ඉස්ලාම් හි දැක්මෙන් උලමා වරු - ආගමික වියතුන්

ඉස්ලාම් හි දැක්මෙන් උලමා වරු - ආගමික වියතුන්

ඉස්ලාම් හි දැක්මෙන් උලමා වරු - ආගමික වියතුන්

ඉස්ලාමීය සමාජයේ උලමා වරුන් යන නාමය ඇසූ විගස මුස්ලිම්වරුන්ගේ සිත් තුළ නැගෙන පරිකල්පනය වන්නේ උලමා වරු යනුවෙන් හැඳින්වෙන අය වසසර සතක් හෝ දහයක් හෝ ඉස්ලාමීය දහම් අධ්‍යාපනය හදාරණ ශාස්ත්‍රාලයක හෙවත් අරාබි විදුහලක (මද්රසාවක) ඉගෙන ගත්, පෙනුමෙන් අන් අයට සම නොවන අයුරින් වස්ත්‍ර ඇඳි, මනසෙන් පරිපාකභාවයට පත් වූ, හිස් මත්තෙහි සෑම විට ම තලප්පාවක් පැළඳගත්, පා මුල දක්වා ඇද හැලෙන උරුදු බසින් ජුබ්බා නම් වූ දීර්ඝ කමිසයක් ඇඳගත් පිරිසක් ගැන ය. එබැවින් උලමා වරු පවසන සියලු දැයට මුස්ලිම් ජනතාව කීකරු විය යුතු ය, අවනත විය යුතු ය, හේතුව ඔවුන් වර්ෂ ගණනාවක් මද්රසා වල ඉස්ලාම් ධර්මය හැදෑරූ බහුශෘතයන් ය යනුවෙන් අප සමාජයේ මුස්ලිම්වරු පවසති.

සාමාන්‍ය ජනතාව පමණක් නොව උලමා වරු යනුවෙන් තමන් ව ජනතාවට හඳුන්වන ඇතැම් අය පවා පවසන්නේ වසර හතක් ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය හැදෑරු හේතුවෙන්, ජීවිත කාලය ම ශාස්ත්‍රාලය හි වැය කළ හේතුවෙන් මෙරට මුස්ලිම්වරුන් ගේ ආගමික කටයුතු පිළිබඳ ව තීරණය කිරීමේ බලය අප සතු ය යනුවෙනි. මුසලිම් වරුන්ගේ නැමදුම් කටයුතු, ඇදහිලි හා විශ්වාස, නීති රීති ඇතුළු මෙරට මුස්ලිම් ජනතාව තම ආගමික කටයුතු ඉටු කළ යුත්තේ අප පවසන අයුරින් ය. හලාල් හරාම් යනුවෙන් මුස්ලිම් වරු අනුභව කළ යුතු ආහාර පාන, ඇඳුම් පැළඳුම් යනාදිය කුමක් ද යන්නත් චන්ද්‍රවංකය (ඉස්ලාමීය මාසයේ ඇරඹීම වෙනුවෙන් නව සඳ බැලීම) නිවේදනය කිරීමේ අධිකාරියත් අප සතු යැයි මේ උලමා වරු පවසති.

බුද්ධියේ මහිමය

ඉස්ලාම් දහම අධ්‍යාපනයට අතිශයින් ම ප්‍රමුඛස්ථානයක් පිරිනමයි. අධ්‍යාපනය හැදෑරීම, දැණුම වර්ධනය කර ගැනීම ඉතා වැදගත් කොට සළකයි. අධ්‍යාපනය සඳහා ජනතාව උනන්දු කරවයි.

විශ්වයේ මැවුම්කරු වන සර්ව බලධාරී අල්ලාහු තආලාගේ නිර්මාණ රාශීයක් අතරින් එක් නිර්මාණයක් වන මිනිසා අන් නිර්මාණ වලට වඩා වෙනස් ව ද, උසස් ව ද සැළකෙන්නෙත් ඔහුගේ මෙම බුද්ධිය නිසා ය. මෙම බුද්ධිය මිනිසාට පමණක් දුන් අමානතයක් (නිසි පරිදි පරිහරණය කර ආපසු භාර දිය යුතු වස්තුවක්) ලෙස ඉස්ලාම් ධර්මය බුද්ධියේ වැදගතකම ගැන පවසයි.

"අහස්, පොළොව හා කඳු වලට අපි භාරය (අමානතය) ගෙන හැර පෑවෙමු. ඒවා එය ඉසිලීමට ප්‍රතික්ෂේප කළේ ය. මිනිසා එය ඉසීලීය. ඔහු අපරාධ කරන්නෙක් ද අඥානයෙක් ද වේ." (අල් කුර්ආන් 33:72)

මෙම වැකියේ අල්ලාහු තආලා විසින් මිනිසාට පමණක් අමානතයක් පිරිනමන ලදැයි ප්‍රකාශ වේ. මෙම වැකියේ ප්‍රකාශ වන ‘අමානතය’ කුමක් දැයි අල් කුර්ආනයේ වෙනත් තැන්වල හෝ නබි වදන්වල හෝ සඳහන් වී නැත. නමුත් පොදුවේ මිනිසුන් හා සෙසු සියලු නිර්මාණ අතර තිබෙන වෙනස විවේක බුද්ධියයි. එබැවින් මෙම වැකිය සඳහන් කරන්නේ මේ ගැන යැයි අපට වටහාගත හැකිය. එලෙස අනෙක් කිසිඳු නිර්මාණයකට නොමැතිව මිනිසාට පමණක් පිරිනමන ලද මෙම විවේක බුද්ධියෙ හි වැදගත් භාවය ඉතා පැහැදිලි ව විශ්වයේ අධිපති මෙම වැකියෙන් අප හට පවසයි.

විශිෂ්ටතයා විද්‍යාධරයා ය.

උගත් නූගත් යන දෙපිරිස මෙලොව ජනතාව එක සමාන ව නොසලකනවා සේ සර්වඥ දෙවියන්ගේ දැක්මෙන් ද ඔවුන් එක සමාන නොවෙති. අනුශාසනා ඵල දීමට නම් බුද්ධියක් තිබිය යුතුය. යහපත් උපදෙස් ලබා ගැනීමට හැක්කෙත් බුද්ධිය වර්ධනය කර ගත් බුද්ධිමතුන් ය යැයි අල් කුර්ආනය පවසයි.

රාත්‍රි කාල වල දී සජ්දා කළ කෙනෙකු ව ද සිට ගත් කෙනෙකුව ද පරලොවට භය ව තම දෙවියන්ගේ දයාව අපේක්ෂා කරන්නෙකු ව ද නැමදුම් කරමින් සිටින්නා ද? (නැතහොත් එසේ නොකරන්නා ද?) දන්නා අයත් නොදන්නා අයත් එක සමාන වන්නේ දැයි අසන්න. යහපත් උපදෙස ලබන්නේ බුද්ධිමත්හූ ය. (අල් කුර්ආන් 39:9)

එපමණක් නොව, අධ්‍යාපනය හැදෑරූ අය මෙලොව විශිෂ්ටතයින් ලෙසත්, නූගත් අයට වඩා බොහෝ තරාතිරම් වලින් උසස් අය ලෙසත් පවසන අල්ලාහ් අධ්‍යාපනය හදාරමින් තම දැණුම වර්ධනය කර ගන්නා අයගේ තරාතිරම් උසස් කරන බව ද පවසයි.

“විශ්වාස කළ අයවලූනි, සභාවන්හි (අනුන්ට) ඉඩ දෙන්නැ”යි නුඹලාට පවසන ලද්දේ නම් ඉඩ දෙන්න. අල්ලාහ් නුඹලාට ඉඩ දෙන්නේ ය. “නැගිටින්නැ”යි පවසන ලද්දේ නම් නැගිටින්න. අල්ලාහ් නුඹලාගෙන් විශ්වාස කළ අය ද අධ්‍යාපනය දෙන ලද අය ද බොහෝ තරාතිරම් වලින් උසස් කරයි. අල්ලාහ් නුඹලා කරන දේ ගැන ප්‍රවීණයෙකි. (අල් කුර්ආන් 58:11)

 ආධ්‍යාත්මික ජීවිතය ජය ලබන්නට අධ්‍යාපනය අතිශයින් ම වැදගත් ය

සර්ව බලධාරී දෙවියන් පරිශුද්ධ වූ අල් කුර්ආනය හරහා මානව සංහතියට පවසන අනුශාසනාවන් හරි ආකාරයට වටහා ගැනීමට හැක්කේ ද නිවැරදි දැක්මක් තිබෙන අධ්‍යාපනයේ ප්‍රවීණයන්ට යැයි පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසයි.

(මුහම්මද්,) ඔබට මෙම ධර්ම ග්‍රන්ථය පහළ කළේ ඔහු ම ය. එහි නියතාර්ථ සහිත වාක්‍යයන් ඇත. ඒවා මෙම ධර්ම ග්‍රන්ථයේ මව ය. උභයාර්ථ වාක්‍යයන් කිහිපයක් ද ඇත. සිත් තුළ දෝෂයක් තිඛෙන අය අවුල් ඇති කිරීමට සිතමින් ද එයට සරිලන පරිදි විග්‍රහය සොයමින් ද එහි උභයාර්ථවත් දේවල් අනුගමනය කරති. අල්ලාහ් සහ අධ්‍යාපනයේ ප්‍රවීණයන් මිස (අන් අය) එහි විග්‍රහය නොදනිති. ඔවුහු “අපි මෙය විශ්වාස කළෙමු. සියල්ල ම අපේ දෙවියන් වෙතින් පැමිණි ඒවා යැ”යි පවසති. බුද්ධිමතුන් මිස (අන් අය) නොසිතති. (අල් කුර්ආන් 3:7)

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි වර්ග දෙකක් ඇත. එකක් නම් නියතාර්ථ වැකි වේ. අනෙක්වා උභයාර්ථවත් වැකි වේ. මේවායික් අර්ථ දෙකක් ගෙන දෙන උභයාර්ථවත් වැකි වටහා ගැනීමේ දී ඇතැම් අය මග වරදවාගත හැකිය. එවැනි අවස්ථාවක දී නිසි ලෙස අධ්‍යාපනයක් ලත් අය උභයාර්ථවත් වැකි පවා ඉස්ලාමීය මූලික ඉගැන්වීම් වලට පටහැනි නොවන අයුරින් වටහා ගන්නා බව සර්වඥ දෙවියන් පවසයි.

අල්ලාහ් සහ අධ්‍යාපනයේ ප්‍රවීණයන් මිස (අන් අය) එහි විග්‍රහය නොදනිති. ඔවුහු “අපි මෙය විශ්වාස කළෙමු. සියල්ල ම අපේ දෙවියන් වෙතින් පැමිණි ඒවා යැ”යි පවසති. බුද්ධිමතුන් මිස (අන් අය) නොසිතති යනුවෙන් මෙම වැකියේ අල්ලාහ් පවසන්නේ ඒ ගැන ය. දේව ධර්ම ග්‍රන්ථයක නිවැරදි පණිවුඩය වටහා ගැනීමට පවා අධ්‍යාපනය වැදගත් වන බව මෙයින් තහවුරු වේ.

මෙලෙස අධ්‍යාපනය ලැබීම, යමක් දැන ගෙන නුවණ වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ද, වැදගත් භාවය ද පරිශුද්ධ වූ අල් කුර්ආනය අපට අවබෝධ කර දෙයි.

මරණයට පසු ද කුසල් රැස් කරවන අධ්‍යාපනය

අධ්‍යාපනය මිනිසෙකුට මෙලොව මෙන් ම එළොව ජයග්‍රාහණයටත් කෙතරම් වැදගත් වන්නේ ද යැයි නබි නායක (සල්) තුමාණන් ද ඉතා අලංකාරවත් ව පහදා දී ඇත්තා හ.

නබි නායක (සල්) තුමාණන් පැවසූහ.

කෙනෙකු මරණයට පත් වූයේ නම්, ඔහුගේ ක්‍රියාවන් තුනක් හැර අන් සෑම දෙයක් ම ක්‍රියා විරහිත වේ. 

  1. ස්ථාවර ධර්මය (සදකතුල් ජාරියා).
  2. ප්‍රයෝජනවත් අධ්‍යාපනය
  3. ඔහු වෙනුවෙන් දෙවියන් වෙත ප්‍රාර්ථනා කරන සැදැහැවත් දරුවන්.

(ග්‍රන්ථය: සහීහ් මුස්ලිම් 3358)

මෙම හදීසයෙන් නබි නායක (සල්) තුමාණන් අධ්‍යාපනය කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි කර දෙති. මෙහි "අන් ක්‍රියාවන් ක්‍රියා විරහිත වේ" යන්නෙන් අදහස් වන්නේ මරණයට පත් වීමෙන් පසුව කිසිඳු ක්‍රියාවක් කිරීමට මිනිසාට නොහැකි නිසා කිසිඳු ක්‍රියාවක් මගින් කුසලක් ඉපැයීමට නොහැකිය. එනමුත් ඉහත ක්‍රියාවන් තුන පමණක් මරණයට පත් වීමෙන් පසුත් මිනිසෙකු පිං කටයුතු කරමින් සිටින්නා සේ සලකා කුසල් පිරිනමනු ලැබේ.

ඉන් එක් ක්‍රියාවක් වශයෙන් "ප්‍රයෝජනවත් අධ්‍යාපනය" නබි නායක (සල්) තුමාණන් විසින් සඳහන් කර ඇත. ඉන් අදහස් වන්නේ යම් පුද්ගලයෙකු විසින් අධ්‍යාපනය හදාරා එය අන් කෙනෙකුට උගන්වා දීමෙන්, අන් අය ප්‍රයෝජන ලබන තෙක් ඔහුගේ මරණයට පසුත් ඒ අධ්‍යාපනය ඔහු විසින් ම උගන්වා දුන්නා සේ සලකා සර්ව බලධාරී දෙවියන් ඔහුට කුසල් පිරිනමන බවයි. මෙකී නබි වදනින් අධ්‍යාපනයේ වැදගත්කම වටහාගත හැක.

මිනිසා යහපත් ක්‍රියා කිරීමට දැහැම් අධ්‍යාපනය අත්‍යාවශ්‍ය ය.

ප්‍රයෝජනවත් අධ්‍යාපනය යන වාක්‍යංශය තුළ ලෞකික අධ්‍යාපනය සහ ධාර්මීක අධ්‍යාපනය යන දෙක ම අදහස් කෙරුණ ද මිනිසෙකුගේ ජීවිතයේ තමන්ටත් තමන් විසින් අන් අයටත් ප්‍රයෝජනයක් වන පරිදි කටයුතු කිරීමට නම් ඔහුට ධාර්මික අධ්‍යාපනය අවශ්‍ය ම වන්නේ ය.

අප ජීවත් වන මෙම විද්‍යාත්මක යුගයේ මිනිසා මචිත කරවන අයුරින් මිනිසා විසින් දිනපතා නව සොයාගැනීම් එළි දක්වා, සතා සිවුපාවුන් පිට මත දිගු දවස් ගමන් කළ කාලය වෙනස් කොට තත්පර ගණනකින් සීඝ්‍රයෙන් සැතපුම් ගණන් පසු කර යන යාන වාහන ද, පෘථිවියෙන් එපිට ගමන් කර මහ පොළොවෙන් එහා තිබෙන ග්‍රහ ලෝක වල මිනිසාට වාසය කළ හැකි දැයි පර්යේෂණ පවත්වන තත්ත්වයකට මිනිසා පත් වී ඇත. විද්‍යා දැනුමේ මුදුන් පෙත්තට පිය මං කර තිබෙන මිනිසාට මෙම දැනුමෙන් ඔහුට හා අන් අයටත් යහපතක් වන ලෙසින් ජීවිතය හැඩ ගැන්වීමට සමත් වූයේ ද?

මිනිසා දැනුමෙන් කෙතරම් වර්ධනය වූවත්, මිනිසාගේ ජීවිතයේ වැදගත් අංගයක් කොට සැලකෙන විවාහ මංගල්‍යයේ දී උගත් නූගත් වෙනසකින් තොරව දෑවැද්ද නමැති සමාජ දූෂිත ක්‍රියාව විවාහ මංගල්‍යයේ අංගයක් බවට පත් කර ගෙන ඇත. විවාහ ජීවිතයේ පුරුෂයාට වඩා ස්ත්‍රීයට දැඩි අලාභ හානි ඉසිලීමට සිදු වන බව අපි කවුරුත් දනිමු. විවාහ බන්ධය යන එක ම හේතුව නිසා කාන්තාවක් ඇයගේ කුඩා කල සිට හැදී වැඩුණු, කෙළි සෙල්ලම් වල නියැලුණු ඇගේ නිවස, වට පිටාව ද, දෙමාපියන් ද, ඇතැම් විට තමන්ගේ මවි බිම ද අත් හැර සැමියා පවසන දිසාවකට යෑමට සිදු වේ. එමෙන් ම, දස මසක් කුසෙහි කළලයක් ඉසිලීමට ද, එම වේලාවේ ඇයට නිසි පරිදි ආහාර පාන භුක්ති විඳීමට ද නොහැකිව, සුව පහසු නින්දකින් සැතපීමට ද නොහැකිව, අධික බෙලිහීන තත්වයකට ඇය පත් වන්නී ය. මෙලෙස විවාහ ජීවිතයේ පුරුෂයාට වඩා ස්ත්‍රීයට දැඩි කරදර ඉසිලීමට සිදු වේ. මෙලෙස පීඩාවට පත් වන ඔවුන්ගෙන් දෑවැදි ගැනීම වරදක් යැයි වටහා ගැනීමට ලෞකික අධ්‍යාපනයෙන් පෝෂණය වූ අයට පවා නොහැකි වී කිබේ.

දෑවැද්ද යනු සමාජ විරෝධී කටයුත්තක් බව අවබෝධ කර ගැනීමට අමතර අධ්‍යාපනයක් අවශ්‍ය නොවුණත්, නූගතුන්ට වඩා උගතුන්ට ඉතා පැහැදිළිව එහි වැරදි භාවය ඔහුගේ අධ්‍යාපන දැනුමෙන් වටහා ගත හැකිය. නමුත් සමාජයේ නූගතුන්ට වඩා උගතුන් ඔවුන්ගේ උගත්භාවය, අධ්‍යාපන මට්ටම උකසට තබා දෑවැද්ද යන පාපයේ අධික ලෙස ගිලිහී සිටීමෙන් ලෞකික දැනුමෙන් මිනිසෙකුගේ යහපත් යහපත් ජීවන චර්යාවට මගක් නොපෑදෙන බව පැහැදිලිව දැකගත හැකිය.

මත් ද්‍රව්‍ය භාවිතය මිනිසාට අහිත කරන ඔහුගේ ජීවිතය විනාශ කරන ක්‍රියාවක් ලෙස හඳුනාගත් මිනිසා ඔහු ලබාගත් දැනුමෙන් එයින් මිදී මත් ද්‍රව්‍යයෙන් තොර ලොවක් බිහි කිරීමට තැත් නොකර තාක්ෂණිකව මත් ද්‍රව්‍ය භාවිත කරන ක්‍රම සොයා ගැනීමෙන් ලෞකික අධ්‍යාපනය තුළින් මිනිසෙකුට යහ මගක් ලබා ගත නොහැකි බව පැහැදිළිව සනාථ වෙයි.

මිනිසා සංවර්ධනය කරා ගමන් කළත්, විද්‍යාත්මක දැනුම සීඝ්‍රයෙන් වර්ධනය වූවත්, එය පමණක් ඔහුගේ ජීවිතයට යහ මග පෙන්විය නොහැකිය. ඔහුගේ ජීවිතය යහ මගට යොමු කළ හැක්කේ ධාර්මීක දැනුමෙන් පෝෂණය වීමෙනි. ධාර්මීක දැනුම මිනිසෙකුට ඉතා ප්‍රයෝජනවත් දැනුමකි.

පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසන ආලිම්වරුන්(වියතුන්)

වසර ගණනාවක් දහම් දැනුම හැදෑරූ ඇතැම්හු පවසන්නේ තමන් ධාර්මීක දැනුමෙන් පෝෂණය වූවන් බැවින් උලමා වරු නමැති සුවිශේෂි පදවිය තමන් සතු බවයි. නියත වශයෙන් ම, වර්ෂ ගණනයක් ශාස්ත්‍රාලයෙහි ඉගෙන ගත් නිසා ම, එහි දුන් ආහාර අනුභව කර තම උදරය විස්තීරණය කළ නිසා ම, ඔවුනට ඉස්ලාම් හි දැක්මෙන් ආලිම්වරු විය නොහැකිය. ආලිම්වරයෙකුට තිබිය යුතු ලක්ෂණ වන්නේ තලප්පාව හා ජුබ්බාව පැළඳීම, වර්ෂ ගණනාවක් ශාස්ත්‍රාලයෙ හි සිටීම යනාදිය ද? ඉස්ලාම් ධර්මය පවසන ආලිම්වරුන් කව්රුන් ද? ඔවුන් හට තිබිය යුතු ගුණාංග කුමක් ද? යන්න අපි දැන සිටිය යුතුය.

අල්ලාහ්ගේ දැක්මෙන් ආලිම්වරයෙකු වීමට තිබිය යුතු ගති ලක්ෂණ කුමක්දැයි පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසයි.

මෙලෙස ම මිනිසුන්, උරගයින් හා සිවුපාවුන් අතර ද විවිධ වර්ණ වලින් යුත් ඒවා ඇත. අල්ලාහ්ගේ වහලුන්ගෙන් ඔහුට බිය බැතිමත් වන්නේ උගත්හු ම (ආලිම්වරුන්) ය. අල්ලාහ් අබිබවන්නෙකි, ක්ෂමා කරන්නෙකි.

(අල් කුර්ආන් 35:28)

මෙලොව අල්ලාහ් පැවසූ පරිදි අපගේ ජීවිතය හැඩ ගස්වා නොගත්තේ නම්, අල්ලාහ් පෙන් වූ මාර්ගයට පටහැනිව ජීවත් වූයේ නම්, ඔහු කියා නොදුන් දෑ ආගමේ ක්‍රියාවක් ලෙස කළේ නම්, මරණින් මතු ජීවිතයේ අපට නිසි දඬුවම් ලැබේවි යන අල්ලාහ් පිළිබඳ බිය කවරෙකුගේ සිත් තුළ පවතින්නේ ද එවැනි බිය බැතිමත් අය ආලිම්වරුන් යැයි ඉහත වැකියෙන් අල්ලාහ් පවසයි.

නමුත් අප සමාජයේ ආලිම්වරුන් යැයි පවසන ඈතැමුන් අල්ලාහ් පවසන ආලිම්වරුන් නොවේ යැයි ඔවුන්ගේ ක්‍රියා කලාප වලින්, ඉස්ලාමීය ජන සමාජයට ඔවුන් උගන්වා දෙන ධාර්මික කරුණු වලින්, අපට වටහා ගත හැකිය.

නබි නායක (සල්) තුමාණන්ගේ අවවාදය

නබි නායක (සල්) තුමාණන් මෙලොව ජනයාට එලොව ජයග්‍රහණය වෙනුවෙන් අනුශාසනා කළ ධර්මය තුළ සර්ව බලධාරී එක ම දෙවියන්ට සමානයන් කල්පනය කිරීමේ අන්තරාය ය පිළිබඳ අවවාද කිරීමෙන් අනතුරුව දැඩි ලෙස අවවාද කළ, එතුමාණන්ගේ සෑම දේශනාවක දී ම පළමුවෙන් ම ජනතාවට අනතුරු හැඟවූයේ "බිද් අත්" යනුවෙන් හැඳින්වෙන ධාර්මික අවසරයක් නොමැති නූතන ධාර්මික ක්‍රියාවන් සිදු කිරීම ය.

කෙතරම් දුරට දැඩි ලෙස නබි නායක (සල්) තුමාණන් මෙකී ක්‍රියාව පිළිබඳව අවවාද කළේ ද යැයි කිවතොත්. මෙවැනි ක්‍රියාවන් කරන්නන් නිරයට පිවිසෙති යනුවෙන් ද, විනිශ්චය දිනයේ හිරු රශ්මියෙන් මිනිසාගේ තොල් වියළි ‍වී, එදින පිපාසයෙන් පෙළෙන මිනිසා ජල උගුරකට තමන් සතු සියල්ල පරදුවට තැබීමටත් තැත් කරන මොහොතේ දී අල්ලාහ් විසින් නබි නායක (සල්) තුමාණන් ගේ ජන සමාජයට ජලය පෙවීමට එතුමාණන් වෙත සුවිශේෂි ව භාර දී ඇති "කව්සර්" නැමැති ජල තටාකයේ ජලය පානය කිරීමට ද "බිද් අත්" නැමැති පාපය කරවුන්ට නොහැකි බව නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ කළ හ.

නබි නායක (සල්) තුමාණන් පැවසූහ.

මම එදින (කව්සර් නැමැති) ජල තටාකයට ගොස් ජලය පිරිනැමීමට බලා සිටින්නෙමි. ඇතැම්හු දඩාවතේ යන ඔටුවන් පලවා හරින සේ එම තටාකයෙන් පලවා හරිනු ලබති. එවිට මම ඔවුනට පැමිණෙන්නැයි පවසන්නෙමි. එවිට මොවුන් ඔබට පසු ඔබගේ ධර්මය වෙනස් කළ හ යනුවෙන් මට දන්වනු ලැබේ.

(ග්‍රන්ථය: මුස්ලිම් 419)

මෙලෙස එදින වතුර බිඳක්වත් නොලැබෙන දැඩි පාපයක් ලෙස නබි නායක (සල්) තුමාණන් "බිද් අත්" නමැති පාපය ගැන අවවාද කර ඇත. එවන් වූ දරුණු පාපයක් ඉතා සාමාන්‍යෙයෙන් ආලිම්වරුන් යැයි පවසන්නා වූ අය විසින් තම ජීවිතයේ ද ක්‍රියාවට නංවන අතර මුස්ලිම් ජන සමාජයට ද දේශනා කරන අයුරු සුලබව දැකගත හැකිය.

නබි නායක (සල්) තුමාණන්ගේ අනාවැකිය

නබි නායක (සල්) තුමාණන් යුගාන්ත සමයේ සම්ප්‍රාප්ත වනපිරිසක් ගැන අනාවැකි පල කර ඇත.

නබි නායක (සල්) තුමාණන් පැවසූහ. යුගාන්ත සමයේ පිරිසක් සම්ප්‍රාප්ත වනු ඇත. ඔවුහු කුර්ආනය පාරායනය කරති. නමුත් එය ඔවුන්ගේ උගුරු දණ්ඩ (හදවත තෙක්) ඉක්මවා යන්නේ නැත. (ග්‍රන්ථය: නසායි )

අල් කුර්ආනය පාරායණය කළත් එහි අල්ලාහ් පවසන්නේ කුමක් දැයි නොදැන, අල්ලාහ් පවසන ශික්ෂණයන්ට පටහැනි ව ක්‍රියා කරන පිරිසක් ලෝකාන්ත කාලයේ සම්ප්‍රාප්ත වන බව නබි නායක (සල්) තුමාණන් දන්වා සිටි එකී පිරිස මෙම ආලිම්වරුන් යැයි පුහුවෙන් ප්‍රශංසා කරන අය වෙත් දෝ යැයි සිතන තරමට මොවුන්ගේ ක්‍රියා කලාපයන් හා අනුශාසනාවන් පිහිටා තිබෙන අයුරු අපට දැකගත හැකිය.

ධර්මයේ ශාස්තෘවරයාණන් නබි නායක (සල්) තුමාණන් ද? මද්හබ් ඉමාම් වරුන් ද?

අප සමාජයේ ආලිම්වරුන් විසින් සිදු කරනු ලබන ධාර්මික ක්‍රියාවලින් සියයට අනූ නවයකටත් වැඩි ප්‍රමාණයක් ම අල්ලාහ් සහ නබි නායක (සල්) තුමාණන් නොපෙන් වූ ක්‍රියාවන් ය. මෙලෙස කරන්නේ ඇයි දැයි ඔවුන්ගෙන් විමසුවහොත් එයට ඔවුන් දෙන පිළිතුර වන්නේ අපි ෂාෆී මද්හබ්, හනෆි මද්හබයන් පිළිපදින අය වෙමු. එනිසා අපගේ කටයුතු සියල්ලක් ම මද්හබ් ඉමාම්වරුන් පැවසූ ආකාරයට ම පිහිටන අයුරින් සිදු කරන්නෙමුයි පවසති.

මෙසේ පිළිතුරු දීමට පෙර විශ්වාධිපති දෙවියන්ගේ දේව වැකියක් වෙත සිය අවධානය යොමු කළ යුතුයි.

ඔවුන්ගේ මුහුණු නිරයේ පෙරළනු ලබන දින අපි අල්ලාහ්ට අවනත වී සිටිය යුතු නොවේ ද? මේ දූතයාට අවනත වී සිටිය යුතු නොවේ දැ යි ඔවුහු පවසති. අපගේ දෙවියනි, අපේ නායකයින්ටත් වැඩිහිටියන්ටත් අපි අවනත වූයෙමු. ඔවුහු අප නොමග යැවූහ යි පවසති. (අල් කුර්ආන් 58:11)

මරණින් මතු ජීවිතයේ දී ලොව ජීවත් වූ සියලු ම ජනයා නැවත පණගන් වනු ලැබ, සර්ව බලධාරී දෙවියන් විසින් එක් එක් මිනිසාගේ කර්මයට අනුව ඵල විපාක පිරිනමා ඇතැම් මුස්ලිම් වරුන්ට පවා අපාගත වීමට සිදු වේ. එවිට සෑම මිනිසෙකු ම තම ක්‍රියා වලට අනුව නිරයේ දඩුවම් ලබති. එවිට ඇතැම් මිනිසුන් දඩුවම් ලබමින් තමන් නිරයට පිවිසියේ කවර හේතුවක් මත ද යන්න ඉහත කුර් ආන් වැකියෙන් අල්ලාහ් අපට ගෙන හැර දක්වයි. අල්ලාහ්ට සහ ඔහුගේ ධර්ම දූතයාණන් වන නබි (සල්) තුමාණන්ට කීකරු නොවී, අවනත නොවී, තමන්ගේ නායකයන්ට සහ වැඩිහිටියන්ට කීකරු වූවන්ට අත් වන ඉරණම මෙසේ නිරයේ ප්‍රලාප නැගීම යන්න බව ඉහත කුර්ආන් වැකිය මැනවින් පැහැදිළි කර දෙයි.

ධාර්මික ක්‍රියාවන් වන්නේ නබි මග ද? නූතන මග ද?

ඉස්ලාම් ධර්මය අපට අනුශාසා කර තිබෙන වැඳුම් පිඳුම්, වත් පිළිවෙත්, ඇදහිලි, විශ්වාස සැම දෙයක් ම මෙම ආලිම් වරුන් විසින් වැරදි ලෙසින් මුස්ලිම් ජන සමාජයට දේශනා කර තමන්ගේ ද අන් මුස්ලිම්වරුන්ගේ ද කුසල් විනාශ කරමින් කටයුතු කරති. මේ තුළින් මොවුන් කෙතරම් දුරට නොමග ගොස් තිබේ ද යත් අල්ලාහ් කෙරෙහි පරමාණුවක තරම්වත් බිය බැතිමත් භාවයක් නොමැති අයුරින් දහමේ නාමයෙන් සොහොන් කොත් වන්දනාව, යන්ත්‍ර මන්ත්‍ර, වශී ගුරුකම්, ඇස් වහ කට වහ, බිල්ලි හූනියම් වැනි නොයෙකුත් මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ද නබි මගට පටහැනි කත්තම්, ෆාතිහා, කන්දූරි උත්සව, මීලාද් උත්සව හෙවත් නබි නායක (සල්) තුමාණන්ගේ ජන්ම දින සැමරුම, පංචකාල සලාතයෙන් පසුව පවත්වන සාමුහික ප්‍රාර්ථනා, දික්ර් හලරා නාමයෙන් නැටුම් වැයුම් ගැයුම්, තපස් රැකීම යනාදී වශයෙන් ධර්මයේ පූර්වාදර්ශයක් නොමැති ක්‍රියා වල ගිලිහී සිටිති.

සියලු දෙනා ම වටහා ගත හැකි උදාහරණයක් නම්, සෑම මුස්ලිම් වරයෙකු ම අනිවාර්යයෙන් ම ඉටු කළ යුතු සලාතය නබි තුමාණන්ගේ මග පෙන්වීම් වලට අනුව තිබිය යුතුය. නමුත් වත්මන් සමාජයේ සලාතයේ කිසිඳු අයුරකින් නබි මගක් දැකගත නොහැකිය.

“මා සලාතය ඉටු කිරීම නුඹලා කෙසේ දුටුවෙහු ද එලෙස ම නුඹලා ද සලාතය ඉටු කරන්නැයි නබි නායක (සල්) තුමාණන් පැවසූ හ.
(මූලාශ්‍රය : බුහාරි - 631)

නමුත් වත්මන් මුස්ලිම් ජනතාවගේ සලාතයේ ක්‍රමය, ආලිම්වරු විසින් උගන්වා දෙනු ලබන සලාතයේ ක්‍රමය ඉස්ලාම් මග පෙන් වූ අයුරින් පිහිටා නැත. මෙම දහම් ක්‍රියාවන් නබි මගට වෙනස් ව ඔවුන් ගේ මද්හබ් නමැති වියතුන්ගේ මත වාද වලට සරිලන පරිදි ඉටු කරන පිරිසක් වශයෙන් කටයුතු කරති. මෙතුළින් ම මොවුන් ගේ සිත් තුළ කෙතරම් දුරට අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් භාවයක් තිබේ දැයි වටහාගත හැකිය.

සිකුරාදා දින යාච්ඤාවේ (ජුම්ආ) අදානයේ එක් වූ නූතන මග (බිද්අතය)

නබි නායක (සල්) තුමාණන්ගේ උම්මතය හෙවත් ජන සමාජය වන අපට අල්ලාහ් විසින් අනිවාර්ය කර තිබෙන සතියකට වරක් අප විසින් පවත්වනු ලබන ජුම්ආ සලාතයේ මුල සිට අග දක්වා නබි මග පටහැනිව බිද්අත් ක්‍රමයට - නූතන මගට අපගේ යහපත් ක්‍රියාවන් පෙරළා දමා ඇත. දිවයින පුරා තිබෙන මුස්ලිම් දේවස්ථාන වල මෙකී නොකී සියලු බිද්අත් කටයුතු අපට ඉතා සුලබව දැක ගත හැකිය.

නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ ද, අබූ බක්ර්(රලි) තුමා, උමර්(රලි) තුමා යනාදී කලීෆාවරුන්ගේ කාලයේ ද ජුම්ආ දින ඉමාම් මිම්බර් නමැති වේදීකාවේ අසුන්ගත් පසු අදාන් කියන ලදී... (ග්‍රන්ථය : බුහාරි- 916)

පංචකාල සලාතයට මෙන් ජුම්ආ සලාතයට ද අදාන් කිව යුතුය. ඒ අදානය ඉමාම් මිම්බරයේ අසුන් ගන්නා විට පැවසිය යුතුය. එනමුත් අප සමාජයේ තිබෙන දේව ස්ථාන වල ජුම්ආ සලාතයට දෙවරක් අදාන් පවසන ක්‍රමයක් ඇත. නබි නායක (සල්) තුමාණන් ජීවත් වූ කාලයේ වර්ෂ ගණනාවක් ජුම්ආ සලාතය එතුමාණන් ම පවත්වා ඇත. කිසිඳු දිනක අප විසින් පවත්වනු ලබන ආකාරයට එකුමාණන්ගේ ජුම්ආ යාච්ඤාවේ අදාන් දෙකක් පැවතියේ නැත. එසේ නම් උලමා වරු නබි නායක (සල්) තුමාණන්ගේ ක්‍රමයට පටහැනිව අදාන් දෙකක් පවසන්නේ ඇයි? නබි තුමාණන්ට පසුව ධර්මය සම්පූර්ණ වන බැවින් එතුමාණන්ගේ කාලයෙන් පසුව කෙතරම් ප්‍රවීණ කලීෆාවරන්, විද්වතුන් පැවසුවත් නබි මගට පටහැනි සිකුරාදා ජුම්ආ අදාන් දෙක වත්මනේ පවත්වන්නේ ඇයි? මෙය නබි මගක් නොවන බව දැන දැන ම ජනතාව පිළි නොගනීවී දෝ යැයි බිය වෙමින් අල්ලාහ්ගේ ධර්මය ස්ථාපිත කිරීමට පසු බට වන්නේ සැබවින් ම අල්ලාහ්ට බිය බැතියක් නොමැති නිසා නොවේ ද?

සැරයටිය ජුම්ආ දේශනාවට අනිවාර්ය ද ?

එතැනින් නතර නොවී සලාතයේ නායකත්වය දරන ඉමාම් වරයා විසින් ඔහුට වඩා දෙගුණයක් දිග පොල්ලක් සැරයටියක් වශයෙන් භාවිත කරමින් එය උසුලා ගත් කෙනෙකු ලෙසින් දේශනා පැවැත්වීම අනිවාර්ය ක්‍රියාවක් බවත් සැරයටියක් නොමැතිව දේශනා පැවැත්වීමට කිසිසේත් ම අවසරයක් නොමැති බවත් ඉමාම් වරයා එය ඉසිලීම අනිවාර්ය ක්‍රියාවක් බවත් මෙම උලමා වරු පවසති. මෙලෙස සැරයටියක් ඉසිලීම ජුම්ආ දේශනාවට අනිවාර්ය ක්‍රියාවක් යැයි නබි නායක (සල්) තුමාණන් පවසා තිබේ ද?

නබි නායක (සල්) තුමාණන් සැරයටියක් උසුලා ගෙන දේශනා පවත්වා ඇත. එනමුත් එය ජුම්ආ දිනයේ අනිවාර්ය ක්‍රියාවක් ලෙස නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ කළේ නැත. එතුමාණන් එය භාවිත කළේ සිය මහළු වියේ දීර්ඝ වේලාවක් සිට ගැනීමට නොහැකි වූ නිසා සිට ගැනීමට පහසු වීමට සැරයටිය ආධාරයක් ලෙස මිස චාරිත්‍රයක් ලෙස නොවේ.

සැරයටියක් භාවිත කළ යුත්තේ ද එවැනි අවශ්‍යතාවන් සඳහා වන බව පරිශුද්ධ වූ අල් කුර්ආනයත් පවසයි.

මූසා, ඔබේ දකුණතෙහි ඇත්තේ කුමක් දැයි දෙවියන් ඇසීය. එය මාගේ සැරයටියයි. මම එය මත ඒත්තු වන්නෙමි. එමගින් මාගේ එළුවන්ට කොළ කඩා ගන්නෙමි. එමගින් මට වෙනත් ප්‍ර යෝජන ද ඇතැයි ඔහු පැවසීය.

අල් කුර්ආන් 20: 17,18

සැරයටිය භාවිතයෙන් කෙනෙකුට කෙළින් සිට ගැනීමට අපහසුතාවක් පවතින විට ඒත්තු වීමට පුළුවන. නැතහොත් සත්තවයින් දක්කාගෙන යෑමට හෝ උන් වෙනුවෙන් කොළ කඩා ගැනීමට එය භාවිත කළ හැකිය. නිකරුණේ සැරයටියක් භාවිත කිරීමට අවශ්‍ය නැත. නමුත් වර්තමානයේ උලමා වරු විසින් භාවිතා කරන සැරයටිය ඔවුන්ට කෙලින් සිට ගැනීමට ආධාරකයක් වශයෙන් භාවිත නොවන බව ඔවුන් උසුලන සැරයටිය දෙස බැලූ විගස පෙනේ. යම් කෙනෙකු සැරයටියේ ආධාරයෙන් කෙලින් සිට ගැනීමට නම් සැරයටිය තමන්ට වඩා කුඩා විය යුතුය. නමුත් උලමාවරුන් සිකුරාදා උසුලන සැරයටිය ඔවුන් කෙලින් සිට ගැනීමට ආධාරකයක් වනවාට වඩා සැරයටිය කෙලින් සිටුවා ගැනීමට ඔවුන් ආධාරක ලෙස සිටින බව එහි දිග මොනවට විදහා දක්වයි. මෙතුළන් ම මොවුන් කෙතරම් නුවණක්කාර ද යන වග වටහාගත හැක.

අල් කුර්ආනීය ශීක්ෂණයට ප්‍රතිවිරුද්ධ වන ලෙස සිදු කරන ප්‍රාර්ථනාවන්

අල්ලාහ් විසින් මානවයාට පිරිනමා ඇති මහඟු වරප්‍රසාදයකි, ප්‍රාර්ථනාව. අපගේ අවශ්‍යතාවයන් අප නිර්මාණය කළ සර්ව බලධාරී දෙවියන් වෙත පවසා අපගේ සිත් තුළ තිබෙන දුක් කරදර බැහැර කිරීමට දී ඇති අනගි අවස්ථාවකි, ප්‍රාර්ථනා කිරීම. එවැනි ප්‍රාර්ථනාවන් දෙවියන් වෙත ඇසීමේ වත් පිළිවෙත් තිබිය යුත්තේ කෙසේදැයි අල් කුර්ආනයේ අල්ලාහ් පැහැදිලිව පවසා ඇත.

නුඹලාගේ දෙවියන් වෙත නිහතමානීව ද රහසිගතව ද ප්‍රාර්ථනා කරන්න. ඔහු සීමාව ඉක්ම වූවන් ප්‍රිය නොකරයි. (අල් කුර්ආන් 7:55)

මෙසේ රහසිගත ව ප්‍රාර්ථනා කරන ලෙස පවසද්දී මොවුන් එයට ප්‍රති විරුද්ධ ව සාමූහික ප්‍රාර්ථනාව යන නාමයෙන් ඉමාම්වරයා විසින් මහා ගිගුරුම් හඬකින් දෙවියන් වෙත කන්නලව් කරනු ලැබේ. ප්‍රාර්ථනාවේ රහස්‍ය භාවය සම්පූර්ණයෙන් ම නැසී යන අයුරින් ප්‍රාර්ථනාවන් සිදු කරනු ලැබේ.

අවුරුදු දින සලාතයේ වැළලුණු නබි මග

එසේ ම වසරකට දෙවරක් ඉටු කරන අවුරුදු දින සලාතයන් කෙතරම් දුරට එහි අවශ්‍යතාවය ඉස්ලාම් ධර්මය පවසන්නේ ද යත් ජුම්ආ දින අවුරුදු දිනය පැමිණියේ නම් ජුම්ආ සලාතය වෙනුවට අවුරුදු දින සලාතය ම ප්‍රමාණවත් යයි ඉස්ලාම් පවසයි. එසේ පැවසීමෙන් අවුරුදු දින සලාතය කෙතරම් දුරට වැදගත් දැයි දැනගත හැකි ය. එසේ වැදගත් කොට සලකනු ලබන අවුරුදු දින සලාතය නැමදිය යුත්තේ විවෘත පිටියක බව නබි නායක (සල්) තුමාණන් මග පෙන්වා ඇත.

නබි නායක (සල්) තුමාණන් උපවාස අවුරුදු දින ද, හජ් අවුරුදු දින ද (මස්ජිදයේ සලාතය ඉටු නොකර) මුසල්ලා නැමැති පිටියට යෑමට පුරුදුව සිටියහ. (ග්‍රන්ථය : බුහාරි - 956)

මෙලෙස පෙන්වූ මග නොපිළිපැද නබි නායක (සල්) තුමාණන්ට ප්‍රතිවිරුද්ධ ව පල්ලිවල ම එම සලාතය ඉටු කිරීම ද, එයට හේතුවක් වශයෙන් නබි (සල්) තුමාණන්ගේ කාලයේ පල්ලි කුඩාවට පැවති නිසා නබි නායක (සල්) තුමාණන් එළිමහන් පිටියක අවුරුදු දින සලාතය ඉටු කළ බවත් වර්තමානයේ පල්ලි විශාල ව පිහිටා තිබෙන බැවින් එළිමහන් පිටියට යෑම අනිවාර්ය නොවන අනවශ්‍ය ක්‍රියාවක් ලෙස මොවුන් පැවසීමෙන් මොවුන් ආගම පමණක් නොව ඉතිහාසය ද නොදත් පිරිසක් බව තේරුම් ගත හැකි වේ.

එපමණක් නොව මස්ජිදුන් නබවිය නමැති නබි නායක (සල්) තුමාණන්ගේ දේවස්ථානයේ සලාතය ඉටු කිරීම අනෙකුත් සාමාන්‍ය මස්ජිද්වල සලාතය ඉටු කිරීමට වඩා දහස් ගුණයක් උසස් ය.

මස්ජිදුල් හරාමය හැර අනෙකුත් මස්ජිද් වල සලාතය ඉටු කිරීමට වඩා මාගේ මෙම මස්ජිදයේ (මස්ජිදුන් නබවි) සලාතය ඉටු කිරීම සලාතයන් දහසකට වඩා උතුම් යැයි නබි නායක (සල්) තුමාණන් පැවසූහ. ( ග්‍රන්ථය: බුහාරි - 1190)

අවුරුදු දින සලාතය මස්ජිද්වල ඉටු කිරීම නිවැරදි ක්‍රියාවක් නම් දහස් ගුණයක් කුසල් ලබා දෙන මස්ජිදුන් නබවියේ නබි නායක (සල්) තුමාණන් සලාත ඉටු කළ යුතු ය. එහෙත් නබි නායක (සල්) තුමාණන් මස්ජිදයේ අවුරුදු දින සලාතය ඉටු කල බවට කිසිඳු සම්මත හදීසයක් නොමැත.

මෙතරම් පැහැදිළිව අවුරුදු දින සලාතය පිටියේ නැමදීම නබි මග බව දැන ගෙනත් නබි මගට අනුව පිටියක සලාතය අත් හැර දැමීමට ප්‍රධාන ම හේතුව අල්ලාහ් කෙරෙහි බිය නොමැති වීම ය.

වර්ෂ ගණනාවක් ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය හැදැරූ උලමාවරුන්ට(?) පරිශුද්ධ වූ අල් කුර්ආනය සහ නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම් මෙතෙක් උගන්වා දී නොමැති ද? නැතහොත් මෙම මග පෙන්වීම් දැන ගෙන ම තම කැමැත්ත අනුව නබි මගට ප්‍රතිවිරුද්ධ ව ක්‍රියා කරනවා ද?

දැන දැනත් නොදන්නා සේ සිටීම අන්තරාකාරී ය

නොදන්නා අයට වඩා දැන ගෙනත් නොදන්නා සේ සිටීමත් දත් දේ ජීවිතයේ අනුගමනය නොකර සිටීමත් අන්තරාකාරී ය.

තව්රාතය උසුලන ලදුව පසුව එය නොඋසුලා (ඒ අනුව කටයුතු නොකර) සිටි අයගේ උපමාව ලේඛන උසුලන බූරුවෙකු බඳු ය. අල්ලාහ්ගේ වැකි අසත්‍ය යැයි සිතන අයගේ උපමාව ඉතා නරක ය. අල්ලාහ් අපරාධ කරන පිරිසට යහ මග පෙන්වන්නේ නැත. (අල් කුර්ආන් 35:28)

කෙතරම් දැන සිටියත් අල්ලාහ්ට බිය නොවී තම ජීවිතයේ අනුගමනය නොකර තමන් ආලිම්වරුන් යැයි පැවසුවත්, ශාස්ත්‍රාලය නිකුත් කළ සහතිකය නිවසේ අලංකාරයට එල්ලා තැබුවත් අල්ලාහ් කෙරෙහි බිය බැතිය නොමැතිව අල්ලාහ්ගේ යහ මගට ප්‍රතිවිරුද්ධ ව ක්‍රියා කරන අය අල්ලාහ්ගේ දැක්මෙන් බූරුවන් බඳු යැයි අල්ලාහ් එහි භයානකකම ඉහත වැකියෙන් මැනවින් දන්වා සිටියි.

එසේ නම්, ආලිමවරුන් වීමට තිබිය යුතු එක ම සුදුසුකම අල්ලාහ් කෙරෙහි පවතින බිය බැතිය බව අල්ලාහ් පවසයි. නමුත් එය වත්මන් උලමාවරු සතුව නොමැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් හා හැසිරීම් රටා වලින් පැහැදිලි වේ. මන්දයත් මුස්ලිම් ජන සමාජය වසර ගණනාවක් යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමට පුරුදුව සිටියත් එය නබි මගට අනුව නොපවතී නම් එය කෙතරම් පැරණි වූවත්, කවුරුන් පවසා සිටියත්, දේව බිය බැතියෙන් යුතු උලමා වරයෙක් නම් එය තමන්ගේ ජීවිතයේ සිදු නොකරන අතර අනුන්ට දේශනා ද නොකරයි. අල්ලාහ්ට සැබැවින් ම භය ව අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයාණන් වන නබි නායක (සල්) තුමාණන් පෙන්වූ මග පරිදි පමණක් මාගේ ජීවිතය මා හැඩ ගස්වා ගනිමි යැයි පවසමින් එය පමණක් අනුන්ට අනුශාසනා කරන අය ම සැබෑ උලමා වරු වෙති.

එබැවින් පරිශුද්ධ වූ අල් කුර්ආනය හා සම්මත නබි මග උගන්වන ධාර්මික කරුණු පමණක් මා අනුන්ට දේශනා කරමි, එයට පරිබාහිර කිසිවක් මා කිසිවිටෙක කිසිවෙකුට දේශනා නොකරමි යැයි අල්ලාහ්ට ප්‍රතිඥා දී අල්ලාහ්ගේ දැක්මෙන් බිය බැතිමත් සැබෑ ආලිම්වරුන් වීමට අප සැමට සර්ව බලධාරී එකම දෙවියන් මහෝපකාර කරත්වා යි ප්‍රාර්ථනා කරමි.