විල්පත්තුව ඇත්ත නැත්ත

විල්පත්තුව ඇත්ත නැත්ත

විල්ලූවලින් ගහන වූ ප‍්‍රදේශය ‘විල්පත්තුව’ යැයි ජන සම්මතයේ ප‍්‍රවාදයක් ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම වනෝද්‍යානය වන විල්පත්තුවේ දැනුදු කරදිය හා මිරිදිය විල්ලූ හැටක් තිබීම මේ ජන සම්මතය තහවුරු කරවයි.

විල්පත්තුව පුරා ඝණව කටු පඳුරු හා තුරුවැල් පිහිටා ඇති අතර ඒ නිසා ම අලි ඇතුන්ගේ ගහනය විල්පත්තුවේ කොටසකට සීමාවී පවතී.විල්පත්තුව දිවියන්ගේත් වලසුන්ගේත් තෝතැන්නක් ලෙස ප්‍රචලිත ය. මුවන්, කුළු හරකුන්, කිඹුලන්, මොණරුන්, හිවලුන් මෙන් ම විවිධ පක්ෂී විශේෂ රාශියක් ද අපට විල්පත්තුව වනෝද්‍යානය තුළ දැකගන්නට හැකිය.මෙම වනෝද්‍යානයතුළඅලියා - කොටියාවැනි ශ්‍රී ලංකාවට ආවේනිකවන සතුන්බහුලව ජීවත්වනඅතර පෞරාණිකශාක වර්ගද එහිපවතී.ජලපෝෂකප්‍රදේශ, විල්හා තණද ඊට ඇතළත්ය.

ශ්‍රී ලංකාවේ පවතින වඩාත් පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය විල්පත්තුව වනෝද්‍යානයයි. එබැවින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට අයත් වටිනා ජාතික සම්පතක් වන බව අවිවාදයෙන් පිළිගත යුතුය.

නමුත් වර්තමානයේ  විල්පත්තුව පිළිබඳව විවිධ පාර්ශව මිථ්‍යාව වපුරමින් ජාතීන් අතර අවිශ්වාසය හා අසහනය ඇතිකරමින් සිටිති. හුදෙක් පරිසර ප්‍රේමීත්වය හා ජාතිකවාදය අවියක් කර ගනිමින් හැම අතටම එය පැතිරවීමෙන් බරපතළ ප්‍රතිඵල ඇතිවිය හැකිය.පරිසරවේදීන්ගේ, ජාති වාදී බලවේගයන්ගේ මාධ්‍ය සංදර්ශන මෙන්ම ඇතැම් ගෝස්තරවාදී මාධ්‍ය ආයතනයන්ගේ ‘ස්වාධීන මාධ්‍ය වාර්තාකරණය’ ලේබලය යටතේ රටටම මිථ්‍යාව පතුරවමින් සිටින අතරම ෆේස්බුක් වීරයන් මෙන්ම ඇතැම් ධනවත් කාන්තාවන්ගේ රොමැන්ටික් පරිසර ව්‍යාපාරයන්ට මෙම විරෝධය නතුකර ගෙන, එය ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විහිදා ඇති ආකාරය පසුගිය කාල වල දී අපට අත්දකින්නට හැකි විය. විල්පත්තුව ජාතික වනෝද්‍යානය විනාශයේ අභිමුව පැවතීම සත්‍යයක් නම් එය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් යම් ක්‍රියාමාර්ග ගත යුතු ම ය. එසේ නොවන තත්ත්වයක පවතී නම් එය ඇතැම් බලලෝභී දේශපාලඥයින්ගේ අමනෝඥ ජාතිවාදීන්ගේ පැවැත්ම සදහා වන න්‍යාය පත්‍රයක කොටසක් වන බව අවබෝධ කරගෙන ජනතාව අවධි විය යුතුය.

මේ පිළිබදව විස්තරාත්මක ව කරුණු සාකච්ඡා කිරීමට පෙර විල්පත්තුවේ පසුබිම හා අතීතය ගෙනහැර දක්වන්නට අදහස් කරමි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කිරීම හා එහි සීමා මායිම්

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පිහිටීම අනුරාධපුරයේ සිට කි.මී. 30ක් බටහිරින් ද පුත්තලමෙන් කි.මී. 26ක් උතුරින් ද (කොළඹින් කි.මී. 180ක් දුරින් ද) උතුරු මැද හා වයඹ පළාත් වල පිහිටා ඇත.මෙය හෙක්ටාර් 131693කින් යුත් භූමි ප්‍රමාණයක් උරුමකම් සුවිශාල වන බිම් පෙදෙසක් වන අතර මෙහි පවතින ජෛව විවිධත්වය හා ශාක විවිධත්වය සැලකිල්ලට ගෙන වසර 1905දී වන රක්ෂිතයක් ලෙසත් වසර 1938 දෙසැම්බර් මස 25 වන දින ජාතික වනෝද්‍යානයක් ලෙසත් එවකට පැවති ඉංග්‍රීසි පාලකයන් විසින් ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශයට පත් කරන ලදී.

1937 අංක 2 දරණ වන සත්ත්ව ආරක්ෂක ආඥා පනත පළමුව නීති ගත වීමෙන් අනතුරුව ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත් කළවනෝද්‍යානයක් ලෙස විල්පත්තු වනෝද්‍යානයක් සදහන් වේ. මෙහි දකුණු මායිම වශයෙන් කලා ඔය ද උතුරු මායිම වශයෙන් ද මෝදගම් ආරුනදිය ද නැගෙනහිර මායිම වශයෙන් අනුරාධපුරය හරහා ගලා බසින මල්වතු ඔය හෙවත් අරුවි ආරු නදිය ද බටහිරි මායිම වශයෙන් ඉන්දියානු සාගරය ද පිහිටා ඇත.

විජයාවතරණය හා විල්පත්තුව

කි.පූ. 543 හි දී විජය කුමරු ශ්‍රී ලංකාවට පැමිණි ගොඩ බැසි ස්ථානය තම්බපණ්ණී යනුවෙන් හැදින්වෙන කුදිරමලෙයි තුඩුව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇත. විජය කුමරු හා කුවේණි වාසය කළ ආදිත ම ජනාවාසය විල්පත්තුව තුළ තිබුණු බව මෙයින් පෙනී යයි. තව ද පසු කාලයේ කුවේණිගේ නැගණිය  වන අල්ලි මහ රාණි ප්‍රදේශාධිපතිනියක් වශයෙන් විල්පත්තුව තුළ පාලනයක් ද සිදු කර ඇත. මෙයින් ගම්‍යමාන වන්නේ ඈත අතීතයේ සිට ම විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ හා එහි අවට විවිධ ජනාවාස පිහිටා තිබුණු බවයි.

මුස්ලිම්වරුන්ගේ ඉපැරණි ජනාවාස

මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරු පාරම්පරිකව මුල් පුරවැසියන් වශයෙන් ජීවත් වෙමින් සිටිය හ. මෙය මුස්ලිම්වරුන්ගේ ඓතිහාසික පසුබිමක් සහිත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශ වල මුස්ලිම්වරු මුතු කිමිදීම, ධීවර වෙළඳාම, අත් කර්මාන්ත, ගව අභිජනනය, ගොවිතැන් කටයුතු, රජ කාලයේ අලි ඇතුන් වෙළඳාම, හේන් වගාව වැනි කටයුතු වල නියැලෙමින් සිටිය හ. මුස්ලිම්වරුන් හා වන රක්ෂිතයන් අතර කිසිඳු ගැටළුවක් නොවීය. මුස්ලිම්වරු හා වන සතුන් අතර කිසිඳු ගැටළුවක් නොවීය.

විශේෂයෙන් ම මොල්ලිකුලම්, මරිච්චිකට්ටි, කරඩික්කුම්, කල් ආරු, කොන්ඩච්චි, කොක්කුපඩෙයාන්, චිලාවතුරෙයි ආදී ප්‍රදේශවල ඉතා ම ඉපැරණි ගම්මාන පිහිටා තිබුණු බව ඓතිහාසික සාධක මගින් තහවුරු කළ හැකිය.

මුස්ලිම් වරු හා මුතු කිමිදුම් වෙළදාම

ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු වූ සර් ඉමර්සන් ටෙනන්ට්ගේ TheNatural History of Ceylon හෙවත් ජී.ඩබ්ලිව්. නන්දසේන මහතා සිංහලට පරිවර්තනය කළ, ‘ලංකාවේ ස්වාභාවික විද්‍යාව’ කෘතියේ309 සහ 312 පිටුවල මෙලෙස සඳහන් වේ.

‘ඉතාමත් ගෞරවනීය වූ වෙළෙඳාම වූයේ මන්නාරම් බොක්ක මායිම් කොට ලංකාවේ බටහිර මුහුදු වෙරළේ කෙරෙන මුතු කිමිදීමයි. ලංකාවේ දක්නට ලැබෙන මෙම දීර්ඝ වෙරළ තරම් හුදෙක් දුක්මුසු විලාසයක් ගන්නා අන් තැනක් ලංකාවේ තවත් නැතැයි කිවහැකි තරම්ය. මෙම මුහුදු බොක්ක ප්‍රසිද්ධියක් උසුලන අගනා මුතු ඇට ලබා ගනු පිණිස, ලෝකයේ ඈත කෙළවරේ සිට අතිපුරාණ කාලයේ පටන් ගවේෂකයෝ මෙතැනට රොක්වෙති. මෙම ස්ථානය කරා මුහුදින් ළඟාවන විට පැහැදිලිව දිස්වන එකම ලකුණ වනුයේ ගිල්ෆර්ඞ් සාමිවරයා විසින් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් තාවකාලික නිවසක් ලෙස ඉදිකරන ලද ගොඩනැගිල්ලකි.එහි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ නිසා එය ‘ඩෝරික්’ නමින් හැඳින්වේ. ඊට යාබදව පහතින් පිහිටි වැල්ලට මඳක් උසින් පොල් ගස් කීපයක් දක්නට ලැබේ. ඒ සමඟ ම දිස්වනුයේ අරිප්පු සහ කොන්ඩයිච්චි යන ගම්වලට අයත් තැනින් තැන පිහිටි නිවාසය.

මෙකී ස්ථාන දෙක අතර සැබැවින්ම කියතොත් කල් ආරු සහ අරුවි ආරු යන ගංගා දෙක අතර වූ වෙරළ අඩි ගණනාවක් උස් වී ඇත්තේ මෙකී බෙලි කටුවලින් තැනුණු දැවැන්ත ගොඩැලි නිසා ය. එම ගොඩලිවල කාවාටි කෝටි ගණන් ඇත. මුතු ඇට ගළවා ගත් මෙම බෙලිකටුවලින් වෙරළ දිගේ සැතපුම් ගණනක් දිගට වැටිය සෑදී තිබේ.

මුතු පරයක් කිමිදීම කෙරෙන කාලවලදී ඉන්දියාවේ ඈත ප්‍රදේශවලින් මෙම හුදෙකලා පාළු ස්ථානය කරා ළඟාවන සෙනගින් හිටිහැටියේ මෙම ප්‍රදේශය පණ ලබයි. ගොඩ සිටින මහා සෙනගට පමණත් නොව මූදු බොක්ක වසාගත් බෝට්ටු රාශියේ වැඩ කරන නාවිකයන් හා කිමිදුම්කරුවන්ට ද අවශ්‍ය සියල්ල සපයනු පිණිස තාවකාලික නිවාස, ලෑලි ගැසූ පොල් අතු මඩු, තල් අතු හෝ කැන්වස් රෙද්දෙන් ආවරණය කළ කූඩාරම් හා වීදි ද සහිත නගරයක් හිටිහැටියේ මෙතැන ඉදිවෙයි.

මා අරිප්පු කරා ළඟා වූ කල්හි මුතු කිමිදෙන්නෝ සිය ප්‍රධානියා වූ ‘ආඩපනාර්’ගේ නියෝග යටතේ මුහුදට යවන ලදහ. ඔවුහු මුතු පරීක්ෂා කිරීම ආරම්භ කළහ. ප්‍රධාන වශයෙන් මෙම කාර්යාලයට යොදා ගනු ලැබූ මිනිසුන් වූයේ බෙලිකටු කැඩීමට කිමිදීමේ පුහුණුව ලබා සිටි, දෙමළ හා මරක්කල මිනිසුන්ය. කිමිදුම්කරුගේ කටයුත්තට සහාය පිණිස යොදවනු ලැබූ උපකරණ කට්ටලය බෙහෙවින් සරල ස්වාභාවයක් ඉසිලීය.’

ඉහත සදහන් වන්නේ ඉපැරණි කල් ආරු හා අරුවි ආරු අතර ප්‍රදේශය තුළ ජනාවාස පිහිටා තිබුණු බවත් විශේෂයෙන් ම විදේශ රට වලින් පැමිණෙන ගවේෂකයෝ මුතු කිමිදීමේ වෙළදාමේ නියැලුණු බවත් මුතු කිමිදීමේ කටයුත්ත සිදු කළ  මුස්ලිම් හා දෙමළ ජනතාව ඒ ප්‍රදේශය තුළ ජීවත් වූ බවත් ය.මෙය විල්පත්තුවට උතුරින් පිහිටි ප්‍රදේශ තුළ මුස්ලිම් හා ද්‍රවිඩ ජනාවාස පැවති බව පැහැදිලි කරන ඓතිහාසික සාධකයකි.

වනජීවි අධ්‍යක්‍ෂ වරයෙකු වන කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු හා ගත් කතුවරයකු වන එස්ඩී සපරමාදුගේ ප්‍රකට පොතක් වන ‘ශ්‍රී ලංකාවේ වන ජීවි රංග භූමිය’ නම් කෘතියෙනුත් කොටසක් උපුටාගැනීම මෙහි දී වැදගත්ය.

මෙම පොතේ පළමු කාණ්ඩය විල්පත්තු ඉතිහාසය කදිමට දක්වයි. ඔහුගේ රාජකාරි කාලයේ අත්දැකීම් මෙන්ම එයට පෙර ඉංග්‍රීසි කාලය දක්වා සවිස්තර කරුණු ඉදිරිපත් කරන අතරම මහාවංශයේ දැක්වෙන ඉතිහාසය මෙම පොත මනාව විස්තර කර ඇත.

ඔහුගේ පොතේ පළමු කාණ්ඩයේ 1 වන පරිච්ඡේදයේ සිට අවසානය දක්වා විල්පත්තු හා ඒ ආශ්‍රිත කලාපය පිළිබඳ විස්තර සඳහන් වන අතර, එමගින් ඉතා හොඳින් ප්‍රදේශයේ ජනාවාස පැවති ආකාරය හා ඒවාට පසුබිම් වූ ඉහත කී මුතු හක් බෙල්ලන් වෙළෙඳාම පිළිබඳව කදිම විස්තරයක් කියවෙයි.

කලාඔය සහ මෝදරගම් ආරු අතර පිහිටි ඕලන්ද මාර්ගය

එලෙසම වෛද්‍යවරයකු වු සීජී ඌරගොඩ විසින් ලියන ලද ‘ශ්‍රී ලංකාවේ වනජීවි සංරක්‍ෂණය’ නම් පොතෙහි විල්පත්තුව පුරාණය සහ එම ප්‍රදේශවල ඉතිහාසය පෙන්නුම් කරන සටහන් ඉතා හොඳින් දක්වා ඇත. ඔහු කියන ආකාරයට එම පොතේ හත්වන පරිච්ඡේදය සම්පූර්ණ වශයෙන් වෙන්කර ඇත්තේ විල්පත්තුව සඳහාමය. එහිදී ඔහු සඳහන් කරන ආකාරයට කලාඔය සහ මෝදරගම් ආරු අතර පිහිටි ඕලන්ද මාර්ගය (විල්පත්තු වනෝද්‍යානය මැද පිහිටි අතර) මරිච්චිකට්ටි ගම්වාසීන් පාවිච්චි කළ බවත් ඔවුන් කරත්ත මගින් පුත්තලමට පොල් අතු රැගෙන ගොස් ඇති බවත් පෙනෙයි.

1926-1928 කාල වකවානු වල දිස්ත්‍රික් හා ගම්මාන ලැයිස්තුව 

1926-1928 කාල වකවානු වල දී ලියන ලද ලංකාවේ දිස්ත්‍රික් හා ගම්මාන ලැයිස්තුව  (District List and Villages of Ceylon)නමැති කෘතියේ උතුරු පලාතේ ගම්මාන (The Villages in the Northern Province)නාමයන් සදහන් කරන විට දී මුසලි දකුණ උදයාර් ග්‍රාම සේවා වසමට අදාළ ගම්මානයන් කොටස් තුනක් වශයෙන් බෙදා ලැයිස්තුගත කර ඇත. අංක 201යටතේ චිලාවතුරෙයි ප්‍රදේශයට අදාළ ගම්මාන ද, අංක 202 යටතේකොක්කුපඩෙයාන් වලට අදාළ ගම්මාන ද, අංක 203 යටතේ මරිච්චිකට්ටි වලට අදාළ ගම්මාන ද සදහන් කර ඇත. එහි මරිච්චිකට්ටි යටතේ මොල්ලිකුලම්, තාන්ඩිකුලම්, පුලියාන්කුලම්, කරඩිකුලි, මරිච්චිකට්ටි, පාලෙයිකුලි ඇතුළුව ගම්මාන 22ක නම් සදහන් කර ඇත. එබැවින් ඉහත ප්‍රදේශවල ජනාවාස පැවති බව සක් සුදක් සේ පැහැදිලි වේ.

මුස්ලිම් ජනතාව භාවිත කළ නිවාස, ළිං, දේවස්ථාන හා අනෙකුත් සාධක

තව ද මරිච්චිකට්ටි, කරඩික්කුලි වැනි ප්‍රදේශවල ජීවත් වූ ජනතාවගේ ජාතික හැදුනුම්පත් වල අදාළ ප්‍රදේශයන් හි ලිපිනයන් ද පැහැදිලිව සදහන් වේ. පාසැල්, තැපැල් කාර්යාල, මුස්ලිම් දේවස්ථාන අදාළ ප්‍රදේශ වල පැවති බවට තවත් නොයෙකුත් සාධක ඇත. එමෙන් ම හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා1980 වසරේ 07 වන මස 21වන දින ඒ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද නිවාස වල නටබුන් ද අදටත් දැකගත හැකිය.

මරිච්චිකට්ටි මුස්ලිම් දේවස්ථානය

ජනතාව භාවිත කළ ළිංපැවති ස්ථාන - නිල් පැහැති තිත් මගින් දිස් වේ!

1980 වසරේ 07 වන මස 21වන හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ඉදි කර දුන් නිවාස පිළිබද සදහන් පුවරුව

වන රක්ෂිත පටලැවිල්ල

විවිධ කාල වකාවනු වල දී විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සීමා මායිම් දීර්ඝ වී ඇත. වසර 1973දී මෙම වනෝද්‍යානය නැවත පුළුල් කරන අවස්ථාවේ එකල සිටි පරිසරවේදීන් හා සංවිධාන කරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙසට විල්පත්තු උතුරු කලාපය මෝදරගම් ආරු දක්වාද නැගෙනහිර ප්‍රදේශයේ මහා විලච්චිය වැව දක්වා ද දික් වී ඇත.

එකී කාල වකවානුවේ දී මරිච්චිකට්ටි හෝ කරඩික්කුලි හෝ වන සංරක්ෂිත ලෙස නම් නොකරන ලදී. මෝදගම් ආරු සිට කල් ආරු දක්වා වූ ප්‍රදේශ රක්ෂිත වලට අදාළ ජල පෝෂක වූයේ නම් මෙකී කාලය තුළ දී ම රක්ෂිත ලෙස නම් කරන්නට තිබුණි. එකල සිටි වන ජීවි නිලධාරීහු ජල පෝෂක ප්‍රඅදේශ නාදුනන හෝ නොදන්නා පිරිසක් නොවූ හ.

නමුත් මෑතක දී එනම්, 2009 වසෙර් දී වේප්පාල් වන රක්ෂිතය ද, 2012.05.21වන දින හෙක්ටෙයාර් 2108ක් වූ විලත්තිකුලම් වන රක්ෂිතය ද හෙක්ටෙයාර් 7525ක් වූ පෙරියමුරිප්පු වන රක්ෂිතය ද, 2012.10.10 වන දින හෙක්ටෙයාර් 6042ක් වන මර්ච්චිකට්ටු/ කරඩික්කුලි වන රක්ෂිතය ද, ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව වසර 2012 දී විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුර සීමා මායිම වන මෝදගම් ආරු හා ඊට ඉහලින් පිහිටි විල්පත්තු උතුරු අභය භූමිය කල් ආරු පෙදෙස දක්වා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් සිදු විය.

මෙහි දී මුසලි ප්‍රාදේශීය ලේකම් සීමාවට අයත් මර්ච්චිකට්ටු, කරඩික්කුලි වැනි පුරා ගම්මාන ප්‍රදේශ පවා විල්පත්තු වන සංරක්ෂිතයට ඒකාබද්ධ කිරීමක් සිදු විය. විල්පත්තු ප්‍රශ්නය උග්‍ර තත්ත්වයකයට පත් වන්නේ මෙතැන් සිට දී ය.

වන රක්ෂිත පිළිබඳ පටලැවිල්ල හටගත්තේ, 2012 උතුරු පළාත් සභා ඡන්දයෙන් අන්ත පරාජයට පත්වීමේ අවදානමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුහුණදීමත් සමග ය. එය ඔහුගේ ෆැසිස්ට් පාලනය තැති ගැන්වීය. තමන්ගේ සිංහල දේශපාලනය, දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ උතුරේ අන්ත පරාජයකට පත්වන බව ඔවුන්ට පෙනුණි.

ඒ නිසා, එවකට පරිසර ඇමති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ එක පෑන් පහරකින් උතුරේ පිහිටි සශ‍්‍රීක ඉඩම් අක්කර දහස් ගණනක්, වන රක්ෂිතයන් වශයෙන් හෝ දියබස්නා ප‍්‍රදේශ වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණි. මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ජනතාව වාසය කළ මුසලි දකුණ ප‍්‍රදේශයේ අක්කර දහස් ගණනක ඉඩම් ප‍්‍රමාණයක් ද ඊට අයත් විය. මෙහි අරමුණ වුණේ, වගා කළ හැකි ඉඩම් අක්කර විශාල ප‍්‍රමාණයක් කෙරෙහි උතුරු පළාත් සභාවට ඇති බලය ඔවුන්ගෙන් උදුරා ගැනීමයි.

මුස්ලිම් ජනතාව විල්පත්තු ජාතික වනෝද්‍යානය විනාශ කළා ද?

2009 වසරේ දී කොටි ත්‍රස්තවාදීන් මුළුමණින් ම විනාශ කරනු ලැබූ හ. යුද්ධය නිමාවට පත් වීමත් සමග කොටි ත්‍රස්තවාදීන් විසින් සිය ජනාවාස වලින් පිටුවහල් කරන ලද මුස්ලිම් ජනතාව තම පැරණි නිජබිම් කරා පැමිණ තාවකාලික වාසස්ථාන තනා ගත් හ. ඇතැම් හු මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඪාෂයට අයත් මරිච්චිකට්ටි හා කරඩිකුලි පෙදෙස් වල පදිංචි වූ හ. ඇතැම් හු මන්නාරම දූපතේ ද පදිංචි වූ හ. ඇතැම් හු චිලාවතුරෙයි වල පදිංචි වීමට උත්සහ දැරූ හ. නමුත් මුස්ලිම්වරුන්ගේ  පාරම්පරික ගම්මාන වල නාවික හමුදා කදවුරු දක්නට විය. එබැවින් චිලාවතුරෙයි වල පදිංචි වීමට මුස්ලිම්වරුන්ට නොහැකි විය.

ඒ කාල වකවානුවේ දී ම විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරු මායිමේ සිට චිලාවත්තුරෙයි දක්වා අලුතින් මාර්ගයක් ඉදි කරන ලදී. මෙම මාර්ගය ආරක්ෂක හේතු මත රජයේ අවසරය ඇතිව යුද හමුදාව විසින් ඉදිකරන ලද මාර්ගයකි. මෙකී මාර්ගයට දෙපසින් මීටර 250ක වන පෙදෙසක් එළි පෙහෙලි කරන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාව ආරක්ෂක කරුණක් මත ය. මුස්ලිම්වරු මෙය සිදු කළේ නැත.

වහා ම ඇතැම් ජාතිවාදීන් විසින් මුස්ලිම්වරු වන සංරක්ෂිත විනාශ කරන බවත්  කැළෑ බිම්  එළි පෙහෙලි කරන බවත් ඉඩම් ආක්‍රමණය කරන බවත් පවසමින් චෝදනා නගන්නට පටන් ගත් හ. මෙකී ප්‍රශ්නය උඩු දුවන්නට පටන් ගත් විට 2009 වසරේ දී ම දේශපාලඥයින්ගේ උවමනාවලට අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වේප්පාල් රක්ෂිතයත් 2012 වසරේ මැයි මස 21 වන දින අංක 1759/2  විශේෂ ගැසට් නිවේදනයකට අනුව විලත්තිකුලම්, මරිච්චිකට්ටි, කරඩිකුලි සියල්ල රක්ෂිත වශයෙන් රජය ප්‍රකාශයට පත් කළේ ය.

මුස්ලිම් වරු කැළෑ පෙදෙස් එළි පෙහෙලි කරන බවට හංවඩු ගසමින් මුස්ලිම්වරුන්ගේ නිජ බිම් ඇතුළුව හෙක්ටෙයාර් 70000කට අධික පෙදෙසක් වන සංරක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත් වීමත් සමග විල්පත්තු උතුරු අභය භූමියට ඉහළින් කල් ආරු දක්වා වන සංරක්ෂිත බවට පත් වීමක් සිදු වේ. ඒ අනුව නැවත පදිංචි කිරීමේ කටයුතු තාවකාලිකව අත් ඉටු වනු ලැබීය.

පහත සිතියමෙන් පෙන්වා ඇත්තේ මෝදගම් ආරු සිට කල් ආරු දක්වා විල්පත්තු ජාතික වනෝද්‍යානය විහිදීම ය.

3

 

අවතැන් වූ ජනතාවට අයිති ඉඩම් රක්ෂිත ලෙස ගැසට් නිවේදනයක් මගින් රජයකට අත්පත් කළ නොහැකිය. එලෙස රජයට පවරා ගැනීමක් සිදු කරනවා නම් අනිවාර්යයෙන් ම එයට විකල්ප ඉඩම් ලබා දිය යුතුව ඇත. වන ජීවි දෙපාර්තමෙන්තුවට යම් පෙදෙසක් අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර ගැනීමේ අයිතිය ඇති නමුත් පෞද්ගලික ඉඩම් ගැසට් නිවේදනයක් මගින් රාජසන්තක කිරීමේ බලය වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට නැත. මෙයයි නීතිමය තත්ත්වය. මර්ච්චිකට්ටි හා කරඩික්කුලම් වැනි ගම්මාන වල ජනතාවගේ පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් රජයට පවරා ගැනීමක් සිදු කර ඇත. එබැවින් එම ගැසට් නිවේදන බල රහිත ඒවා ය. මේ කරුණු දෙස බලන විට පැහැදිලි වන්නේ 2012 වසරේ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරන ලද මරිච්චිකට්ටි හා කරඩික්කුලම් රක්ෂිත නීති විරෝධී ලෙස රක්ෂිත බවට පත් වූ ඒවා වන බවයි. මෙය මුස්ලිම් ජනතාවට සිදු වූ ඉමහත් අසාධාරණයකි.

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් එවකට පැවති රජයට තිබුණි. ඒ සදහා ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑම් ද අධිකව පැවතීය. එබැවින් 2013/14 වසර වල දී අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ඒ සදහා විල්පත්තු ජාතික වනෝද්‍යානයට පැරණි උතුරු මායිමට ඔබ්බෙන් පිහිටි පෙදෙස් වල අක්කර 3437ක් රජයෙන් ඉල්ලා සිටියේ ය. එබැවින් අක්කර 2850ක ඉඩමක් නැවත පදිංචිය සදහා නිදහස් කරන ලදී. ඉන් 2013 වසරේ  මැයි මස 13 වන දින මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පෙදෙස් වලින් මුසලි පෙදෙසේ අක්කර 280ක් ද මර්ච්චිකට්ටි පෙදෙසේ අක්කර 700ක් ද රක්ෂිත පෙදෙස් වලින් නිදහස් කර දෙන ලදී. මෙකී නිදහස් කරන ලද ඉඩම් වලට ඉඩම් කච්චේරී පවත්වා අයිතිකරුවන් සලකා බලා ඉඩම් ලබා දෙන ලදී.එම පෙදෙස් වල ජනතාව සිය නිවාස තනා ගත් හ.

ඒ පෙදෙස් ගූගල් සිතියම් මගින් පෙන්වා මුස්ලිම් වරු විල්පත්තු වන රක්ෂිතය විනාශ කරන බව ඇතැම් හු අභූත චෝදනාවක් එල්ල කළහ.

ගූගල් සිතියමේ එළි පෙහෙලි කළ බවට පෙන්වන පෙදෙස් සියල්ල රජයෙන් රක්ෂිත පෙදෙස් වලින් නිදහස් කර දුන් පෙදෙස් ය. එසේ රජය නිදහස් කර දුන්නේ අවතැන් වූ ජනතාවගේ ඉපැරණි නිවාස පිහිටි ස්ථාන හා මොල්ලිකුම් පෙදෙසේ නාවික හමුදාව අත් පත් කරගෙන තිබෙන මහ ජනතාවගේ ඉඩම් වලට විකල්ප ඉඩම් වශයෙනි.

1990 වසරේ දී සිය නිජ බිම් අත්හැර ගිය ජනතාවගේ ඉඩම්වල වසර 30කට පසුව වල් වැදුණු කැළෑ වැවී තිබීම අරුම පුදුමයක් නොවේ. එමෙන් ම පවුලක් පිටුවහල් වී වසර 30කට පසුව නැවත සිය ගම් බිම් බලා එන විට පෙර පැවති ඉඩමේ ප්‍රමාණය ම නැවත ලබා දීම ද සාධාරණ නොවේ. පවුලේ සාමාජිකයන්ගේ වර්ධනය ද මෙහි දී සලකා බැලිය යුතුව තිබුණි.

නාවික හමුදාව යටතේ පවතින පැරණි මොල්ලිකුලම් ගම්මානය

තව ද මරිච්චිකට්ටි, මාවිල්ලු, වේප්පාල්, කොන්ඩච්චි, කරඩික්කුලි, පාලක්කුලි, විලාත්තිකුලම්, පෙරියමුරිප්පු වැනි ප්‍රදේශ වල ජනතාවවන සංරික්ෂිත කිසිවක් විනාශ කළේ නැතැයි එවකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එවකට හිටපු පරිසර ඇමති වරයා ද වත්මන් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමතිවරයා ද වන චම්පික රණවක මහතා ද පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

පරිසරවේදී තිලක් කාරියවසම්වැනි ඇතැම් මානව හිතවාදී මධ්‍යස්ථ වන ජීවි නිලධාරී වරුන් මෙන් ම ආචාර්ය ජෙහාන් පෙරේරා හා ආචාර්ය හිස්බුල්ලාහ් වැනි උගත්හු මුස්ලිම් වරුන් විසින් වන පෙදෙස් එළි පෙහෙලි කිරීමක් සිදු නොවූ බව සාක්ෂි සාධක සහිතව අවධාරණය කරමින් සිටිති.

හිටපු අමාත්‍ය පාඪලී චම්පික රණවක මහතාගේ වගකීම යටතේනැවත පදිංචි කරවන ලද ජනතාවට විදුලි පහසුකම් පවා ලබා දෙන ලදී.මුස්ලිම් වරු නැවත පදිංචියට බලෙන් ඉඩම් ලබා ගත්තේ නැත. රජයේ හා නීතියේ අවසර ඇතිව  තමන්ට වන ජීවි හා සංරක්ෂණ දෙපාර්තෙමන්තුවෙන් නිදහස් කරන ලද ඉඩම් වල ම මුස්ලිම් වරු පදිංචි වූ හ. මුල දී තමන්ගේ ම ඉඩම් වල ඇතැම් හු පදිංචි වූහ. පසුව තහංචි පැනවූ පසු සෙසු අය රජය ලබා දුන් ඉඩම් වල පදිංචි වූ හ. එම නිසා ම ඔවුන්ට විදුලි පහසුකම් පවා ලබාගත හැකි විය.

2012 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය පවා ජනතාවට කිසිදු දැනුවත් කිරීමකින් තොරව ම නිකුත් කරන ලදී. මෙයට එරෙහිව ආබ්දීන් ඇසෝසියේසන් නැමති ආයතනය මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරමින් අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. අදාළ  නඩුව ද තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

මේ අතර තුර මුස්ලිම්වරුන්ගේ නැවත පදිංචියට එරෙහිව පරිසර සංවිධානයක් නඩුවක් ගොනු කළ අතර නැවත පදිංචි කිරීමේ කටයුතු නීත්‍යානුකූලව සිදු වූ බව නීතිපති විසින් ලිඛිතව දැනුම් දෙන ලදී. නමුත් තව වන තුරු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර නැත.

උතුරේ අරාබි වසන්තයක් ගොඩ නගන්නට උවමනාවක් තිබේ ද?

නැවත පදිංචිය සදහා අරමුදල් අවශ්‍ය විය. රජයෙන් අවතැන් වූ ජනතාවට නිවාස තනා දීම එතරම් පහසු කාර්යයක් නොවීය. එබැවින් කුවෛට්, කටාර් වැනි රටවල් වලින් නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබද අමාත්‍ය වරයා හරහා මූල්‍යමය පහසුකම් සලසා දෙන ලදී. අරාබි රටවල් හි අරමුදල් වලින් මෙය සිදු වූ බැවින් නවක පදිංචි ගම්මාන වලට ජාසිම් සිටි යැයි නම් තැබීමක් සිදු විය. නාම පුවරුවල ද අරාබි අකුරු මුද්‍රණය විය. වහා ම මෙය ජාතිවාදී කෝණයකට හරවමින් උතුරේ අරාබි වසන්තයක් සිදු කරන බව ඇතැම් අවස්ථා වාදීහු ව්‍යාජ ප්‍රචාරයක් ගෙන ගිය හ. බහුතර සිංහල ජනතාව ද මෙය විශ්වාස කරන්නට පටන් ගත්හ.

නාමල් ගම, නන්දමිත්‍ර ගම, සැලලිහිණි ගම, බෝගස්වැව අංක 1, බෝගස්වැව අංක 2, වේරතැන්න ගම්මාන සම්බන්ධයෙන් මුනිවත රකින්නේ ඇයි?

උතුරේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම පිළිබද කතා කරද්දී විල්පත්තුව මුස්ලිම් ජනතාව විනාශ කර දැමූ හ, මුස්ලිම් වරු කැළෑ බිම් එළි පෙහෙලි කරන පරිසරයට ආදරයක් නොදක්වන පිරිසකි යනාදී වශයෙන් කිඹුල් කදුළු හෙලන පරිසර වේදීන්, ජාතිවාදීන් හා ඇතැම් දේශපාලඥයින් විශේෂයෙන් ම ජනපති මෛත්‍රී පාල සිරිසේන මහතා  නාමල් ගම, සැලලිහිණි ගම, බෝගස්වැව අංක 1, බෝගස්වැව අංක 2, වේරතැන්න ගම්මාන සම්බන්ධයෙන් කිසිවක් කතා නොකර සර්ව සම්පූර්ණ මුනිවතක් රකිති.

මේ සියල්ල විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අදාළ වන රක්ෂිත තුළ ම පිහිටි ගම්මාන වේ. මේවා ඉපැරණි ගම්මාන නොවේ. යුද නිමාවෙන් පසුව අලුතින් බිහි කළ ගම්මාන වේ. නාමල් ගමේ පවුල් 470ක් ද නන්දිමිත්‍ර ගමේ පවුල් 360ක් ද, සැලලිහිණි ගමේ පවුල් 450ක් ද, බෝගස්වැව අංක 1 හි පවුල් 500ක් ද, බෝගස්වැව අංක 2හි පවුල් 560ක් ද, වේරතැන්න ගමෙහි පවුල් 520ක් ද අලුතින් ම පදිංචි කරවා ඇත. ඔවුන් එහි මුල් කාලීන පදිංචි කරුවන් ද නොවෙති. මෙහි පදිංචි ජනතාවට ඉඩම් ඔප්පු නැත. ඒ ජනතාවට ඉඩම් කච්චේරි පවත්වා ඉඩම් වෙන් කරනු ලැබුවේ ද නැත. ඉපැරණි ජනාවාස වල නටබුන් ද නැත. නමුත් මේ ගම්මාන නැවත පදිංචියේ නාමයෙන් වන රක්ෂිත තුළ අලුතින් බිහි වූ ගම්මාන වේ. මේ ගැන ජාතිමාමක වරුන් හෝ පරිසරවේදී ඔස්තාද්වරුන් හෝ කිසිදු අදහසක් පල නොකරති. එයට එකම හේතුව මේ සියල්ල සිංහල ජනතාව පදිංචි කරවන ලද ගම්මාන වීම ය.

මේ කියන පිරිස් පදිංචි කරවීම සඳහා කැලෑ ඉඩම් අක්කර දහස් ගණන් එළි කරද්දී පරිසරවේදීන්වත්, ජනාධිපතිවරයාවත් ඊට එරෙහිව කිසිවක් ප්‍රකාශ කළේ නැත. මෙසේ පදිංචි කැරවූ කිසිවෙකු ඒ ප‍්‍රදේශයේ පදිංචි කරුවන් ද නොවේ. 2860 ක් වන මේ පවුල් සංඛ්‍යාව අලූත් නගර තනවා පදිංචි කරවා ඇති අතර එක පවුලකට අක්කර තුන බැගින් සපයා දී තිබේ. එහෙත් මුස්ලිම් පවුල්වලට ලැබුණේ අක්කර භාගයක් පමණි.

මේ කියන පිරිස් පදිංචි කරවීම සඳහා ඉඩම් සොයාගත්තේ කැලෑ සහ වන රක්ෂිත එළි කිරීමෙනි. ඒ සමග ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ද, පාසල් වැනි වෙනත් පහසුකම් ද රජය මගින්ම සම්පාදනය කර දී ඇත. මේ ඉඩම් වෙන් කිරීමේදී ඉඩම් කච්චේරි පැවැත්වූයේ නැත. කැලෑ එළිකෙළේ නිසි අවසරයක් ඇතිව ද නොවේ.

හම්බන්තොට, සුරියවැව සහ දකුණේ වෙනත් තැන්වලින් ගෙනැවිත් පදිංචි කරවන ලද මේ ජනතාව සඳහා ගෙවල් හමුදාවෙන් තනා දුන් බව කියැවේ.

තවද, අක්කර 500 කට වැඩි ඉඩම් ප‍්‍රමාණයක් කජු වගාව සඳහා නාවික හමුදාවෙන් අත්පත් කරගෙන තිබේ. මාර්තු25 වැනි දා දෙරණ රූපවාහිනී නාලිකාවේ මනුසත් දෙරණ වැඩ සටහන තුළින්, මේ කැලෑ භූමි භාගය හරහා ඉදි කෙරී ඇති විශාල මාර්ගයක රූප පෙලක් පෙන්වන ලදී. කැලෑ ඉඩම් වශයෙන් පැවති මේ ප‍්‍රදේශයේ පාසල්, රෝහල් ආදී යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා අක්කර දහස් ගණන් විනාශ කොට ඇත්තේ දකුණේ විසූ සිංහල වැසියන් පදිංචි කරවීම සඳහා ය. ඒ වෙනුවෙන් කෙරී ඇති වන සංහාරය දැවැන්ත ය. අපේ පරිසරවේදී ජනාධිපතිතුමාත්, ජාතිවාදීන්වත් පරිසරවේදී සංවිධානවත් මේ ගැන ඇස්කන් පියාගෙන සිටිනවා මිස කිසිවක් පවසන්නේ නැත.

විල්පත්තු වන රක්ෂිතය තුළ පිහිටි පූක්කුලම් ගම්මානය

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පැරණි සීමා මායිම් තුළ (එනම් මෝදගම් ආරු සීමාව ඇතුළත)  බටහිර දෙසින් මුහුදු වෙරළාසන්නයේ ගම්මානයක් පිහිටා ඇත. එය පූක්කුලම් ගම්මානයයි. එය සංක්‍රමික ධීවරයින් පදිංචි වසර 250ක් පමණ පැරණි ගම්මානයකි. මෙම ගම්මානයට මුහුදු මාර්ගයෙන් ද වන රක්ෂිතය ඇතුළතින් වූ මාර්ගයකින් ද ගමන් කළ හැකිය. වන රක්ෂිතය ඇතුළතින් වූ මාර්ගයෙන් ගමන් කිරීම ඉතාමත් භයානක ය. වන ඇතුන්ගේ ප්‍රහාර වලට ලක් වීමේ අවධානම අධිකව ම පැවතීම එයට හේතුවයි. එබැවින් එහි වාසය කරන ජනතාව අධිකව ම ගමන් කරන්නේ මුහුදු මාර්ගය හරහා ය.

ඇතැම් ජාතිවාදී සංවිධාන විල්පත්තු ජාතික වනෝද්‍යානය මුස්ලිම් වරු විනාශ කරති යැයි චෝදනා එල්ල කළ අවස්ථාවේ දී එහි සත්‍යාසත්‍යතාවය ඍජුව ම සොයා බැලීම සදහා  අප සංවිධානයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට පසුගිය 31.06.2015 හා 01.06.2015 දින දෙකක සංචාරයක නියැලීමු. අප පවා පූක්කුලම් ගම්මානයට ගමන් කරන මාර්ගය අතරතුර දී වන ඇතුන්ගේ තර්ජන වලට මුහුණ දුනිමු. පූක්කුලම් ගම්මානයට අදාළ සියලු කරුණු වීඩියෝගත කළෙමු. එම ගම්මානයේ පාසැල් ගොඩනැගිල්ලක් පවා ඇත. ග්‍රාම සේවා නිලධාරිවරයෙකු ද එම ගම්මානයට යන එන බව ද වාර්තා වේ. ඒ ජනතාවට ඡන්ද අයිතිය පවා තිබෙන බව එහි සිටින ජනතාව පැවසූ හ.දිස්ත්‍රික්ක මායිම් වලින් පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් වේ.

වන රක්ෂිතයක් තුළ සාම්ප්‍රදායික මානව කටයුතු සිදු කිරීමට අවසර නොමැති බව නීතිය පවසා සිටී. එසේ නම් වසර 1905 දී විල්පත්තුව වන රක්ෂිතයක් බව ප්‍රකාශ කරන විටදී ඒ ජනතාව හා ජනාවාස එයින් ඉවත් නොකළේ ඇයි? ඉන් පසුවත් ඒ ජනතාව විල්පත්තු රක්ෂිතය තුළ සාම්ප්‍රදායික මානව කටයුතු කරමින් ජනාවාස පවත්වා ගන්නේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් කතා නොකළේ ඇයි‍? ඒ ගම්මානය ගූගල් සිතියමට හසු නොවූ නිසා ද?

විල්පත්තුව වන රක්ෂිතය පැහැදිලිව ම එළි පෙහෙළි කරමින් පූක්කුලම් ජනතාව ජීවත් වෙමින් සිටිති. ඕනෑ ම ජනතාවකට ජීවත් වීමට ඉඩම් ලබා දීම රජයේ යුතුකමකි. නමුත් මුස්ලිම් වරු සිය මුල් වාසස්ථාන වල නැවත පදිංචි වීම වන විනාශයක් යැයි හංවඩු ගැසූ අය පූක්කුලම් ගම්මානය වන විනාශයක් යැයි කෑමුර නොගැසුවේ ඇයි? කිසිදු මාධ්‍යයක් ඒ පිළිබද ව කිසිවක් කතා නොකළේ ඇයි?

වසර 1940න් පසුව විල්පත්තු වන රක්ෂිතයේ අක්කර 5000ක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ කර කජුවත්ත නමින් සිංහල ගම්මානයක් බිහි කරන ලදී. මෙයට තව අක්කර 3200ක් පසුකාලීනව එක් කරන ලදී. මේ සියලු ඉඩම් ගැසට් නිවේදන මගින් වන රක්ෂිත ලෙස නම් කළ ඒවා ය. මේ පිළිබදව කිසිවෙකු කතා නොකළේ එය සිංහල ගම්මානයක් වීම නිසා නොවේ ද? නමුත් මෙය සාධාරණීයකරණය කළේ එය විල්පත්තු වනෝද්‍යානයට අයත් වූවත් එහි කජු වැවෙන නිසා වන පෙදෙසක් නොවන බව පවසමිනි.

එළි පෙහෙළි කරනු ලබන අප රටේ වන රක්ෂිත

ශ්‍රී ලංකාවේ නොයෙකුත් වනාන්තර ප්‍රදේශ දක්නට ඇත. යාල, සිංහරාජ අඩවිය, උඩවලව ඇතුළුව රටේ විවිධ පෙදෙස් වල දිනපතා ම වනාන්තර එළි පෙහෙළි කිරීමක් අනීතිකව සිදු වෙමින් පවතී.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි වනාන්තර අක්කර 900 ක් ඇතුළු ව මොල්ලිකුලම් පැරණිගම්මානය නාවික හමුදාව විසින් මේ වන විට බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබේ. මෙවන් දෑ ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලැබූවේ පසුගිය රජයේ උවමනාවන් මත ය. ඉන් සිදු වූයේ ආරක්ෂක අංශ සමාජය ඉදිරියේ අපකීර්තියට ලක් වීම ය.

පුත්තලම, වනාතවිල්ලූව ප්‍රදේශයේ අක්කර 375ක් එච්.වී.ඒ. ෆාම් නමින් ක්‍රියාත්මක වන සමාගමකට ලබා දී තිබේ. රක්ෂිත ප්‍රදේශ 3 කට අයත් මෙම වනාන්තර ලබා දීම සිදු කරනු ලැබූවේ ඉතා ම හානි කර හා පවතින ඉඩම් නීතිරීති මෙන්ම පාරිසරික අණ පනත් අතික්‍රමණය කරමිනි. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ පිහිටි තබ්බෝව අභය භුමියට, විරක්කුලිචෝලේ - එලූවන්කුලම යෝජිත රක්ෂිතයට හා අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතයට මෙම ඉඩම් අයත් වේ. නමුත් එම රක්ෂිත තුනට ම අයත් ඉඩම් මේ වන විට වගා ව්‍යාපෘතිය සඳහා ලබාගෙන වනාන්තර විනාශ කර වගා බිම් ව්‍යාප්ත කිරීම සිදු කර තිබේ. එම සම්පූර්ණ වගා භුමිය වටා විදුලි වැටක් ඉදි කර ඇති අතර ප්‍රධාන අලි ගැවසුම් ප්‍රදේශයක් අහිමි වීම හේතුවෙන් මේ ප්‍රදේශයේ අලි - ඇතුන්ගේ සංක්‍රමණික රටාවට ප්‍රබල බලපෑමක් මේ හේතුවෙන් එල්ල වී තිබේ. 

පදවිය වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 31000 ක් මේ වන විට රක්ෂිතයෙන් ඉවත් කර මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට ලබා දී තිබේ. මේ දැවැන්ත වනාන්තර ඉඩම් කොල්ලය හේතුවෙන් උග්‍ර ජල අර්බුද වලට හා අලි - මිනිස් ගැටුමට ඒ අවට ජනතාවට මුහුණ දීමට ඉදිරියේ දී සිදුවනු ඇත. 

වවුනියාව ප්‍රදේශයේ පිහිටි සුවිශේෂි වන රක්ෂිතයක් වන කරුන්කාලිපුරම් වන රක්ෂිතයේ අක්කර 5000 ක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර යුධ හමුදාව විසින් අළුතින් ජනාවාස ඉදි කිරීම සිදු කර තිබේ. මේ සඳහා සිවිල් ආරක්ෂක බලකාය හා මහවැලි අධිකාරිය ද යොදා ගෙන ඇත. මෙහි දෙවන අදියර ලෙස තවත් වනාන්තර අක්කර 5000 ක් ලබා ගැනීමට යුධ හමුදාව විසින් මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

යුධ හමුදාව විසින් කන්දකාඩු ප්‍රදේශයේ වනාන්තර අක්කර 11600 ක් අත්පත් කර ගෙන ඇත. මෙම සියලූ වනාන්තර සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර පිහිටි අලි - ඇතුන්ගේ නිජබිම් වන අතර මහවැලි ගඟේ අතු ගංගාවක් වන මාවිල්ආරු හි ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වේ. මේ ප්‍රදේශයේ වනාන්තර අක්කර 500 ක් එළිපෙහෙළි කර යුධ හමුදාව විසින් ගොවිපළක් පවත්වා ගෙන යන අතර තවත් වනාන්තර අක්කර 1000 ක් බ්‍රවුන්ස් සමාගමට යුධ හමුදාව විසින් නීති විරෝධී ලෙස බදු දී තිබේ. එම වනාන්තර එළිපෙහෙළි කර තේක්ක වන වගාවන් හා කැවැන්ඩිස් කෙසෙල් වගාවන් සිදු කර තිබේ. මෙම කෙසෙල් වගා බිම් සඳහා යොදන ඉතා ම අහිතකර කෘෂි රසායන හේතුවෙන් මාවිල්ආරු ඔය දැවැන්ත දූෂණයකට ලක් ව තිබේ. මේ හේතුවෙන් මාවිල්ආරු සොරොව්ව යටතේ වගා කරන බොහෝ ගොවි ජනතාවක් සෞඛ්‍ය බලපෑම්වලට ලක් ව ඇත. 

යාල ජාතික වනෝද්‍යානයයේ උතුරු ප්‍රදේශයේ කුඹුක්කන් ඔය ආශ්‍රිත උපාලිය, නියදැල්ල, කොටියාකුඹුර ආදී ප්‍රදේශවල පිහිටි වනාන්තර අක්කර 30000 ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර මහ පරිමාණයෙන් බඩ ඉරිඟු වගාවන් ව්‍යාප්ත කර තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම වගා බිම් ලබා දීම සිදු කර ඇත්තේ මෙම දෙපාර්තමේන්තුවේ දිසා වන නිලධාරීන්ගේ ද අනු දැනුම මත ය. 

අලූතින් ජනාවාස ඉදි කිරීම සඳහා වවුනියාව දිස්ත්‍රික්කයට අයත් රක්ෂිතවල අක්කර 5000ක් යොදා ගෙන ඇත.

ඊට අමතර ව මීට අමතර ව මහවැලි අධිකාරිය මගින් හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර අක්කර 6500 ක් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් වේ. අනුරාධපුර, අන්දරවැව, මහවැලි එච් කලාපයේ පිහිටි අක්කර 1050ක රක්ෂිත වනාන්තරය මේ වන විට මහවැලි අධිකාරිය මගින් හෝටල් ඉදි කිරීමට හා ගල් කොරි පවත්වාගෙන යාම සඳහා ලබා දී තිබේ. 

තව ද සිංහරාජ වනාන්තරය තුළ අක්කර ගණනාවක් ම එළි පෙහෙලි කරමින් ලංකාගම ගම්මානය පිහිටුවා ඇත. මේවා රක්ෂිත පෙදෙස් තුළ පිහිටි මිනිස් ජනාවාස වේ!

මේ අයුරින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර වනාන්තර ඇතුළු ව ඉඩම් කොල්ලයන් පසුගිය කාලය තුළ දී දැවැන්ත ලෙස සිදු විය. මේ ඉඩම් කොල්ලයේ ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වූ අලි - මිනිස් ගැටුම හා ජල අර්බුද හේතුවෙන් බොහෝ ගොවි ජනතාවක් කෘෂිකර්මාන්තයෙන් ඉවත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ සහල් ඇතුළු ආහාර නිෂ්පාදනය විශාල ලෙස බිද වැටී තිබේ. එපමණක් නොව ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට ද මේ ඉඩම් කොල්ලය ඝෘජුව ම බලපා තිබේ. බොහෝ ජනතාවක් සංවර්ධන අනාථයින් බවට පත් කිරීම ද ඉඩම් කොල්ලය හරහා ක්‍රියාත්මක කරන හානි කර සංවර්ධනව්‍යාපෘති හේතුවෙන් සිදු ව තිබේ. 

සමහර මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පවතින නීති රීති අතික්‍රමණය කරමින් හෝ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර හෝ අවතැන් වන ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරමින් සිදු කර තිබේ. මේ තත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස පිරිහීම හා රටේ යහ පාලනය බිඳ වැටීමට ලක්වීම ය. ඉහතින් අපි දක්වා ඇත්තේ වන රක්ෂිත එළි පෙහෙළි කිරීම් පමණි. තවත් අනන්ත අප්‍රමාණ වනාන්තර වාණිජමය කටයුතු සදහා ඉවක් බවක් නොමැතිව එළි පෙහෙළි කර ඇත. ඒවාට අදාල විස්තර අප සතුව ඇත.

ජාතිවාදී ඇස

මෙසේ අප රටේ වටිනා වන රක්ෂිත වාණිජමය හා දේශපාලඥයින්ගේ පෞද්ගලික වාසි උදෙසා විකිණෙන විට දීත් එළි පෙහෙළි කරනු ලබන විටදීත් පරිසර වේදීන් නිහඩ ය. නැතිනම් අන්ධ ය. මුස්ලිම් ජනතාව නැවත පදිංචිය සදහා තම පැරණි ජනාවාස වල පදිංචි වන විට ඒ දෙස වපර ඇසින් බලමින් ලහි ලහියේ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සමස්ත මුස්ලිම් ජනතාවට දොස් පැවරීම ජාතිවාදයක් මිස අන් කිසිවක් නොවේ. ජාතිවාදී වීම තුළින් රටේ ජාතික ප්‍රශ්න විසදා ගත නොහැකිය. පෙර දී විවේචනය කළේ විල්පත්තු වන රක්ෂිතය මුස්ලිම්වරු විනාශ කරති යනුවෙනි. පසුව විල්පත්තු වන රක්ෂිතයට හානියක් සිදු වී නැත.

හානියට පත් වී ඇත්තේ රක්ෂිතයට අයත් ජල පෝෂක ප්‍ර දේශ වලට ය යනුවෙන් සටන් පාඪ වෙනස් විය. පසුව නැවතත් මරිච්චිකට්ටි/කරඩික්කුලි වන රක්ෂිතය එළි පෙහෙලි කරන බව පැවසූ හ. දැනටමත් මෝදගම් ආරු සිට චිලාවතුරෙයි දක්වා හමුදාව ඉදි කළ මාර්ගය සදහා එළි පෙහෙළි කළ කැළෑ පෙදෙස් ගැන ඔවුන් එසේ පවසනවා නම් ඒ චෝදනාව ද එල්ල වී තිබිය යුත්තේ යුද හමුදාවට මිස මුස්ලිම් ජනතාවට නොවේ. කෙසේ වෙතත් වන රක්ෂිතයට හානි සිදු කළා යැයි පැවසිය නොහැකිය. මන්දයත් මරිච්චිකට්ටි/කරඩික්කුලි වන රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් වූයේ 2012 දී ය. ඒ වන විට දී අදාළ මාර්ගය ඉදි කර අවසන් ය.

මේ සියල්ල දෙස බලන විට විල්පත්තුව විනාශ විය යනුවෙන් කතා කළ අය ජාතිවාදී ඇසින් ඒ දෙස යොමු වූවා මිස ජාතිමාමක ව හෝ පරිසර හිතෛෂීව අදාළ ප්‍රශ්නය සාකච්ඡා නොකළ බව මොනවට පැහැදිලි වේ.

"මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය" ප්‍රකාශයට පත් කිරීම

මුස්ලිම් වරු වන පෙදෙස් විනාශ කරති, අලි ඇතුන් මරා දමති යනාදී වශයෙන් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කළ ජාතිවාදීන්ගේ මුස්ලිම් විරෝධී ව්‍යාපාරයේ අනෙක් පියවර වූයේ උද්ඝෝෂණ, මහ රැස්වීම්, මහ සමුළු පැවැත්වීම නොව ඍජුව ම ජනපතිට බලපෑම් කිරීමය. ඒ සදහා වත්මන් ජනපතිවරයාගේ සුබදායක සංඥාවක් නිකුත්වීමත් සමග තම ඉලක්කය කරා ගමන් කිරීමට ජාතිවාදීන්ට මං විවෘත විය.

ජනපති විල්පත්තුවේ මායිම් දීර්ඝ කළ යුතුයැයි පැවසුව ද කවදා ද? කොපමණක් ද? කවර ස්ථානයේ ද? යන කිසිදු විස්තරයක් පවසා සිටියේ නැත. මුස්ලිම් වරුන්ගෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ලද ඉඩම් වලට කිසිදු විකල්ප ඉඩමක් පිළිබදව කිසිවක් ප්‍රකාශ කළේ ද නැත. විල්පත්තුව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටළු වලට ජනාධිපති කොමිසමක් පත් කර සියලු කරුණු සොයා බලා විල්පත්තුවේ සීමාවන් දීර්ඝ කිරීම පිළිබද ව තීන්දුවක් ගන්නා බව පෙර දී පවසා සිටියේ ය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එක් කොට තනි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ගැසට් පත්‍රයට සිය රුසියානු සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා විසින් මාර්තු 24 වන දිනඅත්සන් තබා ඇත.

ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මාවිල්ලු, වේප්පාල්, මරච්චිකඩ්ඩි, කරඩික්කුලි, විලත්තිකුලම් හා පෙරියමඩුව වශයෙන් පිහිටි වනරක්ෂිත හය ඒකාබද්ධ කර වන සංරක්ෂණ ආඥා පනතේ "3අ" වගන්තියට අනුව 2017 මාර්තු 24 වැනි දින 2011/34 දරන ගැසට් නිවේදනය යටතේ හෙක්ටයාර 40030,525ක් විශාල මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ප්‍රකාශයට පත් කෙරිණි.

 

2012 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයෙන් මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින විට දී 2017 වසරේ ද ජනපති අත්සන් තැබූ මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය පිළිබද ගැසට් නිවේදනය තවදුරටත් මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටිති. මෙම ගැසට් නිවේදනය මගින් මුසලි ප්‍ර දේශයේ ජීවත් වන 82%ක පමණ පෙදෙස් වනාන්තර ප්‍රදේශ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. සෙසු 18%ක බිම් ප්‍රදේශ වලින් 2/3ක් ගොවි බිම් ය. එබැවින් මුස්ලිම් වරුන්ට ජීවත් වීමට හැකි වන්නේ1/3ක් කොටසක පමණි.

මේ වන තුරු මුසලි ප්‍රදේශයේ මුළු ජනගහනයෙන් 40%ක ප්‍රමාණයක් පමණක් නැවත පදිංචි වී සිටිති. සෙසු 60%ක ජනතාවක් නැවත පදිංචි වීමට සිටිති. මාවිල්ලු ප්‍රකාශයට පත්කිරීමත් සමග සෙසු 60%ක ජනතාවගේ නැවත පදිංචිය ප්‍රශ්නාර්ථයක් වී ඇත. එපමණක් නොව දැනටමත් පදිංචි වූ ජනතාවගේ දිවි පැවැත්ම, ජීවනෝපාය ද තර්ජනයට ලක් වී ඇත.

උදාහරණයක් වශයෙන් ගත් කල මුසලි ප්‍ර දේශයේ නැවත පදිංචි වූ ජනතාවගෙන් 80%ක් පමණ ගොවීහු වෙති. 20%ක් පමණ ජනතාව ධීවරයින් ය. එහි සිටින ගොවි මහතුන් වසරකට එක් කන්නයක දී පමණක් ගොවිතැන් කටයුතු සිදු කරති. ගොවිතැන් කිරීමට අවශ්‍ය කරන ජල සපයා ගන්නේ මාවිල්ලු සංරක්ෂණ වනාන්තර යනුවෙන් ප්‍රකාශයට පත් කළ පෙදෙසට අදාල වාරිමාර්ග තුළින් ය. ගොවිතැන් කටයුතු වලට ජලය ලබා ගැනීමට බාධාවක් මෙකී වනාන්තර ප්‍රකාශයට පත් කිරීමෙන් හටගෙන ඇත. ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් 6.4% කට ආසන්න ප්‍රමාණයක් මෙම පෙදෙස් වලින් නිෂ්පාදනය වේ. මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය තුළින් මෙම සහල් නිෂ්පාදනයට සම්පූර්ණයෙන් ම බලපෑම් සිදු වනු ඇත.

එපමණක් නොව ධීවරයින් ද දැඩි අපහසුතාවයකට පත් වනු ඇත. සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කළ මාවිල්ලු පෙදෙසේ ඒ ධීවිරයින්මිරිදිය ධීවර කටයුතු වල නියැලෙති. සංරක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම ධීවරයින්ට එහි මසුන් ඇල්ලීමේ කටයුතු වල නියැලීමට නීතියෙන් තහංචි පැනවේ.

ගොවිතැන් නොකරන කාල වල දී මෙහි සිටින ජනතාව එළු ගවයින්ට තණ කැවීමේ කටයුතු වල නියැලෙති. නමුත් සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එම වනාන්තර පෙදෙස්වල ද සත්ත්වයින්ට තණ කැවීම කටයුතු සිදු කළ නොහැකි වනු ඇත. මිරිදිය ධීවර කර්මාන්තයේ නියැලීමට හෝ ගොවිතැන් කිරීමට හෝ සතුන්ට තණ කැවීමට හෝ දර පළු සොයා ගැනීමට හෝ නොහැකිව ජනතාව දැඩි අපහසුතාවයකට පත් වනු නිසැක ය.

එහි ජනතාවගේ ගවයෙකු හෝ එළුවෙකු හෝ තණ කැවීමට මුදා හැරීමේ දී රක්ෂිතයක් තුළට ගියේ නම් ඒ සතා සොයමින් රක්ෂිතයට ඇතුළු වීමට ද නොහැකිය. මන්දයත් එසේ ඇතුළු වීම දඩ මුදල් හෝ සිර දඩුවම් හෝ යන දෙකෙන් එක් දඩුවමක් හෝ දෙක ම දඩුවම් වශයෙන් ලැබීමේ වරදකි. මරිච්චිකට්ටි, කරඩික්කුලි පෙදෙස් වල ජනතාවගේ ජීවනෝපාය ගැන කිසිත් නොසලකා මෙකී ගැසට් නිවේදනයට ජනපති තුමා අත්සන් තැබීම අතිශයින් ම හෙළා දැකිය යුතු කරුණකි.

13.03.2017 වන දින සිට දින 14ක කාලයක් තුළ මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා පවතී නම් දැනුම් දෙන ලෙස ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය හරහා ලිඛිතව දන්වා ඇත. නමුත් දින 14 සම්පූර්ණ වීමට පෙර දී ම ජනපති ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. ඒ පෙදෙස් වල දැනටමත් වාසය කරන ජනතාවගේ අදහස් විමසා බලා රජය තීන්දුවක් ගැනීමට සිටියා නම් දින 14 අවසන් වීමට පෙර දී ම ජනාධිපති තුමා අත්සන් තැබුවේ කවර හේතුවක් නිසා ද? යන බලවත් සැකයක් මතු වී ඇත‍.

මුස්ලිම් ජනතාව මුසලි ප්‍ර දේශයෙන් අතු ගා දැමීමේ සැගවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වීම මෙයින් ගම්‍යමාන වේ. සමස්තයක් වශයෙන් බලන කල ජනපති මෛත්‍රී පාල සිරිසේන මහතා ජාතිවාදීන්ගේ මතයට පක්ෂව ප්‍රතිචාර දක්වන බව වඩාත් හොදින් පැහැදිලි වේ.

යහ පාලනයට උර දුන් මුස්ලිම් ජනතාව සැනසිල්ලේ ජීවත් වන්නට ඉඩ හරින්න!

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පවත්වන ලද මහ මැතිවරණ වල දී මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී සිදු වූ ජාතිවාදී ක්‍රියාවන් ප්‍රධාන තේමාවක් වශයෙන් ගෙන ඡන්ද ප්‍රචාරක කටයුතු සිදු විය. මහ ජාතීන්ගේ ඡන්ද වලින් වැඩිමනක් ඡන්ද ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතා සුළු ජාතීන්ගේ ඡන්ද නොලැබී යාම නිසා ම පරාජයට පත් විය. පාර්ලිමෙන්තු මහ මැතිවරණයේ දී ද තත්ත්වය මෙය විය.

කලක මුස්ලිම්වරු එක්සත් ජාතික පක්ෂයට බද්ධට ගිය පිරිසක් වශයෙන් පැවති තත්ත්වය වෙනස් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද මුස්ලිම් වරු ඡන්ද ලබා දෙන තත්ත්වයක් උදා වී තිබුණි. එය නැවතත් වෙනස් කරමින් එක්සත් ජාතික පක්ෂයට නැවත මුස්ලිම් ජනතාවගේ අති බහුතර ඡන්ද ප්‍රමාණයක් හරවා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පැවති ජාතිවාදී රජයේ ක්‍රියාකාරකම් ය. නමුත් පසුගිය ජනාධිපතිවරණය ජාතිවාදයට තිත තැබීමේ මුස්ලිම් වරුන්ගේ බලවත් අපේක්ෂාවක් මත පැවැත්විණි.  මෛත්‍රී පාල සිරිසේන මහතා ජනාධිපති වරයා වශයෙන් පත් විය.

නමුත් ඒ අපේක්ෂාවන් හා අභිලාෂයන් කිසිවක් ජනාධිපතිවරයා මේ වන තුරු ඉටු කර නොමැත. යහ පාලනය ස්ථාපිත කරනවා යැයි පවසමින් බලයට පත් වූ වත්මන් රජයත් වසර දෙකක් ගත වූවත් ජාතිවාදයට තිත තබා ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව ආරක්ෂා කරන තත්ත්වයක් මේ වනතුරු උදා කර නැත. ඒ වෙනුවට හිටපු ජනපතිට රජයට වඩා වේගවත්ව ජාතිවාදයට අනුබල දෙන රජයක් වශයෙනුත් ජාතිවාදී මත වාද රජයේ ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරන ජනපතිවරයෙක් හා රජයක් වශයෙන් මහ ජනතාව සලකති. මෙය මුස්ලිම් වරුන්ට දැන් ප්‍රෙ හෙලිකාවක් බවට පත් ව ඇත.

  • මුස්ලිම් දේවස්ථාන වලට පහර දීම
  • මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍ර වලට එරෙහි වීම
  • මුස්ලිම් පාසැල් වලට අදාළ ප්‍රශ්න
  • මුස්ලිම් ව්‍යාපාරිකයින්ට එරෙහි ව්‍යාපාර
  • මුස්ලිම් ජනතාවට ත්‍රස්තවාදී ලේබල් ගැසීම
  • මුස්ලිම් ජනතාවගේ ආගමික හා යාච්ඤා කිරීමේ නිදහසට එරෙහි වීම

යනාදී වශයෙන් නොයෙකුත් ප්‍රශ්න පසුගිය මහින්ද රජය විසින් ගෙන ගිය මුස්ලිම් ජනතාවට එරෙහි ක්‍රියාකාරකම් අනන්ත අප්‍රමාණව පැවතී ය. ඒ සියල්ල මර්දනය කරන්නට ම මෛත්‍රී ප්‍රමුඛ යහ පාලනයට මුස්ලිම් ජනතාය තම සම්පූර්ණ සහයෝගය දැක්වූ හ. නමුත් ඒවා දැන් දවල් සිහින බවට පත් වී හමාර ය. මුස්ලිම් දේශපාලඥයින් මෛත්‍රී පාල සිරිසේන ජනපති තුමා කෙරෙහි තැබූ විශ්වාසය අහක් කර ගන්නට කලින් ම මුස්ලිම් ජනතාව අහක් කරගෙන ඇත. සුළු ජාතීන්ගේ සහයෝගයෙන් ආණ්ඩු පිහිටුවා ගත් අය අද වත්මනේ ඒ අයට ම කුඩම්මගේ සැලකිලි දක්වන්නේ ඇයි? ඒ සුළු ජනතාව නොසලකා හරින්නේ ඇයි? යනාදී දැවැන්ත ප්‍රශ්න හමුවේ නිරුත්තර වී සිටිති.

  • යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නැවත පදිංචිය
  • මුස්ලිම් ජනතාවගේ මුල් කාලීන ඉඩම් අයිතිය නැවත ලබා ගැනීම
  • මුස්ලිම් දේවස්ථාන වලට ආරක්ෂාව
  • මුස්ලිම් ජනතාවගේ ජීවන අයිතිය සුරක්ෂිත කිරීම
  • මුස්ලිම් ජනතාවගේ ආගමික නිදහස ආරක්ෂා කිරීම
  • මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය ආරක්ෂා කිරීම

වැනි සියලු කරුණු වල දී ම වත්මන් රජය සාධාරණයක් ඉටු කරාවි යන බලාපොරොත්තුව වර්තමානයේ සුන් බුන් වී ඇත. මුස්ලිම් ජනතාව දැන් කබලෙන් ලිපට වැටී ඇත. අපේ ඇගිලි වලින් අපේ ඇස් වලට ම ඇණ ගත් තත්ත්වයක් දැන් උදා වී ඇත.

එහි වඩාත් අලුත් ම ජවනිකාව විල්පත්තුව හා සම්බන්ධ මහා විල්ලු සංරක්ෂණ වනාන්තරය යන නාමයෙන් වර්තමානයේ ගැසට්ගත වී ඇත. ජාතිවාදී මහින්ද රෙජිමෙන්තුව නිමාවට පත් කර මෛත්‍රී  යහ පාලනයක් ඇති කළ මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ පූර්ව වාසස්ථාන වනාන්තර එළි පෙහෙළි කිරීමේ නාමයෙන් අහිමි කරන්නට වත්මන් යහ පාලනය (?) උත්සහ කිරීම හෘද සාක්ෂියට විරුද්ධ කළ ගුණ නොදත් වැඩපිළිවෙලකි.

එබැවින් විල්පත්තුව හෝ මහ විල්ලු හෝ වෙනත් ප්‍රශ්නයක් හෝ වේවා සුළු ජාතීන් සතුව පවතින සාධාරණය කුමක් ද යන වග සොයා බලා සමානාත්මතාවය ආරක්ෂා කරමින් රටට ජාතියට සෙතක් සැලසෙන තීරණ නොගත්තේ නම් වත්මන් ජනපති හෝ වේවා රජය හෝ වේවා තම දේශපාලන ස්ථාවරත්වය අහිමි කර ගැනීමේ සම්භාවිතාව අධිකව පවතින බව මතකයේ තබා ගෙන තීරණ ගත යුතුය. එසේ නොවන්නට සදා නොනිමෙන නූතන කාලයේ රජවරයෙකු වශයෙන් අතිශයෝක්තියෙන් හා මමත්වයෙන් පෙළුණ මහින්ද රෙජිමෙන්තුවට අත් වූ ඉරණම නොබෝ දිනකින් මෛත්‍රී රෙජිමෙන්තුවටත් අත්වනු නිසැක ය.