

ඊසා - ජේසු (අලෛ) තුමන්ගේ උත්පත්තිය සිදු වූ දිනය දෙසැම්බර් 25 වැනි දා යැයි ලොව පුරා මතයක් ව්‍යාප්ත කරවන ලදී. එහෙත් එදින යේසුස් වහන්සේගේ උපත සිදු විය නොහැකි බවට තර්ක කරන පිරිසක් ද සිටිති. ඊසා-ජේසු (අලෛ) තුමන්ගේ උපත දෙසැම්බර් 25 වන දින හා සම්බන්ධ වී ඇත්තේ කවර හේතුවක් නිසා දැයි ද , යේසුස් වහන්සේගේ උපන් දිනය ද ත‍වමත් සොයාගෙන නොමැති කරුණකි යන්න ප්‍රසිද්ධ රහසකි. යේසුස් වහන්සේගේ උපත සිදු වූ දිනය සම්බන්ධයෙන් මත කිහිපයක් ම පවතී. බයිබලයේ නව ගිවිසුමේ ද මේ පිළිබඳව නියත දිනයක් සඳහන් වන්නේ නැත.

කෙසේ වෙතත් නව වසර සැමරීම ක්‍රිස්තියානි ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන් හා බැඳී පවතින බැවින් මේ කාර්යයෙහි ඔවුන්ට සමානව කටයුතු නොකළ යුතුය.

නබි නායක (සල්) තුමාණන් පැවසූහ.

(අන්‍ය) ආගමිකයින්ට සමානව කටයුතු කරන කෙනෙක් අපට අයත් කෙනෙක් නොවේ. (මූලාශ්‍රය : අබු දාවූද් 3512)

නව වසර සැමරීම බුද්ධි ගෝචර ක්‍රියාකාරකමක් නොවේ.

තව ද නව වසර සැමරීම බුද්ධි ගෝචර ක්‍රියාකාරකමක් නොවේ. නව වසරක පිබිදීම ප්‍රීතිමත් ව සැමරීමට තරම් එහි ඇති විශේෂත්වය කුමක් ද? නව වසරක් ඇරඹීමෙන් ජනතාවට ඇති ප්‍රතිලාභය කුමක් ද? කිසිඳු යහපතක් එහි නැත.

නව වසරේ උදාව සමරා ප්‍රීතිමත්ව සිටීමෙන් වසරේ අනෙකුත් දවස් වල ද සතුටින් සිටිය හැකියැයි මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයක් ජනතාව අතර පවතී. වසරේ පළමු දවස සැමරිම තුළින් අනෙකුත් දවස් වල සතුටින් ජීවත් විය හැකියැයි අපගේ ප්‍රායෝගික ජීවතය අපට පවසනවා ද? ජීවිතයේ යහපත හෝ අයහපත හෝ අප සිතන පරිදි සිදු නොවේ. දිනක යහපතක් සිදු වූවා නම් තවත් දිනක අයහපතක් සිදු වේ. එයයි දේව නියමය. සියල්ල දේව නියමය අනුව ම සිදු වේ. නමුත් පළමු දවස සතුටින් සිටියා නම් වසර පුරා ම සතුටින් සිටිය හැකි යැයි සිතීම සැබවින් ම අනුවණ කමකි.

එසේ නම් අපි නව වසර සැමරිය යුත්තේ ඇයි? බුද්ධිමතුනි, සිතනු මැනව!

මුස්ලිම් වරුන්ගේ සැමරුම් දිනයන්...

මුස්ලිම් වරුන්ට සැමරීම සඳහා ඉස්ලාම් දහම විසින් හඳුන් වා දී ඇත්තේ දින දෙකක් පමණි. අනෙකුත් උත්සව දින සැමරීම මුස්ලිම් වරුන්ට සපුරා තහනම් ය.

එකල මදීනා නගරයෙහි වාසය කළ ජනතාව කිසිඳු පදනමකින් තොරව දින දෙකක් සමරමින් සිටිය හ. ඒ සැමරුම් සියල්ල අත් හැර දමා හජ් උත්සව දිනය සහ රමලාන් උත්සව දිනය පමණක් සමරන මෙන් නබි නායක (සල්) තුමාණන් නියෝග කළ හ.

අනස් (රලි) තුමා පැවසූහ.

නබි නායක (සල්) තුමාණන් මදීනාවට පැමිණිය හ. (මදීනා නගරයෙහි වාසය කළ) ජනතාවට දින දෙකක් (උත්සව දින) විය. ඒ දිනයන් හි ඔවුන් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටිය හ. 'මේ දිනයන් කුමක් ද?' යි නබි නායක (සල්) තුමාණන් විමසූ හ. 'අනුවණ යුගයේ අපි මේ දින වල ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියෙමු'යි ඔවුහු පැවසූ හ. එවිට නබි නායක (සල්) තුමාණන් 'අල්ලාහ් මේ දිනයන් වෙනුවට (සැමරීමට) වඩා හොඳ දිනයන් දෙකක් නුඹලාට පිරිනමා ඇත. ඒවා හජ් උතසවය හා රමලාන් උත්සවයන් යැ' යි පැවසූ හ. (මූලාශ්‍රය: අබූ දාවුද් 959)

නව වසර සැමරීමේ නාමයෙන් සිදු වන අමනෝඥ ක්‍රියාවන්

නව වසර සැමරීම යන බටහිර සංස්කෘතිය අප රට තුළ පැතිරීමත් සමඟ ම එයින් මෙරටට එල්ල වී ඇති බලපෑම කියා නිම කළ නොහැකි තරම් පවතී. එදින මධ්‍යම රාත්‍රියේ දුරාචාරයේ හා මත් පැන් භාවිතයේ අසීමිත ව ජනතාව නියැලී සිටින අයුරු ද, කාන්තාවන් විනයෙන් තොරව හැසිරෙන අයුරු ද, නව වසරෙහි උදාව සමඟ ම බොහෝ විශාල ගිණිකෙළි සංදර්ශණයන් හි කෝටි ප්‍ර කෝටි ගණන් මුදල් අපතේ යෑම ද යනා දී වශයෙන් නොයෙකුත් දුස්සීල ක්‍රියාවන් සිදු වේ. මේ සියල්ල සිදු වන්නේ ද නව වසර සැමරීම යන නාමයෙනි. එබැවින් නව වසර සැමරීම අපි ප්‍රතික්ෂේප කළ යුතු ය. විශේෂයෙන් ම නව වසර සැමරීමේ දුර් විපාකය ජනවාරි පළමු දින ජාතික හදිසි අනතුරු සේවය මගින් ප්‍රවෘත්ති වල දන්වන තොරතුරු මගින් වාර්ෂිකව අනාවරණය වේ. ගිනි කෙළි වලින් පරිසර දූෂණය එක් රැයකින් වසරක් පුරා සිදුවන පරිසර දූෂණයට වඩා අධික පරිසර දූෂණයක් සිදු වන බව තිත්ත වූ ඇත්තකි. අයහපත ඇස් පනා පිට දකිද්දීත් තවමත් ජනතාව එයින් මිදුණේ නැත. එබැවින් මානව සංහතියට හා පරිසරයට හානි ගෙන දෙන මෙකී නව වසර සැමරුම ඉස්ලාම් දහම සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත.

නව වසර සැමරීම ඉස්ලාම් දහමට පටහැනි ක්‍රියාවක් බැවින් එයට සුබ පැතීමත් නොකළ යුතු ය. 'සුබ අලුත් අවුරුද්දක් වේවා!, සුබ නව වසරක් වේවා!' යනා දී වශයෙන් සුබ පතන අය ඉහත දැක් වූ සියලු මානව හා සමාජ දූෂණ ක්‍රියාකාරකම් වලට සහය දුන් අය බවට පත් වනු ඇත. එබැවින් අලුත් අවුරුදු සුබ පැතුම් පැවසීම ඉස්ලාම් අනුමත නොකරයි.

ඉස්ලාමීය නව වසර සැමරිය හැකි ද?

ඉස්ලාම් දහමේ තහනම බටහිර ජාතිකයින්ගේ නව වසර සැමරීමටයි, එබැවින් මුස්ලිම්වරු මුහර්රම් පළමු වන දින ඉස්ලාමීය නව වසරක් ලෙස සැමරිය හැකියැයි වැරදී අවබෝධයකින් මුස්ලිම් ජනතාව විසින් මුහර්රම් පළමු වන දින නව වසරක් ලෙස සලකා එදින 'නව වසර සුබ පැතුම්' යයි ආචාර කරන පුරුද්දක් යම් යම් ප්‍රදේශ වල දැකගත හැකිය. මෙසේ ඉස්ලාමීය නව වසරක් සැමරීමට සර්ව බලධාරී අල්ලාහ් හෝ නබි නායක (සල්) තුමාණන් හෝ කිසිඳු අයුරකින් මග පෙන්වා නැත. මෙය අටුව කඩා පුටුව සෑදූ කථාවකි. ඉහත ජනවාරි පළමු දින සැමරීමට අප විසින් ඉදිරිපත් කළ තර්ක වලින් බොහෝමයක් මුහර්රම් පළමු දින සැමරුමටත් අදාළ වන බව බුද්ධිමතුන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. ඉහත සඳහන් කර ඇති කරුණු අනුව ඉස්ලාමීය නව වසර සැමරීම ද, එයට සුබ පැතීම ද ඉස්ලාම් දහම විසින් තහනම් කරන ලද ක්‍රියාවක් බව තහවුරු වේ.

එබැවින් ජනවාරි පළමු දින නව වසර සැමරීමෙන් අපි සියලු දෙනා ම වැළකී ආගම දහම මෙන් ම අපගේ වටිනා ජීවිත, ධන දේපළ මෙන් ම මිල කළ නොහැකි පරිසරය රැක ගනිමු!!!