තව්හීද් ජමාඅත් සංවිධානය නොවැම්බර් 03 වන දින උද්ඝෝෂණයක් පැවැත්වූයේ ඇයි?

තව්හීද් ජමාඅත් සංවිධානය නොවැම්බර් 03 වන දින උද්ඝෝෂණයක් පැවැත්වූයේ ඇයි?

ජී එස් පී ප්ලස් බදු සහන ලබා ගැනීම සඳහා මුස්ලිම් විශේෂ නීතියේ විශේෂයෙන් ම, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ සංශෝධනයන් සිදු කළ යුතුයැයි යුරෝපා සංගමය කොන්දේසි පනවා තිබෙන බවත් ඒ අනුව ඇතැම් සංශෝධන සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවත් රජය වෙනුවෙන් අමාත්‍ය සාගල රත්නායක මහතා පසු ගිය දින කිහිපයකට පෙර දී දැනුම් දී සිටියේ ය.

අමාත්‍ය තුමාගේ මෙම ප්‍රකාශයත් සමඟ ම මුස්ලිම් ජන සමාජයට රජය පිළිබඳව පවතින විශ්වාසය ක්‍රමයෙන් හීන වී ගොස් ඇත. මුස්ලිම් විශේෂ නීතියේ වෙනස්කම් සිදු කළ යුතුයැයි පසුගිය වසර ගණනාවක් පුරා ජාතිවාදී බලවේග ප්‍රකාශ කරමින් සිටි අතර වර්තමානයේ රජය ම ජාත්‍යන්තර බලපෑම් හේතු දක්වා මුස්ලිම් නීතිය වෙනස් කළ යුතුයැයි පැවසීම මුස්ලිම් ජනතාවට පිළිගත නොහැකිය. විශේෂයෙන් ම යහ පාලනය පවතින බව පවසන මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමාගේ රජය මෙවැනි තීරණයක් ගෙන තිබීම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වලට ඍජු ලෙස ඇඟිලි ගැසීමක් වශයෙන් මුස්ලිම් ජනතාව දකිති.

මුස්ලිම් විශේෂ නීතියයේ කොටසක් වන මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට හා ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහන ලැබීම අතර පවතින සම්බන්ධතාව කුමක් ද? අද සමාජයේ නොයෙකුත් අයට අපැහැදිලි හා මන්ද අවබෝධයක් පවතින ප්‍රශ්නයක් බවට මෙකී ප්‍රශ්නය පත් වී ඇත.මෙයට පිළිතුරු ලබා දීම කාලයේ අවශ්‍යතාවයකි.

මෙයට පිළිතුරු දැන ගැනීමට පෙර ජී එස් පී ප්ලස් බදු සහනය යන්න පිළිබඳව අප දැන සිටිය යුතුය.

ජී එස් පී ප්ලස් බදු සහනය යනු කුමක් ද?

ජී එස් පී ප්ලස් බදු සහනය යනු යුරෝපා සංගමය, ඒ විසින් තෝරාගත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයකින් යුරෝපයට භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන යන බදු රෙගුලාසි සමූහයකි. මෙය සීමිත කාල පරිච්ඡේදයක් සඳහා දෙනු ලබන තාවකාලින බදු ව්‍යාතිරේඛයකි. ඒ අනුව මෙය යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින වාණිජමය ගිවිසුමක් යනුවෙන් ද දැක්විය හැකිය.

මේ වරප්‍රසාදයට අනුව තෝරාගත් නිෂ්පාදන කිහිපයක් තීරු බදු හෝ වෙනත් බදු කොන්දේසි වලට යටත් වීමකින් තොරව යුරෝපා වෙළඳපොළට ඇතුළු කරන්නට අදාළ වරප්‍රසාදය හිමි රට වලට ඉඩ ලැබේ. එනයින්, GSP සහනය නොලබන රටක් අදාළ බදු ගෙවා යුරෝපා වෙළඳපොළට පිවිස බදු බර ද ඇතුළත් කර නියම කරන මිලට වඩා අඩු මිලකට සිය නිෂ්පාදන මිල කරන්නට මෙකී සහනය ලබන රට වලට ඉඩකඩ ලැබේ.

ජී එස් පී ප්ලස් බදු සහනය වසර 1971 දී යුරෝපා සංගමය ලොවට හඳුන්වා දුන් අතර ශ්‍රී ලංකාවට 2005 වන වසරේ ජූලි මස 01 වන දින සිට මෙකී සහනය ලැබිණ. ඒ අනුව දේශීය භාණ්ඩ 7200 කට බදු ව්‍යාතිරේඛය යුරෝපා සංගමය විසින් පිරිනමන ලදී. මෙයින් ඇඟළුම් කර්මාන්තයට අති විශාල වාසිදායක තත්ත්වයක් උදා විය.

යම් රටක් මෙකී සහනය ලබා ගැනීමට නම් යුරෝපා සංගමය මගින් පනවනු ලබන නොයෙකුත් කොන්දේසි ඉටු කළ යුතුය. 

උදාහරණයක් වශයෙන් දක්වන්නේ නම්,

  • යහ පාලනය
  • පරිසර ආරක්ෂාව
  • මානව හිමිකම්
  • කම්කරු අයිතීන්

යනා දී අංශ කෙරෙහි විශේෂිත අවධානය යොමු කරමින් අදාළ බදු සහනය ලැබීමට කොන්දේසි පනවනු ලැබේ.

මෙකී GSP + බදු සහන නොලැබෙන තත්ත්වයක් අප රටට උදා වූවා නම් ශ්‍රී ලංකාවේ අපනයන වලින් 29 % කට බලපෑම් සිදු වනු ඇත. එමෙන් ම, යුරෝපා සංගමය නිමි ඇඳුම් සඳහා අති විශාල තීරු බද්දක් අය කරන නිසා අප රටේ ආර්ථිකයට අති විශාල බලපෑමක් ඉන් හට ගනු ඇත. ඇතැම් විට භාණ්ඩ වල මිල ඉහල යෑමට මෙකී තෙරපුම බෙහෙවින් ම බලපෑ තිබිය හැකිය.

නමුත් මෙකී සහනය ලබා ගැනීමට යුරෝපා සංගමය මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ සංශෝධනයන් සිදු කළ යුතුයැයි කොන්දේසි පනවා ඇතැයි අමාත්‍ය සාගල රත්නායක මහතා දැනුම් දී සිටියේ ය. රටේ සංවර්ධනයට අදාළ සහනයක් ලබා දීමට රටේ පවතින නීති පද්ධතියට ඇඟිලි ගැසීම රටේ ස්වෛරීයභාවයට බලපාන ප්‍රශ්නයක් යැයි නොසලකා ම යුරෝපා සංගමයේ කොන්දේසි ඒ ආකාරයෙන් ම පිළිගෙන මහ ජනතාවට දැනුම් දීම අතිශයින් ම රටට හානිදායක තත්ත්වයකි. විශේෂයෙන් ම රටේ සුළු ජාතියකගේ ආගමික කරුණු අන්තර්ගත නීතියකට ඇඟිළි ගැසීම වඩාත් බරපතල තත්ත්වයකි.

GSP + බදු සහන අප රටට ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසී මාලාව කුමක් ද? තව වන තුරු ශ්‍රි ලාංකේය මහ ජනතාවට පවා යුරෝපා සංගමය ඉදිරිපත් කර තිබෙන කොන්දේසි මොනවාදැයි නොදනිති. ඒ ගැන පැහැදිලිව දැනුම් දීම රජයේ යුතුකමකි.

නමුත් රජය පවසා සිටියේ මුස්ලිම් විවාහ නීතියේ ඇතැම් කරුණු ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් වලට එරෙහිව පවතින නිසා ඒවා වෙනස් කළ යුතු යැයි යුරෝපා සංගමය ඉල්ලා සිටින බවයි.

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය කරනවා ද?

ජාත්‍යන්තර මානව හිමිකම් හා ළමා ප්‍රඥප්තීන් වලට පටහැනි නොයෙකුත් කරුණු  සඳහන් වන බැවින් මුස්ලිම් විවාහ නීතියේ සංශෝධනයන් සිදු කළ යුතුයැයි යුරෝපා සංගමය පවසා තිබීම වැරදි සහගත ය. එසේ ජාත්‍යන්තර මානව හිමිකම් හා ළමා ප්‍රඥප්තීන් වලට පටහැනිව මුස්ලිම් විවාහ නීතියේ කිසිවක් සඳහන් වී නොමැත. මූලික අයිතිවාසිකම් හෝ ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වන කිසිවක් කිසිවක් මුස්ලිම් විවාහ නීතියේ දක්නට නැත.

නමුත් අමාත්‍ය වරයා මුස්ලිම් කාන්තාවගේ විවාහක වයස ජාත්‍යන්තර මානව හිමිකම් හා ළමා ප්‍රඥප්තීන් වලට පටහැනි බව සඳහන් කළේ ය. මුස්ලිම් කාන්තාවකගේ අවම විවාහ වයස කවරක්දැයි මුස්ලිම් විවාහ නීතිය කිසිඳු තැනක සඳහන් කර නොමැත. නමුත් වයස අවුරුදු 12 කට අඩු මුස්ලිම් කාන්තාවක් විවාහ වනවා නම් කාතිවරයෙකුගේ අවසර පැතිය යුතුයැයි නීතිය සඳහන් කරයි.

 

මේ අනුව මුස්ලිම් කාන්තාවක් සිය වයස අවුරුදු 12 දී හෝ 12 ට වැඩි නම් විවාහ වීමට නීත්‍යානුකූලව අවසර ලැබෙනවා මිස පොදු නීතිය යටතේ සිටින වයස අවුරුදු 18 ක කාන්තාවක් විවාහයක් සිදු කර ගැනීමට තිබෙන අයිතියට සම අයුරින් වූ අයිතියක් ඇයට පිරි නැමී නැත.

එනම්, සාමාන්‍ය විවාහ නීතිය යටතේ කාන්තාවක් වයස අවුරුදු 18 ක් නම් ඇයට කිසිවෙකුගේ අවසරයක් නොමැති ව සිය කැමැත්තෙන් විවාහයක් සිදු කළ හැකිය. ඒ අනුව මුස්ලිම් කාන්තාවකගේ වයස අවුරුදු 12ක් නම් ඇයට කිසිවෙකුගේ අවසරයක් නොමැති ව සිය කැමැත්තෙන් විවාහයක් සිදු කළ හැකියැයි මුස්ලිම් නීතිය සදහන් කළේ නැත. ඇයට වයස අවුරුදු 12ක් වූව ද 18ක් වූව ද මුස්ලිම් කාන්තාවක් විවාහ වන්නේ නම් භාරකරුවෙකු මාර්ගයෙන් ම ඇය විවාහ විය යුතුය. මෙය මුස්ලිම් කාන්තාවකගේ ආරක්ෂාව සඳහා නීතිය පනවා තිබෙන නියමයක් මිස කාන්තාවක් හිංසනය කිරීමට පනවන ලද්දක් නොවේ. මුස්ලිම් කාන්තාවක් වයස අවුරුදු 12 දී පමණක් නොව වයස අවුරුදු 18 දී හෝ 25 දී හෝ විවාහ වූවත් ඇයට භාරකරුවෙකුගේ එකඟතාව නොමැතිව විවාහයක් සිදු කළ නොහැකිය.

කාන්තාවක් ඇයට කිසිවෙකුගේ අවසරයක් නොමැති ව සිය කැමැත්තෙන් විවාහයක් සිදු කරන විට දී ඇය පුරුෂයින් විසින් මුළා කරනු ලැබිය හැකිය. පුරුෂයෝ ස්වභාවයෙන් ම බලවත් අය වෙති. කාන්තාවන්ගේ දුර්වලකම උපයෝගී කර ගනිමින් කාන්තාවන්ට හිංසනයක් සිදු විය හැකිය. මෙය වැලැක්වීම සඳහා ම ඉස්ලාම් ධාර්මික නීතියේ ද මුස්ලිම් විවාහ නීතියේ ද භාරකරුවෙකු මගින් විවාහය සිදු කළ යුතුයැයි නියමයක් පනවා තිබේ.

මුස්ලිම් නීතියේ වයස අවුරුදු 12ක් පිළිබඳ සඳහන් වූයේ ඇයි?

එමෙන් ම, වයස අවුරුදු 12ට අඩු මුස්ලිම් කාන්තාවක් කාතිවරයෙකුගේ අවසර ලබා ගෙන විවාහ විය යුතු යැයි නියම කර තිබීමේ අර්ථය කුමක් ද ? යන්න පිළිබඳව ද අපි මෙහි දී අවබෝධ කර ගත යුතුය.

එසේ නම් වයස අවුරුදු 12ක් යනුවෙන් සඳහන් වීමට හේතුව කුමක්දැයි අපි දැන සිටිය යුතුය. මුස්ලිම් විවාහ නීතිය වසර 1951 දී නීතිගත කරන ලද අතර එය දිවයිනේ ක්‍රියාත්මක වූයේ 1954 සිට ය. එවකට විවාහක වයස යනුවෙන් ශ්‍රී ලංකාවාසී (මුස්ලිම් නොවන) සියලු ජනතාවට  පොදු නීතියක් පැවතීය.

වසර 1907 දී අංක 17 දරණ පොදු විවාහ ආඥා පනතේ 15 වන නීතිය යටතේ ශ්‍රී ලාංකේය පුරුෂයෙකුගේ විවාහක වයස අවුරුදු 16ක් වන අතර කාන්තාවකගේ විවාහක වයස අවුරුදු 12ක් විය. ඒ වන විට ශ්‍රී ලාංකේය සිවිල් ජනයාගේ පොදු විවාහක වයස අවුරුදු 12ක් ම විය. නමුත් විවාහක වයස අවුරුදු 18ක් වශයෙන් වෙනස් වූයේ දැනට වසර 21කට පෙර දී ය. එනම්, වර්ෂ 1995 දී ය.

මේ පිළිබඳව දැන ගැනීමට විකිෆීඩියා විෂ්ව කෝෂයට යොමු වන්න. එහි පහත පරිදි සඳහන් කර ඇත.

අවම වයස් සීමාව

සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වගන්තියේ දැක්වෙන ආකාරයට වලංගු විවාහයක් ඇතිකර ගැනීම සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් වයස අවුරුදු 12 හා පුරුෂයන් වයස අවුරුදු 16 ක් වේ. බර්ගර් දෙමාපියන්ගෙන් පැවතෙන්නන් සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් හා පුරුෂයන් අවම වයස අවුරුදු 14 ක් වේ. නමුත් 1995 අංක 18 දරණ සංශෝධන පනතින් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවටම අවම වයස අවුරුදු 18 ක් බවට පත් කරන ‍ලදී. ඒ අනුව මෙම නෛතික අවශ්‍යතාව‍යට පටහැනි විවාහ (බාල වයස්කාර විවාහ) විවාහ නොවන බවට අධිකරණය පිළිගනී.

විවාහ ආඥා පනතේ අදාළ සංශෝධනයන් සිදු කරන ලද්දේ වර්ෂ 1995 දී බව විවාහ ආඥා පනත ම පිළි ගනී.

මුස්ලිම් විවාහ නීතිය නීතිගත කරන අවස්ථාවේ දී ශ්‍රී ලාංකේය කාන්තාවකගේ විවාහක වයස අවුරුදු 12ක් වූ බැවින් ද, එය වැඩිහිටි වයසක් වශයෙන් සැලකූ බැවින් ද, එකී වයසට අඩු කාන්තාවක් විවාහ වනවා නම් කාතිවරයෙකුගේ අවසර පතන මෙන් මුස්ලිම් විවාහ නීතියේ නීති රෙගුලාසි එකල සිටි අපේ මුතුන් මිත්තන් ඇතුළත් කළ හ. කුඩා දැරියන් විවාහ වීමට අවසර නොදී ඔවුන් ආරක්ෂා කරන්නට නීති සම්පාදනය කළ අපේ මුතුන් මිත්තන්ට අපි කෘතවේ දී විය යුතුය.

තවත් කරුණක් මෙහි දී අපි සඳහන් කළ යුතුය. වර්ෂ 1907 සිට 1995 දක්වා ම ශ්‍රී ලංකාවේ කාන්තාවකගේ විවාහක වයස වූයේ අවුරුදු 12 කි. වසර 88කට ආසන්න කාල සීමාවක් ශ්‍රී ලංකාවේ අපේ අම්මලා, ආච්චිලා විවාහ වූයේ එවන් වූ වියක දී ය. මෙය ළමා විවාහයක් යනුවෙන් කව්රුත් නොසැලකූ අතර එසේ 12 වයස දී විවාහ වූ කාන්තාවන් ගිහි ජීවත කඩා කප්පල් කර ගත්තේ ද නැත. මුස්ලිම් විවාහ නීතිය ලාබාල දැරියන් විවාහ කර ගන්නට අනුමත කළා යැයි චෝදනා නගන අය වසර 88 ක කාලයක් වයස අවුරුදු 12ක ළදරුවන් විවාහ කර ගන්නට අනුමැතිය දුන්නේ ඇයි ද යන්නත් විමසා බලා ගත යුතුය.

ඉස්ලාම් හුදෙක් ම වයස් සීමා ගැන කථා නොකර කාන්තාවකගේ මනස ගැනත් කථා කරයි. එනම්, මුස්ලිම් කාන්තාවක් විවාහ වන්නට නම් ඇගේ සම්පූර්ණ කැමැත්ත ලබා ගත යුතුය. ඉස්ලාම් අනුව කාන්තාවකගේ කැමැත්ත මත ම විවාහයන් වර්තමානයේ දී සිදු වේ.

නමුත් එසේ කැමැත්ත ලබා ගත යුතුයැයි මුස්ලිම් විවාහ නීතියේ සඳහනක් දක්නට නැත. එලෙස ම, කාන්තාවකගේ කැමැත්තක් අවශ්‍ය නොවන බවත් සඳහන් වී නැත. කෙසේ වෙතත් ඇගේ කැමැත්ත ලබා ගැනීමටත් ප්‍රකාශ කිරීමටත් නීතියෙන් අවකාශ සලසා දීම වරදක් නොවේ. ඉස්ලාම් එය අවධාරණය කරයි. ඒ සඳහා මුස්ලිම් විවාහ නීතියේ සංශෝධනයක් ඉදිරිපත් කිරීම වඩාත් සදාචාරාත්මක ය. නමුත් විවාහ ලේඛනයේ ඇගේ අත්සන ලබා ගැනීමක් සිදු කළ යුතුයැයි ඉන් අර්ථවත් නොවේ.

මන්දයත් ඉස්ලාම් දහම අනුව විවාහ ගිවිසුමක් සිදුවන්නේ මනාලයාගේ හෝ මනාලියගේ පූරණ කැමැත්ත මත මනාලයා හා මනාලියගේ භාරකරුවා අතර ය. එබැවින් මනාලියගේ කැමැත්ත වෙන ම විවාහ ලේඛනයේ සඳහන් කළ යුතුව නැත. එසේ අකැමැත්තෙන් විවාහයක් සිදු වන්නේ නම් ඒ සඳහා නෛතිකව මනාලියට කටයුතු කිරීමට අවශ්‍ය අවකාශ නීත්‍යානුකූලව ඇයට ලබාදීම වඩාත් ප්‍රායෝගික වනවා මිස මනාලියගේ අත්සන යෙදීම තුළින් ඒ බලපෑම ඉවත් නොවේ. බලහත්කාරයෙන් විවාහයක් සිදු කරන භාරකරුවෙක් සිටී නම් බලහත්කාරයෙන් අත්සන් ගැනීමටත් වැඩි වේලාවක් ගත නොවේ.

නමුත් මුස්ලිම් ජන සමාජයේ බලෙන් විවාහ සිදු කර දීමක් බොහෝදුරට සිදු නොවේ යන්නත් අපි වටහා ගත යුතුය.

ඉහත කරුණු සලකා බලන විට දී මුස්ලිම් විවාහ නීතිය ලාබාල විවාහයක් සිදු කිරීමට හෝ කාන්තාවන්ට වෙනත් කිසිඳු අසාධාරණයක් සිදු කර නොමැති බව පැහැදිලි ය.

නමුත් මෙම තහවුරු කරන ලද සත්‍යයට පටහැනිව මුස්ලිම් විවාහ නීතිය මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලං‍ඝණය කරන බව යුරෝපා සංගමය පැවසීමත් රජය ඇතැම් ලාභ ලැබීමට එය පිළිගැනීමත් මුස්ලිම් ජන සමාජය අගෞරවයට පත් කරන ක්‍රියාවලියකි.

2005 දී නොවූ කොන්දේසි 2016 දී පැමිණියේ කෙසේ ද?

2005 වසරේ ජී එස් පී සහන ලැබීමට යුරෝපා සංගමයේ කොන්දේසි වල නොතිබූ කොන්දේසියක් 2016 දී පැමිණියේ කෙසේ ද යන ප්‍රශ්නය දැන් උද්ගත වී ඇත.

යුරෝපා සංගමය 2005 වසරේ  ජූලි මස පළමු වන දින GSP+  බදු සහන ශ්‍රී ලංකාවට ලබා දෙන විට දී මුස්ලිම් විශේෂ නීතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ඒ කාලවකවානුවේ දී මෙකී කොන්දේසිය යුරෝපා සංගමය නොපැනවූයේ ඇයි?

මූලික අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් ඉටු කරන රටකට ලැබෙන GSP+  සහනය එදා අප රටට ලැබෙන විට මුස්ලිම් විවාහ නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතුණි. එවිට  අප රටට GSP+  සහනය ලබා දීමට මුස්ලිම් විවාහ නීතිය කිසිසේත් ම බලපෑවේ නැත. වර්තමානයේ එය අවහිරයක් සේ අර්ථ නිරූපණය කරන්නට උත්සහ කිරීම ජනතාව මුළා කිරීමක් බව සක්සුදක් සේ පැහැදිලි වේ.

අනෙක යුරෝපා සංගමය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට උදව් උපකාර කරන එකම හේතුව නිසා එම සංගමය පනවන සියලු කොන්දේසි වලට අපි එකඟ විය යුතුයැයි නියමයක් නැත. රටක් වශයෙන් අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

ජාතිවාදී මහින්දගේ රජය නොකළ දෙයක් යහ පාලන (?) රජය සිදු කිරීම සාධාරණ ද? 

2010 වසරේ අගෝස්තු මාසයේ 15වන දින මෙකී ජී එස් පී ප්ලස් බදු සහන අහෝසි කළ යුරෝපා සංගමය එවිට ජාතිවාදී රජයක් ව පැවති මහින්ද රාජපක්ෂගේ රජයට නැවත බදු සහන ලබා දීමට කොන්දේසි කිහිපයක් පැනවීය. ඒ කොන්දේසි මහින්ද රජය ම පිළිගත්තේ නැත. මෙයට හේතුව වූයේ ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරීයභාවයට අභියෝග කරන අයුරින් එකී කොන්දේසි පිහිටා තිබීමයි. 

  •   යුරෝපා සංගමයGSP+ බදු සහන ලබා ගැනීමට මහින්ද රජයට පහත සඳහන් කොන්දේසි පැනවීය. 
  • ක්‍රියාත්මක වෙමින් පවතින හදිසි නීතියේ පවතින ඉතිරි කොටස ඉවත් කොට විභාගයකින් තොරව රඳවා ගැනීම, නිදැල්ලේ සැරිසැරීමට පවතින බාධක වැනි දෑ නතර කළ යුතුය. 
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ඇතැම් කොටස් ඉවත් කිරීම. 
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම් සභාවටත් හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කොමිසම් සභාවටත් තනි පුද්ගලයින් විසින් පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවසරය ලබා දීම. 
  • පුද්ගලික කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම් සභාවේ මතය පිළිගෙන කටයුතු කිරීමට අවසරය ලබා දීම. 
  • හදිසි නීතිය යටතේ රඳවා තබා ගන්නා ලද කොටි සංවිධානයේ විස්තර හෙළි දරව් කිරීම. 
  • රඳවා තබා සිටින අයගේ නඩු හබ නිමා කිරීම. 
  • සී. ආර්. සී වැනි සංවිධාන වලට කඳවුරු වලට යෑමට අවසර ලබා දීම. 
  • ජාතික මානව හිමිකම් පිළිබඳ ව්‍යාපෘති කඩිනමින් පාරිලිමෙන්තුවේ සම්මත කර ක්‍රියාත්මක කිරීම.

වැනි කොන්දේසි GSP+ සහන නැවත අප රටට ලබා ගැනීමට යුරෝපා සංගමය එවකට මහින්ද රජයට පැනවීය. මේවා එවකට රජය විසින් පිළිගත්තේ නැත. එබැවින් යුරෝපා සංගමය GSP+ සහනය අඛණ්ඩව අහෝසි කළේ ය. රටේ ස්වෛරීයභාවයට බලපාන කොන්දේසි එවකට ජාතිවාදී රජය ම පිළි නොගත්තේ නම්, යහ පාලනයේ නමින් වත්මනේ ක්‍රියාත්මක වන රජය ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට බලපෑම් සිදු කරන කොන්දේසි අන්ධ භක්තියෙන් පිළිගෙන තිබීම සාධාරණ වන්නේ කෙසේ ද? යන්න බුද්ධිමත් අය කල්පනා කර බලන්න.

එපමණක් නොව 1952 අංක 44 දරණ උඩරට සිංහල විවාහ නීතිය නුවර ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවත් 1948 වසරේ නීතිගත වූ දේසවලමෙයි නීතිය යාපනයේ ද්‍රවිඩ ජනතාවගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවත් චෝදනා කරමින් යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට ඒවා සංශෝධනය කරන්නැයි ඉල්ලීම් කළේ නම්, කොන්දේසි පැනවූයේ නම් ඒවා වත්මන් යහ පාලන රජය පිළි ගනීවි ද?

එබැවින් GSP+ බදු ව්‍යාතිරේඛය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය දෙයක් වූවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීයභාවයටත් මුස්ලිම් මුතුන් මිත්තන් ජීවිත පරදුවට තබා ලබා ගත් ජයග්‍රහණයන් හා මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වලට ඍජු ලෙස ඇඟිලි ගැසීමක් වශයෙන් අපි සලකන්නෙමු. යුරෝපා සංගමය හෝ ශ්‍රී ලංකා රජය හෝ මුස්ලිම් විශේෂ නීතියේ කොටසක් වන මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය ජාත්‍යන්තර ප්‍රජාවගේ උවමනා වලට සංශෝධනය කිරීම අපි බලවත් ලෙස හෙළා දකින්නෙමු.

මුස්ලිම් නීතියේ යම් යම් සංශෝධන අවශ්‍ය ය. නමුත් ඒ සංශෝධන මුස්ලිම් ජනතාවගේ උවමනාවට ම සිදු විය යුතුය. ඉස්ලාම් ධර්මයේ පරිශුද්ධ මූලාශ්‍ර වන පරිශුද්ධ වූ අල් කුර්ආනයට හා නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම් වලට අනුකූලව ම සිදු විය යුතුය.

හිටපු මහාධිකරණ විනිසුරු සලීම් මර්සූක් මහතා ප්‍රමුඛ මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධන කමිටුව තමන්ගේ අභිමතයට අනුව අත්තනෝමතික ව කටයුතු නොකර සංශෝධන කෙටුම්පත මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන හා ක්‍රියාකාරී මුස්ලිම් නීතිඥවරුන් වෙත යොමු කර ඒ සංශෝධන වල වලංගුභාවය නැවතත් තහවුරු කර ගත යුතුය.

එසේ නොවන විට මුස්ලිම් විවාහ නීතිය ජාත්‍යන්තරයේ උවමනා වලට වෙනස් කළ පාප කර්මය සිය දිවි නිම වන තුරුත් මරණින් මතු ජීවිතයේත් අදාළ කමිටුවේ සියලු සාමාජිකයින් විසින් ගෙවන්නට සිදු වන බවත් තරයේ මතක තබා ගත යුතුය.

මුස්ලිම් කාන්තාවගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16ක් විය යුතු වීම සාධාරණ ද?

යුරෝපා සංගමයේ ඉල්ලීම වූයේ විවාහය සඳහා මුස්ලිම් කාන්තාවගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16ක් විය යුතුය යන්නයි. එය සාධාරණ ඉල්ලීමක් යැයි කරුණු නොදන්නා අය, දහම ගැන නොදන්නා අය පවසති. ඇතැම් මුස්ලිම් අමනෝඥ දේශපාලඥයින් ද මෙය සාධාරණ යැයි මාධ්‍ය හමු වල දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කරන කමිටුව ද එකී මතය පිළිගෙන තිබෙන බව ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මුස්ලිම් කාන්තාවකගේ විවාහක වයස අවුරුදු 16ක් හෝ 18ක් හෝ 20ක් හෝ විය යුතුයැයි ඉස්ලාම් දහම නියම කර නැත. ඉස්ලාම් දහම අවම වයස් සීමා ඉදිරිපත් නොකර විවාහය සඳහා අවම සුදුසුකම් ඉදිරිපත් කරයි. ඒ සුදුසුකම් සපිරුණු කෙනෙක් වයස අවුරුදු 12 දී හෝ විවාහ විය හැකිය. සුදුසුකම් නොමැති කෙනෙක් 25 දී හෝ විවාහ විය නොහැකිය. මේ ගැන ධර්මානුකූලව වටහා ගනිමු.

ඉස්ලාම් දහම අනුව විවාහය සඳහා වූ අවම සුදුසුකම්

ඉස්ලාම් ධර්මය විවාහයක් සඳහා පුරුෂයෙකට හෝ කාන්තාවකට අවම වයස් සීමා පැනවූයේ නැත. පනවා ඇත්තේ අවම සුදුසුකම් ය.

මුස්ලිම් පුරුෂයෙකුගේ අවම සුදුසුකම්

  • පවුල් දිවියක් ගත කළ හැකි පරිනතභාවයක් තිබිය යුතුය

 ඉස්ලාම් දහම විවාහයකට මූලික සුදුසුකමක් වශයෙන් පුරුෂයෙකු හෝ කාන්තාවක් හෝ පරිනත භාවයක් ලැබී තිබිය යුතු යැයි සඳහන් කරයි. 

අවම වයස් සීමාවක් සඳහන් නොවූ නිසා ලාබාල වියේ පසුවන අයට විවාහ කළ හැකි යැයි ඉස්ලාම් පැවසුවා යැයි කව්රුත් නොසිතිය යුතුය. විවාහයට පිවිසෙන කෙනෙක් ඒ විවාහය පිළිබඳ මනා අවබෝධයක් තිබෙන කෙනෙක් විය යුතුය. 

وَابْتَلُوا الْيَتَامَى حَتَّى إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آَنَسْتُمْ مِنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَنْ يَكْبَرُوا ...(6) سورة النساء

අනාථ දරුවන් පරීක්ෂා කර බලන්න. ඔවුන් විවාහය සඳහා වූ අවධියක් ලබා, ඔවුන් වෙත සුදුසුකම් නුඹලා දුටුවා නම් ඔවුන්ගේ ධන දේපල ඔවුන් වෙත පිරිනමන්න. නාස්තිකාර ලෙසත් ඔවුන් වැඩි වියට පත් වේවි යන බියෙන් හදිසියෙන් ම එය භුක්ති නොවිඳින්න.   

 පරිශුද්ධ වූ අල් කුර්ආන් 4:6 

ඉහත වැකියේ අනාථ දරුවන් ගැන සර්ව බලධාරී දෙවියන් පවසයි. අනාථ දරුවන්ට හා ඔවුන්ගේ දේපල වලට භාරව සිටින, ඔවුන් රැක බලා ගන්නා අය ඔවුන් වෙත යම් සුදුසුකමක් දකින විට ඔවුන්ට විවාහ කර දෙන්නැයි දෙවියන් පවසයි. ඒ සුදුසුකම නම්, අනාථ දරුවන්ගේ දේපළ පරිපාලනය කළහැකි අවධියයි. එවන් වූ අවධියක් ඔවුන්ලබන විට විවාහයක් සිදුකර දිය හැකි යැයි දෙවියන් පැවසීම තුළින් විවාහයේ අවධිය කුමක්දැයි වටහා ගත හැකිය. දේපළ පරිපාලනය කළ හැකි මනා අවබෝධයක් කවරෙකු සතුවේ ද එවන් වූ අවධියක විවාහයක් සිදු කරගත හැකිය. ලාබාල වියේ පසුවන කෙනෙකුට දේපළ පරිපාලනය කළ නොහැකිය. ලාබාල වියේ දී විවාහ කර දීම වරදක් බවත් දේව නීතියට පටහැනි ක්‍රියාවක් බවත් මෙයින් පැහැදිලි වේ.

නමුත් විවාහය සඳහා වයසක් නියම කළ නොහැකිය. ඇතැමුන්ට ඉහත කී සුදුසුකම වයස අවුරුදු 18 කලින් ම පැමිණිය හැකිය. ඇතැමුන්ට වයස අවුරුදු 25ත් නොපැමිණිය හැකිය. අවශ්‍ය වන්නේ විවාහ දිවියට අවශ්‍ය මානසික සුදුසුකම මිස වයස් සීමාවක් නොවේ. ඒ නිසා ම අවශ්‍ය සුදුසුකම පැමිණ තිබේ දැයි දෙවියන් සෝදිසි කරන්නැයි අණ කරයි.

එසේ ම, විවාහය යනු ගිවිසුමක් යැයි පරිශුද්ධ වූ අල් කුර්ආනය සඳහන් කරයි.

 

وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا (21) سورة النساء

නුඹලා සමඟ ඔවුන් දරුණු ගිවිසුමක් ගෙන, නුඹලා කෙනෙක් සමඟ තවත් කෙනෙක් එකිනෙකට මිශ්‍ර වී සිටිය දී නුඹලා පැහැර ගන්නේ කෙසේ ද?                                                                                                                         

පරිශුද්ධ වූ අල් කුර්ආන් 4:21

මෙම වැකියේ විවාහය දරුණු ගිවිසුමක් යනුවෙන් පරිශුද්ධ වූ අල් කුර්ආනය සඳහන් කරයි. විවාහය දරුණු ගිවිසුමක් නම් විවාහය පිළිබඳ මනා අවබෝධයක් හා අවශ්‍යතාවයක් තිබෙන අය ම විවාහ කරගත යුතුය යන්න එහි අදහසයි. ස්වාමි පුරුෂයා හා භාර්යාව යන දෙදෙනා විවාහය යනු කුමක් ද? කවර අරමුණක් උදෙසා විවාහයක් සිදු වනවා ද? කාන්තාවන් හා පිරීමීන් අතර පවතින වෙනස්කම් කවරේ ද? යනාදිය දෙදෙනා ම දැන සිටිය යුතුය. ගිවිසුමක් ස්ථිර හා දරුණු ගිවිසුමක් වන්නේ එවිට ය. එබැවින් මේ සියල්ල නොදන්නා අවධියේ පසුවන පුරුෂයෙකුට හෝ කාන්තාවකට විවාහයක් සිදු කර ගැනීමට හෝ සිදු කර දීමට ඉස්ලාම් දහම අනුමත නොකරයි.

  • දරු පවුලට ඉටු කළ යුතු යුතුකම් ඉටු කිරීමේ ශක්තිය තිබිය යුතුය

තව ද විවාහයට වැඩි වියට පත් වීම පමණක් නොව තමන්ට භාර්යාව වශයෙන් පත් වීමට යන කාන්තාවට නොයෙකුත් යුතුකම් ඉටු කළ යුතු වගකීම ද පුරුෂයෙකු කෙරෙහි ඉස්ලාම් පවසයි. එවැනි යුතුකම් ඉටු කළ හැකි කෙනෙකු ම විවාහ විය යුතුය.

1974 عَبْدُ اللَّهِ بْنُ عَمْرِو بْنِ الْعَاصِ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ دَخَلَ عَلَيَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ الْحَدِيثَ يَعْنِي إِنَّ لِزَوْرِكَ عَلَيْكَ حَقًّا وَإِنَّ لِزَوْجِكَ عَلَيْكَ حَقًّا فَقُلْتُ وَمَا صَوْمُ دَاوُدَ قَالَ نِصْفُ الدَّهْرِ رواه البخاري

නබි නායක (සල්) තුමාණන් මා වෙත පැමිණ, “ඔබේ ආගන්තුකයින්ට කළ යුතු යුතුකම් ඔබට ඇත. ඔබේ භාර්යාවන්ට කළ යුතු යුතුකම් ඔබට ඇත” යනුවෙන් පැවසූ හ.

දැනුම් දෙන්නා : අබ්දුල්ලාහ් බින් අම්ර් බින් ආස් (රලි) තුමා

මූලාශ්‍රය : බුහාරි (1974)

  • විවාහ දිවියේ මූලික වියදම් දැරීමේ හැකියාව තිබිය යුතුය

යම් කෙනෙක් විවාහ කිරීමට බලාපොරොත්තු වන කාන්තාවට මහර් (මංගල දායාදය යනු විවාහ වන අවස්ථාවේ දී මනාලයා විසින් මනාලියට දෙනු ලබන මුදලක් හෝ දේපළක් මින් අදහස් වේ.) ලබා දීම, ඇය සමඟ ජීවිතය පවත්වා ගැනීමට පහසුකම් සලසා දීම අනිවාර්ය වේ. ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් වියදම් කිරීම, ඇඳුම් පැලඳුම් පිරිනැමීම, ආහාර පාන ලබා දීම වැනි නොයෙකුත් වගකීම් ස්වාමි පුරුෂයා මත ධර්මය අනිවාර්ය කර ඇත.

5066 حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ حَدَّثَنَا أَبِي حَدَّثَنَا الْأَعْمَشُ قَالَ حَدَّثَنِي عُمَارَةُ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ قَالَ دَخَلْتُ مَعَ عَلْقَمَةَ وَالْأَسْوَدِ عَلَى عَبْدِ اللَّهِ فَقَالَ عَبْدُ اللَّهِ كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ شَبَابًا لَا نَجِدُ شَيْئًا فَقَالَ لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَا مَعْشَرَ الشَّبَابِ مَنْ اسْتَطَاعَ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ فَإِنَّهُأَغَضُّ لِلْبَصَرِ وَأَحْصَنُ لِلْفَرْجِ وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّهُ لَهُ وِجَاءٌ رواه البخاري

අබ්දුර් රහ්මාන් බින් යසීද් (රහ්) තුමා මෙසේ පැවසූ හ. මම ද, අල්කමා හා අස්වද් (රහ්) තුමා ද, අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රලි) තුමා වෙත ගියෙමි. එවිට, අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රලි) තුමා මෙසේ (පහත පරිදි) පැවසූ හ. අපි නබි නායක (සල්) තුමාණන් සමඟ (වත් පොහොසත්කම් නොමැති) තරුණයින් ව සිටියෙමු. එවිට නබි නායක (සල්) තුමාණන් අප වෙත, “තරුණයිනි, විවාහ වීමට හැකියාවක් පවතින අය විවාහ කර ගනිත්වා! මන්දයත් එය (අයුතු) බැල්ම පාලනය කරයි. පතිවත ආරක්ෂා කරයි. (එයට) හැකියාවක් නොමැති අය උපවාසය රකිත්වා! මන්දයත් උපවාසය (රාගික හැඟීම්) පාලනය කරවන්නකි” යනුවෙන් පැවසූ හ.

මූලාශ්‍රය : බුහාරි (5066)

පුරුෂයෙක් නම් පවුල් දිවිය ගත කළ හැකි ශක්තිය හා පවුල් බර උසුලන නඩත්තු කිරීමේ හැකියාවක් ඔහුට තිබිය යුතුය. ලිංගික බෙලහීනතා හෝ නඩත්තු වියදම් දරන්නට ශක්තියක් නොමැති කෙනෙකුට වයස අවුරුදු 25ක් වූවත් ඉස්ලාම් පැවසුවේ උපවාසය රකින්නට මිස විවාහ වන්නට නොවේ. ඒ පිළිබඳව පහත හදීසය පැහැදිලි කරයි.

 1772 - حَدَّثَنَا عَبْدَانُ عَنْ أَبِي حَمْزَةَ عَنْ الْأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ قَالَ بَيْنَا أَنَا أَمْشِي مَعَ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَنْ اسْتَطَاعَ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ وَأَحْصَنُ لِلْفَرْجِ وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّهُ لَهُ وِجَاءٌ  رواه البخاري

“නුඹලාගෙන් යම් කිසි කෙනෙක් නඩත්තුව සඳහා හැකියාවක් පවතී ද ඔහු විවාහයක් සිදු කර ගනිත්වා! මන්ද යත්, එය බැල්ම පහත හෙලයි. පතිවත ආරක්ෂා කරයි. හැකියාවක් නොමැති කෙනෙක් උපවාසය රකිත්වා! එය ඔහුගේ හැඟීම් පාලනය කරයි” යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පවසා ඇත.

 දැනුම් දෙන්නා :ඉබ්නු මස්ඌද් (රලි) තුමා

මූලාශ්‍රය :බුහාරි (1905, 5065, 5066)

නසාඊ නැමති හදීස් ග්‍රන්ථයේ අංක 2211 හදීසයේ නුඹලා අතුරින් “වත් පොහොසත්කම් තිබෙන කෙනෙක් විවාහ කර ගනිත්වා!” යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පැවසූ බව සඳහන් වී තිබේ.

ඉස්ලාම් ධර්මානුකූලව පුරුෂයින් විසින් ම කාන්තාවන්ගේ වියදම් හා පවුල් බර ඉසිලිය යුතුව ඇත. එබැවින් විවාහ දිවියට පිවිසෙන පුරුෂයෙකු ඒ සඳහා තමන්ට ආර්ථිකමය වශයෙන් ශක්තියක් තිබේ දැයි බැලිය යුතුය.

 

الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ ... (34) سورة النساء

අල්ලාහ් ඇතැමුන්ට වඩා ඇතැමුන් විශිෂ්ට කර තිබෙන බැවින් ද, පුරුෂයින් තම ධනය වැය කර හෙයින් ද, කාන්තාවන් පරිපාලනය කරන්නේ පුරුෂයින් විසිනි.

                                                                                                                        

පරිශුද්ධ වූ අල් කුර්ආනය 4:34

එපම‍ණක් නොව ගිහි ජීවිතයේ භාර්යාවට කළ යුතු යුතුකම් ගැන ද ඉස්ලාම් පැහැදිලිව පවසා ඇත.

19190  عَنْ جَدِّي قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ نِسَاؤُنَا مَا نَأْتِي مِنْهُنَّ وَمَا نَذَرُ قَالَ حَرْثُكَ ائْتِ حَرْثَكَ أَنَّى شِئْتَ فِي أَنْ لَا تَضْرِبَ الْوَجْهَ وَلَا تُقَبِّحْ وَأَطْعِمْ إِذَا أُطْعِمْتَ وَاكْسُ إِذَا اكْتَسَيْتَ وَلَا تَهْجُرْ إِلَّا فِي الْبَيْتِ كَيْفَ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ إِلَّا بِمَا حَلَّ عَلَيْهِنَّ  رواه احمد

මම නබි නායක (සල්) තුමාණන් වෙත, “අල්ලාහ්ගේ දූතයාණනි, අපි අපේ භාර්යාවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය කවරේද? වැලකී සිටිය යුතු ආකාරය කවරේදැ”යි විමසුවෙමි. එයට නබි නායක (සල්) තුමාණන් “(නුඹලාගේ භාර්යාවන්) නුඹලාගේ වගාබිමකි. නුඹලාගේ වගාබිමට රිසි සේ පිවිසෙන්න. (ඇයට තරවටු කරන විට දී) ඇගේ මුහුණට පහර නොදෙන්න. ඇයට අශික්ඛිත ලෙස බැණ නොවදින්න. නුඹ අනුභව කරන විට ඇයට ද අනුභව කරන්නට සලසන්න. නුඹ ඇඳුම් අඳින විට ඇයට ද අඳින්නට සලසන්න. නිවසේ දී හැර (අන් ස්ථාන වල දී) ඇයට පිළිකුල නොපෙන්වන්න. නුඹලා එකිනෙකා සමඟ මිශ්‍රව සිටිය දී ඔවුන් සම්බන්ධයෙන් නුඹලාට අනුමැතිය තිබෙන දේ මිස අනෙකුත් කරුණු වල දී වල දී (ඔවුන් සමඟ නුඹලා වරදවා කටයුතු කරන්නේ) කෙසේ ද? යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පැවසූ හ.

දැනුම් දෙන්නා : හද්යා (රලි) තුමා

මූලාශ්‍රය: අහ්මද් (19190)

ඉහත සඳහන් සාධක වලට අනුව යම් මුස්ලිම් පුරුෂයෙක් විවාහ වනවා නම්,

  • ඔහු වැඩි වියට පත් වී සිටිය යුතුය
  • විවාහය පිළිබඳ දැනුමක් තිබිය යුතුය
  • ලිංගික බෙලහීනතාවලින් තොර කෙනෙකු විය යුතුය
  • පවුල් බර ඉසිලිය හැකි තත්තවයක් තිබිය යුතුය
  • දරු පවුලට යුතුකම් ඉටු කිරීමේ හැකියාව තිබිය යුතුය

ඉස්ලාම් දහම පවසන ඉහත සුදුසුකම් පවතී නම් පුරුෂයෙකු විසින් විවාහයක් සිදු කළ හැකි බව අපට පැහැදිලිව වටහාගත හැකිය.

මුස්ලිම් කාන්තාවගේ අවම සුදුසුකම්

කාන්තාවන්ට ද විවාහය සඳහා වයසක් නියම නොකර අවම සුදුසුකම් කිහිපයක් ඉස්ලාම් කියා සිටී. 

  • කාන්තාවක් මල්වර වී තිබිය යුතුය

 විවාහය මුස්ලිම් කාන්තාවක් වූවත්, මුස්ලිම් නොවන කාන්තාවක් වූවත් කාන්තාවක් මල්වර වියට පත් වූවා නම් ඇය විවාහ වීමට සුදුසු දේහයක් ලබා ගන්නීය. 

ඈ දැන් ලොකු ළමයෙක්. මෙවැනි වදන් ඔබ අසා ඇති. ලොකු වීම මල්වර වීම වැඩිවියට පත්වීම ළමිස්සියක් වීම යන සියල්ලෙන්ම හැදින්වෙන්නේ පළමු වරට ඔසප් වීමය. ඔසප් වීම සිදු වන කෙනෙකුට දරු කළලයක් පිළිසිඳ ගැනීමට හැකි තත්ත්වයක පිහිටන නිසා ම විවාහයට සුදුසු දේහ ලක්ෂණ ඇගේ සිරුරේ හට ගැනේ.

සියලු දැරියන් මෙසේ වැඩිවිය පැමිණෙන්නේ එක ම වයසේ දී නොවේ. අප රටේ සාමාන්‍ය වශයෙන් (ගණන් බැලීම් අනුව) සැලකෙන්නේ අවුරුදු 13-14 පමණ කාලය. එහෙත් ඇතැම් දැරියන් මීට වසර ගණනකට කලින් වැඩිවිය පැමිණෙනු ඔබ දැක ඇති. මෙය වසර ගණනකට පසු ව සිදු වනු ද ඔබ දැක ඇති. ඒ සියල්ල ම අසාමාන්‍ය නොවේ.

දැරියගේ පෝෂණ තත්වයත් ඇයගේ අම්මා අක්කා හෝ වෙනත් ලේ නෑයකු මල්වර වූ වයසත් (ආරය) ඡීවත් වන පරිසරයෙන් ඇති කරන නොයෙකුත් සංවේදනත් අනුව මල්වර වන වයස වෙනස් විය හැකියි. රෝගී තත්වයක් නිසා පමා වීමක් සිදු වන්නේ ඉතාමත් ම කලාතුරකිනි. එයත් බිය විය යුත්තක් නො වෙයි. එහෙත් වයස අවුරුදු 17 ක් පමණ වනතුරුත් මල්වරය සිදු නොවුණි නම් වෛද්‍යවරයකු හමුවීමයි ඉතා සුදුසුයි. 

එබැවින් මල්වර වීම කාන්තාවකගේ විවාහය සඳහා වන කායික වශයෙන් වූ අවම සුදුසුකමකි. මෙය විවාහය සඳහා වූ පොදු ස්ථාවරයක් වන බැවින් මෙය වෙන ම නීති පොත් වල ලියා තැබිය යුතු නැත. පොදු නීතියේ ද කාන්තාවක් විවාහ වීමට නම් ඇය මල්වර වියට පත් වී තිබිය යුතුයැයි ලියා නැත. එලෙස ම මුස්ලිම් විවාහ නීතියේ ද ලියා නැත.

නමුත් කාන්තාවක් මල්වර වීම පමණක් විවාහය සඳහා වූ සුදුසුකම සපුරන්නේ නැත. ඒ සඳහා තවත් සුදුසුකම් කිහිපයක් ඇත.

  • විවාහය පිළිබඳ දැනුම තිබිය යුතුය

 පුරුෂයින්ට පවතින ඉහත සුදුසුකම් වලින් ඇතැම් සුදුසුකම් කාන්තාවන්ට ද අදාළ ය. විවාහය පිළිබඳ දැනුමක් ඇයට තිබිය යුතුය. විවාහ ගිවිසුමේ ඇය පාර්ශවකරුවෙක් නිසා විවාහය කවර අරමුණක් ‍උදෙසා සිදු වනවා ද යන්න පිළිබඳවත් ස්වාමි පුරුෂයාට ඇය ඉටු කළ යුතු යුතුකම් පිළිබඳවත් ඇය මනා අවබෝධයකින් පසුවිය යුතුය. එවන් වූ අවධියක් ලබන විට ඇයට විවාහ කළ හැකිය. මේ ගැන පෙර දී පුරුෂයින්ගේ සුදුසුකම් වල දී පැහැදිලි කර ඇත. 

  •  කාන්තාවගේ කැමැත්ත තිබිය යුතුය

විවාහයකට කාන්තාවකගේ කැමැත්ත අනිවාර්යයෙන් ම අවශ්‍ය වේ. ඇගේ කැමැත්තෙන් තොරව විවාහයක් සිදු කිරීමට ඉස්ලාම් දහමේ අවසර නැත.

4741 - حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِي سَلَمَةَ أَنَّ أَبَا هُرَيْرَةَ حَدَّثَهُمْ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَا تُنْكَحُ الْأَيِّمُ حَتَّى تُسْتَأْمَرَ وَلَا تُنْكَحُ الْبِكْرُ حَتَّى تُسْتَأْذَنَ قَالُوا يَا رَسُولَ اللَّهِ وَكَيْفَ إِذْنُهَا قَالَ أَنْ تَسْكُت   رواه البخاري

 “කන්‍යාවියක් වූවත් වැන්දඹුවකු වූවත්  ඇගේ කැමැත්ත අර ගත යුතුයැ”යි නබි නායක ‍(සල්) තුමාණන් පැවසූ විට, කන්‍යාවියක් (කැමැත්ත පළ කිරීමට) ලැජ්ජා වනවා නේදැයි ඇසුවෙමි. එයට නබි නායක (සල්) තුමාණන් ඇගේ නිහඞතාවම ඇගේ කැමැත්ත යනුවෙන් පැවසූහ.

දැනුම් දෙන්නා : ආයිෂා (රලි) තුමිය

මූලාශ්‍රය : බුහාරි (6971, 6964, 5137)

තවත් හදීසයක,

4743 - حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِي مَالِكٌ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنْ أَبِيهِ عَنْ عَبْدِ الرَّحْمَنِ وَمُجَمِّعٍ ابْنَيْ يَزِيدَ بْنِ جَارِيَةَ عَنْ خَنْسَاءَ بِنْتِ خِذَامٍ الْأَنْصَارِيَّةِ أَنَّ أَبَاهَا زَوَّجَهَا وَهْيَ ثَيِّبٌ فَكَرِهَتْ ذَلِكَ فَأَتَتْ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ نِكَاحَهُ رواه البخاري

මාගේ පියා මාගේ කැමැත්ත නොගෙන මට විවාහයක් සිදු කර දුන්නේය. එය ප්‍රිය නොකළ මා නබි නායක (සල්) තුමාණන් වෙත පැමිණ මේ ගැන පැවසූ විට නබි නායක (සල්) තුමාණන් ඒ විවාහය අවලංගු කළහ.

දැනුම් දෙන්නා: කන්සා බින්ත් කිතාම්

මූලාශ්‍රය : බුහාරි (5139,6945,6969)

ඒ අනුව මුස්ලිම් කාන්තාවක් සිය කැමැත්තෙන් තොරව විවාහයක් සිදු කර ගන්නට අවශ්‍ය නැත. එවන් වූ විවාහයක් අවලංගු විවාහයක් වන බව නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීමෙන් අපට දැනගත හැකිය.

කාන්තාවක් සිය කැමැත්ත පල කරන්නට නම් ඇයට යම් පරිනතභාවයක් තිබිය යුතුය. විවාහය පිළිබඳ දැනුමක් තිබිය යුතුය. ලාබාල වියේ පසුවන කෙනෙකු කැමැත්ත පල කරන්නට තරම් අවබෝධයක් තිබෙන කෙනෙක් නොවන නිසා විවාහයට වයස් සීමා නොමැති යැයි පැවසීම කුඩා දරුවන් විවාහ කර දීමට අනුබල දීමක් නොවන බව කව්රුත් වටහා ගත යුතුය. 

  • කාන්තාවන්ට භාරකරුවන් සිටිය යුතුය

 මනාලියගේ කැමැත්ත අවශ්‍යව තිබුණත් කාන්තාවක් තමන් විසින් ම විවාහයක් සිදු කර ගැනීමට ඉස්ලාම් අනුමත කළේ නැත. ඇගේ පූරණ කැමැත්ත මත ඇගේ විවාහය සිදු කර දිය යුත්තේ ඇගේ භාරකරුවා ය. නමුත් මනාලයාට මෙවැනි භාරකරුවෙකු අවශ්‍ය නැත.

වගකීම් දැරිය හැකි පුද්ගලයෙකු ඉදිරිපිට විවාහයක් සිදු වන විට දී කාන්තාවන් මුළා කරන පුරුෂයින්ගෙන් ආරක්ෂාවක් ලබන්නීය. කාන්තාවට ලැබිය යුතු මහ්ර් වැනි දෑ ලබා දීමට කාන්තාවන් වෙනුවෙන් වලී කෙනෙකු අවශ්‍ය ව ඇත.

وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آَيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ (221) سورة البقرة

සමානයන් කල්පනය කරන ස්ත්‍රීන් විශ්වාස කරන තෙක් ඔවුන් විවාහ කර නොගන්නග සමානයන් කල්පනය කරන ස්ත්‍රීයක් නුඹලාගේ සිත් කෙතරම් වසඟ කළත් ඇයට වඩා විශ්වාස කරන වහල් ස්ත්‍රියක් උතුම් ය. සමානයන් කල්පනය කරන පුරුෂයින් විශ්වාස කරන තෙක් ඔවුනට (නුඹලාගේ ස්ත්‍රීන්) විවාහ කර නොදෙන්න. සමානයන් කල්පනය කරන පුරුෂයින් නුඹලාගේ සිත් කෙතරම් වසඟ කළත් ඔහුට වඩා විශ්වාස කරන වහලෙක් උතුම් ය. ඔවුහු නුඹලා නිරා ගින්න වෙත කැඳවති. අල්ලාහ් තම කැමැත්ත පරිදි ස්වර්ගයට හා ක්ෂමාව වෙත නුඹලා කැඳවයි. ඉගැන්මක් ලබනු පිණිස (දෙවියන්) තම වැකි මිනිසුන්ටපැහැදිලි කරයි.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 2:221

සමානයන් කල්පනය කළ කාන්තාවන් දෙවියන් විශ්වාස කරන තෙක් විවාහ නොකරන්නැයි පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 2:221 වැකියේ පුරුෂයින්ට අණ කරන සර්ව බලධාරී දෙවියන් සමානයන් කල්පනය කළ පුරුෂයින් විශ්වාස කරන තෙක් ඔවුන්ට ‍(නුඹලාගේ කාන්තාවන්) විවාහ කර නොදෙන්න යනුවෙන් පුරුෂයින් අමතා ම ඒ වැකියේ ම පවසයි. පුරුෂයින් තමන්ගේ කැමැත්තට විවාහ කරගත හැකියැයි ද කාන්තාවන්ට ඔවුන්ගේ භාරකරුවන්, භාරකරුවන් නොමැති නම් සමාජයේ නායකයින් ඉදිරිපිට විවාහය සිදු කර දිය යුතුයැයි ද මෙම වැකියෙන් දැනගත හැකිය.

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ තවත් තැනක,

فَانْكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ…(25) سورة النساء

ඔවුන්ගේ පවුලේ අයගේ අවසරය ඇතුව ඔවුන් විවාහ කරගන්න.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 4:25

මෙම වැකිය කාන්තාවක් තමන් විසින් ම විවාහයක් සිදු කර ගැනීම තහනම් කරයි. තව ද  විවාහයට භාරකරුවෙක් අවශ්‍ය බව නබි නායක (සල්) තුමාණන් පවසා ඇත‍.

 1020  حَدَّثَنَا عَلِيُّ بْنُ حُجْرٍ أَخْبَرَنَا شَرِيكُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَبِي إِسْحَقَ و حَدَّثَنَا قُتَيْبَةُ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِي إِسْحَقَ ح و حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ عَنْ إِسْرَائِيلَ عَنْ أَبِي إِسْحَقَ ح و حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ أَبِي زِيَادٍ حَدَّثَنَا زَيْدُ بْنُ حُبَابٍ عَنْ يُونُسَ بْنِ أَبِي إِسْحَقَ عَنْ أَبِي إِسْحَقَ عَنْ أَبِي بُرْدَةَ عَنْ أَبِي مُوسَى قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا نِكَاحَ إِلَّا بِوَلِيٍّ رواه الترمدي

“භාරකරුවෙක් නොමැතිව විවාහවක් නොමැත” යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පවසා ඇත. 

දැනුම් දෙන්නා: අබූ මූසා ‍(රලි) තුමා

මූලාශ්‍රය : තිර්මිදි (1020), අබූදාවුද්(1785)

මේ සියලු කරුණු ඉස්ලාම් දහම අනුව මුස්ලිම් කාන්තාවකට හෝ පුරුෂයෙකුට හෝ විවාහය සඳහා අවම වයස් සීමා පැනවිය නොහැකි බවත් අවම සුදුසුකම් ලබන අය විවාහ කර ගත හැකි බවත් මනාවට පැහැදිලි කරයි. ලාබාල වියේ විවාහය හෝ ළමා අපචාරයක් ඉස්ලාම් අනුමත කළේ නැත. මුස්ලිම් ජන සමාජයේ එවන් වූ විවාහ කවරදාකවත් සිදු වූයේ ද නැත.

අවම වයස් සීමා නොදමා අවම සුදුසුකම් දමන්නැයි අපි ඉල්ලා සිටින්නේ ඇයි?

ඉස්ලාම් පැවසූ ආකාරයට අවම වයස් සීමා නොදමා අවම සුදුසුකම් දමන්නැයි අපි ඉල්ලා සිටින්නේ ඇයි ද? යන කාරණාවත් අප දැනගත යුතුය.

පළමු හේතුව

මුස්ලිම් ජන සමාජය පාලනය කරන නීතියකට විධි විධාන සම්පාදනය කළ යුත්තේ පරිශුද්ධ වූ අල් කුර්ආනය හා නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම් වලට අනුකූලව ය. ඉස්ලාමීය දහම් මූලාශ්‍රය අනුව විවාහක අවධිය සඳහා ඉස්ලාම් දරන ස්ථාවරය කුමක්දැයි අපි පැහැදිලි කළෙමු. ඒ ස්ථාවරය වඩාත් නිරවද්‍ය හා ප්‍රායෝගික ස්ථාවරයකි. එය ම මුස්ලිම් විවාහ නීතියට ඇතුළත් විය යුතුය.

දෙවන හේතුව

විවාහයක් සඳහා අවම වයස් සීමා පැනවීම ප්‍රා යෝගික නොවේ. අප රටේ කලින් පැවති විවාහක වයස පුරුෂයෙකුට 16ක් හා කාන්තාවකට 12කි. එය වසර 88ක් කාලයක් නීතිගත වූවත් නැවත වසර 1995 දී පුරුෂ හා ස්ත්‍රී දෙපාර්ශවයට ම වයස අවුරුදු 18ක් ලෙස වෙනස් කළ හ. නැවතත් 2005 වසරේ දී එය වයස අවුරුදු 16ක් දක්වා අවම කරන්නට උත්සහයක් දැරූ හ.

ඒ වගේ ම වත්මන් ලොවේ ද විවිධ රටවල විවධ වයස් සීමාවන් පනවා ඇත. ඒ ගැන දැනගැනීමට https://en.wikipedia.org/wiki/Marriageable_age ලිපිනයට පිවිසෙන්න. මේ සියල්ල විවාහය සඳහා අවම වයස් සීමාවක් ප්‍රායෝගික නොවන බව පැහැදිලි කරයි.

එමෙන් ම, අද තරුණ දියණිවරුන්ට මෙන්ම කාන්තාවටද තම නිවෙසේ පවා ආරක්ෂාව අහිමිවූ වාතාවරණයක් ඇතිවී තිබේ. තම නිවෙස තුළදී මෙන්ම මහ මගදී, පොදු ප‍්‍රවාහන සේවාවලදී, පාසලේදී, රැකියා ස්ථානයේදී ආදී වශයෙන් සමාජයේ සියලූම තැන්හිදී බාල වයස්කාර දැරියෝ මෙන්ම කාන්තාවෝද දුෂණයට ලක්වෙති. එමෙන්ම ලිංගික වධහිංසාවන්ට හා ඝාතනයට ගොදුරු වේ.

පාරිභෝගිකවාදී සමාජ ව්‍යුහය මත අද බොහෝ මිනිසුන් නොනවතින අරගලයක නිරත වී සිටියි. ධනය, බලය හා ලිංගිකත්වය මත තම අරමුණු කේන්ද්‍ර කරගත් බහුතර මිනිසා මගින් ගුණදහම් ඈත්ව යාමත්, සමාජ සම්මතයන් හා සම්ප‍්‍රදායයන් නොසලකාහැරීමත් පොදු ලක්ෂණයක් බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය.

මෙවන් සමාජ වාතාවරණයක දී සුදුසු කලට සුදුසු අය සරණපාවා දීම හැර අන් ප්‍රායෝගික විසඳුමක් අපට නැත. විවාහක වයස අවුරුදු 18ක් යැයි නිශ්චය කිරීමෙන් රටේ ළමා අපයෝජන වර්ධනය වීමක් සිදු වනවා මිස එය රටේ සදාචාරයට කිසිත් හිතකර පසුබිමක් ඇති කළේ නැත.

සාරාංශය

ජී එස් පී බදු සහන අප රටේ ආර්ථික අභිවෘද්ධියට බෙහෙවින් ම බලපාන සාධකයක් වූවත් රටේ ස්වෛරීයභාවයට අභියෝගයක් වන තත්ත්වයක එය අපට අවශ්‍ය නැත.

ජී එස් පී මුවාවෙන් රටේ අභ්‍යන්තර නීති පද්ධති වලට යුරෝපා සංගමයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් ජාත්‍යන්තර බලවේග වලට අත පෙවීමට ශ්‍රී ලාංකේය ජනතාව ඉඩ නොදිය යුතුය.

මුස්ලිම් විවාහ නීතියේ සංශෝධනයන් අවශ්‍ය වූවත් එය යුරෝපා සංගමයේ හෝ වෙනත් පාර්ශවයක උවමනාවට නොව මුස්ලිම් ජන සමාජයේ ශුද්ධ වූ මූලාශ්‍ර වන පරිශුද්ධ වූ අල් කුර්ආනයට හා නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම් වලට අනුව සිදු විය යුතුය.

මුස්ලිම් විවාහ නීතිය ලාබාල වියේ දරුවන් විවාහ කර ගන්නට අනුමැතිය දුන්නේ නැත. ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කළේ නැත.

ඉස්ලාම් දහම අනුව මුස්ලිම් පුරුෂයෙකුට හෝ ස්ත්‍රීයකට හෝ අවම වයස් සීමාවක් නොපැනවී තිබෙන අතර විවාහය සඳහා අවම සුදුසුකම් පමණක් පනවා ඇත. ඒ සුදුසුකම් මුස්ලිම් විවාහ නීතියට පිවිසිය යුතු වනවා මිස අවම වයස් සීමා නොපිවිසිය යුතුය.

අවම වයස් සීමාව වශයෙන් වයස අවුරුදු 16 සාධාරණ නොවේ.