නබි නායක චරිතය

නබි නායක චරිතය

චින්තකයින්, සමාජ ප්‍රතිශෝධකයින්, පාලකයින්, ඵලදායි වූ නවීන සොයාගැනීම් දායාද කළ මහා විද්‍යාඥයින්, මහා විප්ලවවාදීන්, මහා වීරයින්, මහා දානපතිවරුන්, පඬිවරුන් හා ආගම් නිර්මාතෘවරුන් ආදි වශයෙන් ලෝකයේ දහස් සංඛ්‍යාත පිරිසක් බිහි වී මෙලොවෙන් සමුගෙන ඇත.

මෙසේ වාර්තා ගත පුද්ගලයින්ගෙන් අග තැන්පත් පුද්ගලයින් සියයක් තෝරාගෙන “ද හන්ඩ්රඩ්” නමැති ග්‍රන්ථය මෛකල් එච්. හාර්ට් නමැති ලෝ ප්‍රසිද්ධ ඉතිහාස ගවේශකයා‍ විසින් හෙළි දක්වන ලදී.  මානව සංහතියේ මෙතෙක් බිහි වූ නායකයින් අතරින් මනුෂ්‍ය ජීවිතයට අති විශාල බලපෑමක් ඇති කළ පුද්ගලයින් ශ්‍රේණිගත කිරීමේ දී ඔහු නබි නායක (සල්) තුමාණන්ට ප්‍රථම ස්ථානයක් ලබා දුන්නේය. මෛකල් එච්. හාර්ට් ඉතිහාසඥයා දැඩිමතධාරී කිතු භක්තිකයෙකු වූවත් තම කෘතියේ ලොවේ සුප්‍රසිද්ධ නායකවරු අතර පළමු හා විශිෂ්ටත ම  වාර්තාගත චරිතයක් ලෙස නබි නායක (සල්) තුමාණන් සඳහන් කර ඇත්තේ “ ලෝකවාසී ජනතාව තුළ විශාල බලපෑමක් ඇති කළ චරිතයක් මෙලොව සිටී නම් ඉන් ප්‍රථම ස්ථානය නබි නායක (සල්) තුමාණන්ට පමණක් හිමි විය යුතුයි” යනුවෙන් පවසමිනි.

ඉතිහාසයේ බිහි වූ පෙරලිකාර නායකයින් ගැන උදහසින් තොරව මධ්‍යස්ථව ගවේෂණය කරන කවරෙකු වූවත් ඔහු කවර නම් දෘෂ්ටි කෝණයකින් පර්යේෂණය කළත් ඔහු මුල් තැන දෙන්නේ නබි නායක (සල්) තුමාණන්ට පමණි යන්න අවිවාදාත්මක සත්‍යයකි. එයට විවිධ හේතු සාධක ඇත.

දැනට ශත වර්ෂ දහ හතරකට පෙර අරාබිකරයේ ජීවත් වී මෙලොවෙන් සමුගත් මිනිසෙකු එදා පැවසූ දේ, සිදු කළ දේවල් අනුමත කළ දේ ඒ අයුරින් ම අංශු මාත්‍රයක් වත් වෙනස් නොකර පිළිපදින ජනතාවක් මෙලොව සිටී නම්  ඒ නබි නායක (සල්) තුමාණන්ගේ අනුගාමිකයින් පමණි.

හුදෙක් ම නැමදුම්, වත් පිළිවෙත්, ඇදහිලි, විශ්වාස ඇතුලත් ආධ්‍යාත්මික ජීවිතයේ පමණක් නොව ආර්ථික, සාමාජික, දේශපාලනික, කුටුම්භික ආදී සියලු ක්ෂේත්‍ර වල නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම පරිදි පමණක් ලෞකික ජීවිතය පවත්වා ගෙන යන ජන සමාජයක් ශත වර්ෂ දහ හතරක් මුළුල්ලේ ම මෙලොව පවතී නම් ඒ නබි නායක (සල්) තුමාණන්ගේ අනුගාමිකයින් පමණි.

විද්‍යාවෙන්, තාක්ෂණයෙන්, අනිකුත් සියලු ම ක්ෂේත්‍ර වල උච්චත ම දියුණුවට පත් වර්තමානයේ පවා ආධ්‍යාත්මික හා ලෞකික ජීවිතයේ මිනිසා මුහුණ දෙන සියලු ම ප්‍රශ්න වලට විසඳුම් ලබා ගත හැකි එකම මාර්ගෝප දේශකයාණන් නබි නායක (සල්) තුමාණන් බව මෙලොව ජනගහනයෙන් 25% ක් ම විශ්වාස කරති. මෙම සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වෙමින් පවතින දසුන ද මුළු ලොව ම ඇස් පනාපිට දකී.

මෙලොව බිහි වූ කිසිඳු ආගමික හෝ දේශපාලනික නායකයෙකුට මෙවන් වූ සම්භාවනීත්නයක් හෝ මහිමයක් හෝ නොමැති බව කවුරුන් වූව ද එකසිතින් පිළිගත යුතුව ඇත.

පොදුවේ මිනිසා කාට ප්‍රියාදරයක් නොපෙන්වූවත් තම ප්‍රාණයට නිසැකව ම ප්‍රිය කරයි. තම ජීවිතයට වඩා යමෙකුට ප්‍රිය කරනවා නම් එය තම අඹු දරුවන් හෝ දෙමව්පියන් හෝ ඇතැම් විට ඥාතීන් හෝ විය යුතුය. මෙය මිනිසාගේ පොදු ගති ලක්ෂණයකි. නමුත් තම පණට වඩා, අඹු දරුවන්ට වඩා, දෙමාපියන්ට වඩා, ඥාතීන්ට වඩා, ලෝකවාසී සියලු ම ජනතාවට වඩා නබි නායක (සල්) තුමාණන්ට ආදරය කරන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනකායක් අදත් මෙලොව ජීවත් වෙමින් සිටිති.

ලෝවැසි ජනතාව විසින් ඉතිහාසයේ ම අඳුරු යුගයක් සේ නම් කළ වනචාරීන් ලෙස හංවඩු ගසමින් කොන් කර තිබූ අරාබිකරයේ ජනතාව අතුරින් උපන් කෙනෙකුට මෙතරම් උත්තරීතරභාවයක් අත්කර ගැනිමට හැකි වූයේ කෙසේද? මඩ වගුරේ උපන් නෙළුම් මලක් සේ කාන්තාරයේ බිහි වූ මෙම චරිතය මෙතරම් විශිෂ්ටත්වයක් අත් කර ගත්තේ කෙසේ ද? මෙම දීර්ඝ ලිපිය ඉහත ඇසූ පැනයට පිළිතුර වශයෙන් දායාද කරමි.

ඉතිහාසය කෙටියෙන්...

මක්කා ජීවිතය

වත්මන් සවුදි අරාබියේ පිහිටි මක්කා නැමති නගරයේ ක්‍රි.ව. 571 දී එදා අරාබිකරයේ අනුවණ ජනතාව විසින් උසස් කුලය සේ සැලකූ කුරෛෂ් කුලයේ නබි නායක (සල්) තුමාණන් උපත ලැබූහ.

මව් කුසේ සිටිය දී ම තම පියා වූ අබ්දුල්ලාහ් ද තම හය වෙනි වියේ දී ආදරණීය මෑණියන්  වූ ආමිනා ද අහිමි වූ අහිමි වීමෙන් එතුමාණන් අනත් දරුවෙකු ලෙස හැදී වැඩුණ හ.

පසුව තම සීයා වූ අබ්දුල් මුත්තලීබ්ගේ භාරකාරත්වයේ ද ඔහුගේ අභාවයෙන් පසුව මහප්පා වූ අබූ තාලිබ්ගේ රැකවරණයේ හැදී වැඩුණ හ. කුඩා අවදියේ කිසිවෙකුට බරක් නොවී ජීවත් වනු පිණිස සුළු ආදායමක් ඉපැයීමේ අරමුණින් එළුවන් රැක බලා ගත් හ. තරමක් දැනුම් තේරුම් ඇති වූ පසු තම මහප්පා සමඟ සිරියාවට ගොස් වෙළඳාමේ යෙදුණ හ. මේ නිසා ළමා වියේ දී ම ශිල්පය හැදෑරීමට එතුමාණන්ට අවස්ථාවක් නොවීය. එබැවින් එතුමාණන් ලිවීමට හෝ කියවීමට හෝ නොදැන සිටිය හ.

නමුත් එතුමාණන්ගේ අඛණ්ඩ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස තම විසිපස් වෙනි වියේ දී වෙළඳාම පිළිබඳව මනා දැනුමක් ලබා ගත්හ. එවකට මක්කම නුවරේ සිටි ඉතාමත් ධනවත් ම කාන්තාවක් ද විශාල වෙළඳ  ව්‍යාපාරිකාවක් ද වූ කදීජා තුමිය නබි නායක (සල්) තුමාණන්ගේ යහපත් ගති ගුණ, සත්‍යවාදි බව හා වෙළදාමෙහි අති දක්ෂ බව  දුටු නිසා එතුමාණන් විවාහ කර ගන්නට මනාප වී විවාහ යෝජනාව ඉදිරිපත් කළා ය. නබි නායක (සල්) තුමාණන්ට වඩා වයසින් වැඩි මහල් කාන්තාවක් ද දෙවතාවක් වැන්දඹුවක් බවට ද  පත් වී සිටි කදීජා තුමියව නබි නායක (සල්) තුමාණෝ විවාහ කර ගත්හ. මෙම මනරම් විවාහයේ ප්‍රතිඵලයක් වශයෙන් නබි නායක (සල්) තුමාණන් මක්කම නුවරේ ශ්‍රේෂ්ඨ වෙළඳ ව්‍යාපාරිකයෙක් බවට ද මහා ධනවතෙක් බවට ද පත් වූහ.

එතුමාණන් තම හතලිස් වන විය දක්වා ම සාමාන්‍ය මිනිසෙකු ලෙස වෙළඳ ව්‍යාපාර වල නියැලෙමින් ජීවත් වූහ. එතෙක් කිසිඳු ජන සංවිධානයක් හෝ මතවාදයක් හෝ ගොඩනැගුවේ නැතෙ. කිසිඳු ප්‍රතිපත්තිමය ප්‍රචාරයක යෙදුනේ ද නැත. හතලිස් වෙනි විය දක්වා නබි නායක (සල්) තුමාණන්ගේ ඉතිහාසය කෙටියෙන් මෙබන්දක් විය.

නමුත් හතලිස් වෙනි වියට පසුව නබි නායක (සල්) තුමාණන්ගේ ජීවිතයේ ඉතා විශාල වූ පරිච්ඡේද දෙකක් වශයෙන් මහා පෙරලියක් සිදු විය. ඉන් එකක් හතලිය වියේ සිට පනස් තුන් වන විය දක්වා මක්කමේ ජීවිතයයි. අනෙක පනස් තුන් වන වියේ සිට එතුමාණන් අවසන් හුස්ම හෙලන තුරු ජීවත් වූ මදීනාවේ ජීවිතයයි. මේ පිළිබඳවත් තරමක් දුරට දැන ගනිමු.

හතලිස් වෙනි විය දක්වා සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වූ නබි නායක (සල්) තුමාණෝ තම හතලිස් වෙනි වියේ දී තමන්ට සර්ව බලධාරී දෙවි කෙනෙකු වෙතින් දහම් පණිවුඩ පහළ වන බවත් ඒ පණිවුඩ ලෝකයාට ප්‍රචාරය කිරීම සඳහා තමන් ඒ සර්ව බලධාරී දෙවියන් විසින් තෝරා පත් කරන ලද ධර්ම දූතයෙකු බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

“මේ මුළු විශ්වය ම නිර්මාණය කළේ එකම එක දෙවි කෙනෙකි. ඒ එකම දෙවියා හැර කිසිවෙකුට හෝ කිසිවකට හෝ නමැදුම් නොකළ යුතුය” යනුවෙන් තමන්ට එකම දෙවියන් වෙතින් පණිවුඩ ලැඛෙන බව ප්‍රකාශ කළ හ. “මිනිමැරුම්, මංකොල්කෑම්, පොලිය, සුරාව, සූදුව, කාම අපචාර, මත් ද්‍රව්‍ය, බොරුව, වංචාව, දූෂණය, මුළාව ආදි සියලු ම අයහපත් ක්‍රියා වලින් මිනිසුන් වැළකී සිටිය යුතුය” යනුවෙන් දේව පණිවුඩ ද ඒ එකම දෙවියන්ගෙන් තමාට පහළ වන බව ද ප්‍රකාශ කළ හ‍.

කඃබාව නමැති දේවස්ථානය වටා පිළිම 360ක් නෙලා දිනකට පිළිමයක් බැගින් වන්දනාමාන කරමින් සිටි ජන සමාජයකට එකම එක් දෙවියෙකුට පමණක් නැමදුම් කළ යුතු යැයි ද අනෙක්වා දෙවි වරු නොවේ, ඒවාට කිසිඳු ශක්තියක් නොමැත යැයි ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කෙබඳු තත්ත්වයක් උදා වන්නට ඇත්දැයි ඉතිහාසය නොදත් කෙනකුට වුව ද අනුමාන කළ හැකිය.

එතෙක් සත්‍යවාදියා, විශ්වාසවන්තයා යනුවෙන් නබි නායක (සල්) තුමාණන්ට උපහාර දැක් වූ ජනතාව මේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බද්ධ වෛරක්කාරයින් බවට පත් වූහ. උන්මත්තකයා යැයි පට බඳින්නට වූහ. එතුමාණන් සමග සිටි ඇගිලිවලින් ගැණිය හැකි තරම් සුළු පිරිසකට ද කියන්නට බැරි තරම් වධ හිංසා පමුණුවන්නට වූ හ.

නබි නායක (සල්) තුමාණන්ට මුලින් ම විරෝධය පෑ හා තදින් ම විරුද්ධ වූවන් වූයේ එතුමාණන්ගේ පවුලේ අය බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

උසස් කුලය වශයෙන් සැලකූ ඔවුන්ගේ කුලයට අයත් කෙනෙකු විසින් ම සියලු මිනිසුන් එක සමාන යැයි කියමින් කුල හීන පහත් අය, කළු ජාතීන් හා වහලුන් උසස් කුලයට සම කිරීම නබි නායක (සල්) තුමාණන්ගේ පවුලේ අය පිළිගත්තේ නැත. වහලුන් සමඟ උසස් කුලයේ අය සම කිරීම තුළින් කුල මහිමය කෙලසනවා යැයි චෝදනා කරමින් උසස් කුලයට අයත් යැයි උදම් අනමින් සිටි නබි නායක (සල්) තුමාණන්ගේ පවුලේ අය එතුමාණන්ට තදින් ම විරුද්ධ වන්නට වූ හ.

මේ හේතුවෙන් නබි නායක (සල්) තුමාණෝ තම දහම් ප්‍රචාරක කටයුතු රහසේ සිදු කළ යුතු තත්ත්වයක් උදා විය. ක්‍රම ක්‍රමයෙන් නබි නායක (සල්) තුමාණන් කෙරෙහි ජනතාව ඇදී එන්නට පටන් ගත් හ. මෙහි දී වැඩිමනක් පිරිස වූයේ එකල පීඩාවට පත් ජනතාවයි. දුගී දුප්පත් අසරණ අහිංසක ජනතාව සමාජ මට්ටමෙන් විවිධ තාඩන පීඩන වලට නතු වෙමින් සිටි අවස්ථාවක ඒක දේව ප්‍රතිපත්තිය හා සමානාත්මතාවේ සංකල්පය ඔවුන්ට වැඩි ආකර්ෂණයක් ලබා දුන්නේ ය. නමුත් මෙසේ ඉස්ලාම් වැලඳගත් ජනතාවට විවිධ වධ හිංසා පමුණුවන්නට නබි නායක (සල්) තුමාණන්ගේ විරුද්ධවාදීහු පටන් ගත් හ. ඉස්ලාම් වැළඳගත් පිරිස අතුරින් අහන්නට බලන්නට කාත් කවුරුත් නැති අසරණයින් ඝාතනය කර දැමූ හ. කුඩා ළමයින් උසි ගන්වා ගල් මුල් වලින් පහර දුන්හ.

සතුරන්ගේ එදිරිවාදිකම් වල උච්චත ම අවස්ථාව වශයෙන් එක් අවස්ථාවක දී ගමට යාබද ව පිහිටි කඳු බෑවුමකට නබි නායක (සල්) තුමාණන් ඇතුළු එතුමාණන්ගේ ප්‍රතිපත්තිය පිළිගත් මිත්‍ර වරු සියලු දෙනා ම නෙරපා දමා ගමෙන් කොන් කර තැබූහ. දින ගණනාවක් ගස් කොළ හා පරඩැල් පමණක් ආහාරයට ගත යුතු ශෝචනීය තත්ත්වයකට ඔවුහු මුහුණ දුන්හ.

නබි නායක (සල්) තුමාණන් සමඟ කිසිවෙකු කතා නොකළ යුතුයැයි තහංචි පැන වූහ. කිසිඳු අයුරකින් එතුමාණන් සමඟ සම්බන්ධතා පවත්වාගැනීමත් නොකළ යුතු යැයි නීති පැනවූ හ. මෙවන් වූ අවධියක, නබි නායක (සල්) තුමාණන්ගේ මිත්‍රයින්ගෙන් පිරිසක් මක්කා නගරයෙන් දිවි බේරාගෙන පලා යෑමට අදහස් කළ හ. ඒ අනුව එතුමාණන්ගේ අනුමැතිය පරිදි සමහරු ඇබීසීනියාව නැමති රටට ද තවත් සමහරු මදීනාවට ද නිෂ්ක්‍රමණය වූ හ.

මෙතරම් බාධක පැවතියත් මේ සෑම බාධකයක් ම අභිබවා නබි නායක (සල්) තුමාණන්ගේ ප්‍රතිපත්තිය අඛණ්ඩව වර්ධනය වෙමින් පැවතී ය. ජනතාව ඉස්ලාම් දහමේ සත්‍යතාව අවබෝධ කර ගැනීමේ ප්‍රවණතාවක් දුටු විරුද්ධවාදීහු නබි තුමන් ජීවතුන් අතර සිටීමට ඉඩ හැරියොත් මුළු නගරය ම එතුමාණන්ගේ ප්‍රතිපත්ති ප්‍රචාරයෙන් දිනා ගනීවි යැයි බියට පත් වී එතුමාණන්ව ඝාතනය කර දැමීමට  කුමන්ත්‍රණය කළහ.

මේ පුවත හෙළි වු වහා ම නබි නායක (සල්) තුමාණන් තමා සතුව තිබූ ධන දේපල සියල්ලක් ම අත් හැර දමා මහ මග වියදමට පමණක් රන් කාසි කිහිපයක් පමණක් රැගෙන තම කළ්‍යාණ මිත්‍ර අබූ බක්ර් සමඟ මක්කා නුවරින් බැහැර වන්නට අදහස් කළ හ. ඒ අනුව කලින් වූ පොරොන්දුවක් මත ඒක දේව ප්‍රතිපත්තිය වෙනුවෙන් සියලු රැකවරණය සලසා දෙන බව පැවසූ මදීනා නමැති නගරය කරා එතුමාණන් නිෂ්ක්‍රමණය කළ හ. මෙකී ඉතිහාසය හිජ්රත් හෙවත් පරිත්‍යාගශීලි නිෂ්ක්‍රමණය යනුවෙන් ඉස්ලාමීය ඉතිහාසයේ රනින් ලියැ වී ඇත. මන්ද යත් ඉස්ලාමීය ඉතිහාසයේ සම්පූර්ණ පෙරලිය සිදු වූයේ මින් පසුව ය.

හතලිස් වෙනි වියේ ආරම්භ වූ නබි නායක (සල්) තුමාණන්ගේ මක්කා  ජීවිතය එතුමාණන්ගේ පනස් තුන් වෙනි විය දක්වා දික් විය.

මදීනා ජීවිතය

නබි නායක (සල්) තුමාණන් මක්කමේ සිටිය දී එතුමාණන්ගේ ප්‍රතිපත්තිමය ප්‍රචාරය ගැන සැල වී මදීනාවේ සිට කීප දෙනෙක් පැමිණ එතුමාණන්ව කලින් ම මුණ ගැසී සිටියහ. ඔවුහු එතුමාණන්ගේ ප්‍රතිපත්තීන් ද පිළිගෙන සිටියහ.

යම් හෙයකින් මක්කමේ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වූවා නම් කිසිඳු පැකිලීමකින් තොරව මදීනාවට පැමි‍ණෙන මෙන් ද ජීවිත පරදුවට තබා හෝ නබි තුමාණන්ව ආරක්ෂා කරන බව ද ඒ මදීනාවාසී ජනතාව නබි නායක (සල්) තුමාණන්ට ප්‍රතිඥාවක් ද දී තිබුණි. එසේ ප්‍රතිඥා දුන් ජනතාව ඒ කාල වකවානුවේ දී නබි නායක (සල්) තුමාණන්ගේ ඒක දේව ප්‍රතිපත්තිය මදීනාවේ ජනතාව අතර ප්‍රචාරය කරමින් යම් තරමක ජනතාවගේ සිත් දිනාගෙන ද සිටියහ.

මෙය හේතුකොට ගෙන ම නබි නායක (සල්) තුමාණන් මදීනාව බලා ගමනාරම්භ කළහ. මදීනාවාසීහු එතුමාණන් සුහද හදින් පිළිගැනීමට ඉතා ඕනෑකමින් බලා සිටියහ. එබැවින් දැනටමත් මදීනාවාසීන්ගේ සිත් දිනාගෙන සිටි නිසා ඔවුන් එතුමාණන්ගේ ප්‍රතිපත්තිය පිළිගත්තා පමණක් නොව එතුමාණන් ව තම රාජ්‍ය නායකයා ලෙස ද තෝරා පත්කර ගත්හ.

මදීනාවාසීන් පමණක් නොව ඒ අවට ගම්මාන වල ජීවත් වූ ජනතාව ද නබි නායක (සල්) තුමාණන් ගැන සැල වී කණ්ඩායම් වශයෙන් ඉස්ලාමය තුළට ප්‍ර වේශ වන්නට පටන් ගත් හ. නබි නායක (සල්) තුමාණන් තම 63 වෙනි වියේ දී මදීනාවේ දී මෙලොවින් සමු ගන්නා අවස්ථාව වන විට වත්මන් ඉන්දියාවට වඩා විශාල භූමි ප්‍රදේශයක් තම අණසක යටතට ග්‍රහණය කිරීමට සමත් වී සිටිය හ.

ඉන්දියාව වැනි විශාල භූමි විස්තාරයක් එක් ධජයක් යටතේ වූ රටක් බවට පත් කිරීමට වසර 800ක මුස්ලිම් රාජ්‍ය පාලනයක් ද වසර 200ක සුදු ජාතිකයන්ගේ රාජ්‍ය පාලනයක් ද  අවශ්‍ය විය. නමුත් අවුරුදු දහසක් පුරා නිර්මාණය කළ යුතු සුවිශාල රාජ්‍යයක් අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් තුළ දී නබි නායක (සල්) තුමාණන් ගොඩනැගූ හ. එය ද කිසිඳු මර්දනකාරී ක්‍රියා පිළිවෙතකින් තොරව තම ප්‍රතිපත්ති ප්‍රචාරය ඔස්සේ ම ජනතාවගේ සිත් දිනා ගනිමින් අති විශාල අධිරාජ්‍යයක් නිර්මාණය කළහ. මෙවැනි අධිරාජ්‍යයක් නබි නායක (සල්) තුමාණන්ට පෙර හෝ පසුව හෝ කිසිවෙක් ගොඩ නොනැගූ බව ඉතා නිහතමානීව ප්‍රකාශ කළ යුතුය.

නබි නායක (සල්) තුමාණන් මදීනාවට සම්ප්‍රාප්ත වූ වකවානුවේ දී ඉතාලිය හා පර්සියාව (ඉරානය) ලෝකයේ බලවත් ම රාජ්‍යයන් විය. මෙතරම් බලවත් ම රාජ්‍යයන් ලෝකයේ පැවතිය ද නබි නායක (සල්) තුමාණන් අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් තුළ තම ඉස්ලාමීය අධිරාජ්‍යය එවකට ලෝකයේ පැවති එක ම බලසම්පන්න අධිරාජ්‍යයක් බවට පත් කළහ.

එවකට ලෝකයේ ඉතාමත් ශක්තිමත් සේනාවක් ද නොමිලේ සේවයේ යෙදුණු සෙබලූන් සහිත හමුදා බල ඇණියක් නබි නායක (සල්) තුමාණන් පමණක් සතු විය. එසේ ම අධික බලතල සහිත අද්විතීය රාජ්‍ය නායකයා ලෙස ද නබි නායක (සල්) තුමාණන් වැජඹුණ හ.

මෙතරම් පෙරලිකාර ඉතිහාසයක් සහිත ආධ්‍යාත්මික හා රාජ්‍ය නායකයෙකු වූ මුහම්මද් තුමාණන් සැබවින් ම කවුරුන් ද?

  • මහා පරාක්‍රම දෙවි කෙනෙක් ද?
  • නැත්නම් දේව අවතාරයක් ද?
  • නැත්නම් දේව පුත්රයයෙක් ද?

ඉහත කී සියලු ප්‍රශ්න වලට ඉහත ගති ලක්ෂණ සහිත චරිතයකට වෙනත් ජන සමාජ ඔව් යැයි පිළිතුරු ලබා දුන්න ද ඉස්ලාම් දහම ලබා දෙන සරල පිළිතුරු නැත යන්නයි. මේ මහා වීර ධීර පරාක්‍රම, තේජසින් වූ අධිරජ මුහම්මද් දෙවි කෙනෙක් නොවේ, දේවාවතාරයක් ද නොවේ, දේව ප්‍රත්‍රෙයක් ද නොවේ. එතුමාණන් අප ඔබ වැනි සාමාන්‍ය මනුෂ්‍ය ගති ලක්ෂණ සහිත සාමාන්‍ය මනුෂ්‍යෙයකි.

මුහම්මද් තුමාණන් සර්ව ප්‍රාකාරයෙන් ම  මනුෂ්‍යයෙකි!

ආධ්‍යාත්මික නායක වරු සාමාන්‍ය ජනතාවට වඩා තමන් උසස් යැයි තහවුරු කිරීමට උත්සහ දැරුවත් ඔවුන් සෑම අතින් ම සාමාන්‍ය මිනිසුන් ලෙසින් ම සිටිති. කුසගින්න, පිපාසය, අසනීප වීම, වැසිකිලි කැසිකිලියාම, මහළු වීම ආදි සාමාන්‍ය මිනිසුන්ට පවතින සෑම දුර්වලතාවක් ම ඔවුන්ට ද ඇත. මිහිපිට ඉපදුණු කිසිඳු පුද්ගලයෙකුට ලෝකෝත්තර විය නොහැකිය. ඇතැම් විට ආධ්‍යාත්මික නායකවරු සාමාන්‍ය මිනිසුන් ඉවසන තරමටවත් දුක වේදනාව ඉවසා දරා ගැනීමට නොහැකි තරම් දුර්වලව සිටීම අපි නෙත් පනාපිට දකින්නෙමු.

එසේ තිබිය දී තමන් දේවත්වයට පත් වූ බව මහ ජනතාව විශ්වාස කරවීමට ඔවුහු විවිධ ප්‍රයත්න දරති. තම පාමුල වැටී වැඳුම් පිදුම් කරන අයට තමන් අදෘෂ්‍යමානව උපකාර කරන බවත් තම ආශිර්වාදය ලැබූ අයට  සියලු කටයුතු සඵල වන බවත් මහ ජනතාව විශ්වාස කරවා මුළා කරති.  නමුත් ඒ ගැන ජනතාව නොපිබිදී සිටින්නට ඇඳුම්, පැලඳුම්, ඉඳුම් හිටුම් හා ගැති පැවතුම් අතින් තමන්  සාමාන්‍ය මිනිසුන්ට සමාන නොවන බව පෙන්වා ගනිමින් මහ ජනතාවගේ සිත් දිනාගනිති.

  • තමන් වෙත දේව බලය තිබේයැයි වාද කිරීම
  • තමන්ට විරුද්ධ වන අයට තමන් ශාප කරන බවට බිය ගැන්වීම
  • තමන්ට භක්තිය පෙන්වන අයට ආශිර්වාද කරන බවට මුළා කිරීම
  • අදෘශ්‍යමාන දේ තමන්ට පෙනෙන බවට අමූලික බොරු ගොතා කීම
  • තමන් සතුව ගුප්ත ඥානයක් හා බලයක් තිබේ යැයි ප්‍රෝඩා කිරීම
  • අනුන්ට කරන උපදෙස් කිසිවක් තමන් ක්‍රියාත්මක නොකිරීම
  • තමන් මනුෂ්‍ය භාවයෙන් උත්තරීතර වී ඇතැයි පවසා සාමාන්‍ය මනුෂ්‍යයින් අනුගමනය කරන සදාචාරාත්මක පිළිවෙත් හෝ අනුගමනය නොකිරීම
  • බඩ වඩා ගැනීමටත් (බඩගෝස්තරවාදය) වස්තුව රැස් කිරීමටත් ජනතාවගේ නොදැනුවත්කම උපයෝගි කර ගැනීම
  • ජනතාව තමන්ට ළං විය නොහැකි පරිදි උස් වූ තැනක අසුන් ගැනීම

මේ ආදි වශයෙන් විවිධාකාර ප්‍රෝඩාවන් කලින් කලට ආධ්‍යාත්මයේ නාමයෙන් සමාජඅගත වෙමින් පවතී.

නමුත් වශයෙන් නබි නායක (සල්) තුමාණන් යට කී දැයින් එකක්වත් සිදු නොකළා පමණක් නොව, මේවාට තදින් ම විරුද්ධ වූ හ. ආධ්‍යාත්මයේ නාමයෙන් සිදු වන ප්‍රෝඩාවන් දැක ආධ්‍යාත්මයට සම්පූර්ණ විරෝධය පාමින් සටන් කළ නාස්තිකවාදී නායකයින් පවා නබි නායක (සල්) තුමාණන් විරෝධය පෑ තරමට ආධ්‍යාත්මයේ නාමයෙන් සිදු වන ප්‍රෝඩාවන්ට විරෝධය නොපාන්නට ඇත.  එතරමට ප්‍රෝඩා හා වංචා වලට නබි නායක (සල්) තුමාණෝ විරෝධය පෑ හ.

නබි නායක (සල්) තුමාණන් තම ජීවිත කාලය තුළ කවරදාකවත් ජනතාව තම පාමුල වැඳ වැටීම අනුමත කළේ නැත. ඇතැම් නුගත් පුද්ගලයින් එසේ කරන්නට උත්සාහ කළ විට එය තදින් ම හෙළා දුටූ හ.

නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ සිදු වූ මෙම සිද්ධිය දෙස බලන්න.

මම හියරා නමැති නගරයට ගියෙමි. එහි ජනතාව තම නායකයාට හිස නමා ආචාර කරනු දුටුවෙමි.  “මෙසේ සිරස නමා ආචාර කරන්නට වඩාත් සුදුසුකම් ඇත්තේ නබි නායක (සල්) තුමාණන්ටයැ”යි මම (මට ම) කියා ගත්තෙමි. නබි නායක (සල්) තුමාණන් වෙතට පැමිණ  “මම හියරා නගරයට ගියෙමිග එහි ජනතාව තම නායකයා ඉදිරියේ සිරස නමා ආචාර කරනු දුටුවෙමි. අපි සිරස නැමීමට වැඩියෙන් ම සුදුසුකම් ලබන්නේ ඔබ තුමාණන් යැ ”යි කීවෙමි. එවිට නබි නායක (සල්) තුමාණෝ “(මගේ මරණයට පසු) මගේ සොහොන් වළ පසුකර යාමට සිදුවූවහොත් එයටත් හිස නමන්නෙහි දැ” යි ඇසූහ. “(එසේ) නොකරමි“යි කීවෙමි. එවිට නබි නායක (සල්) තුමාණෝ  “ඔබ එසේ නොකළ යුතුයි. මිනිසෙක් තවත් මිනිසෙකුට සිරස නැමිය යුතු නම් සැමියා ඉදිරියේ බිරිඳ එසේ කරන මෙන් පවසා ඇත්තෙමි”යි කීහ.

දැනුම් දෙන්නා : කෛස් බින් සඅද් (රලි) තුමා

මූලාශ්‍රය : අබූ දාවූද් (1828)

ආධ්‍යාත්මික නායකයෙකු වන නබි නායක (සල්) තුමාණන්ගේ දෙපාමුල වැටෙන්නට එතුමාණන්ගේ මිත්‍රවරු අනුමැතිය ඉල්ලා සිටි විට කිසිම මිනිසෙකු තවත් මිනිසෙකුගේ දෙපාමුල නොවැටිය යුතුයැ යි ආත්ම ගරුත්වය රකින මානව හිතවාදී ධර්මතාවක් නබි නායක (සල්) තුමාණන් උගන්වා දුන් හ. දෙපාමුල වැටෙමින් නමස්කාර කරන්නාත් ඒ පාද නමස්කාර ලබන්නාත් යන දෙදෙනා ම මිනිසුන් වන බව පවසා සිරස නමා නමස්කාර ලැබීමට සුදුසුකම් ලබන්නේ ලෝකෝත්තර දෙවියන් අල්ලාහ් පමණක් බවත් අවධාරණය කර සිටිය හ.

ධර්ම දූතයාණන් සේ සලකා හෝ නබි නායක (සල්) තුමාණන්ගේ දෙපාමුල වැටෙන්නදැයි මහ ජනතාව ඉල්ලා සිටින විට තම අභාවයෙන් පසුව තම සොහොන අබියස ද වැටී නමස්කාර කරන ජනතාවක් උදා වීම ප්‍රිය නොකරන බව පවසා එවන් වූ අනුවණ ක්‍රියාවක් සිදු නොවන්නට වග බලා ගත් හ. තම වියෝවෙන් පසු තම සොහොන් කොත අබියස නමස්කාර නොකරන්නැයි ජීවතුන් අතර සිටිය දී ම අවවාද කර තහනමක් පැනවූ ආධ්‍යාත්මික නායකයෙකි, නබි නායක (සල්) තුමාණන්.

යුදෙව්වරු ද ක්‍රිස්තියානිවරු ද තම ධර්ම දූතයින්ගේ සොහොන් කොත් නැමදුම් ස්ථානයක් බවට පත් කර ගත්හ. එබැවින් ඔවුන්ට අල්ලාහ්ගේ ශාපය හිමි වේවා!යි පවසමින් තම මරණාසන්න මොහොතේ දී නබි නායක (සල්) තුමාණන් අවවාද කළහ.

මූලාශ්‍රය : බුහාරි (436, 1390, 3454, 4441, 4444, 5816)

මෙම එකම අනුශාසනාව නිසා ශත වර්ෂ දහ හතරක් ගෙවී ගිය ද එතුමාණන්ගේ සොහොන්කොත අබියස අද වනතුරු කිසිඳු අනුස්මරණ උත්සවයක් හෝ පුද පූජාවක් හෝ පවත්වන්නේ නැත. සොහොන් කොත ළඟ කිසිවෙකු වැඳ වැටෙන්නේ ද නැත. මෙතරම් දුරට දෙවැනි මතයකට ඉඩක් නොමැතිව මනුෂ්‍යත්වය හා ආත්ම ගරුත්වය රැකෙන පරිදි දහම් පණිවුඩයක් මෙලොවට දායාද කළ එක ම ආධ්‍යාත්මික නායකයාණන් මුහම්මද් (සල්) තුමාණන් පමණි.

  • එතුමාණන් සිය පණටත් වඩා ප්‍රේම කරන මුස්ලිම් ජන සමාජය
  • එතුමාණන්ට පිළිරූ නෙළුවේ නැත.
  • එතුමාණන්ගේ සමාධියේ වැඳ වැටුණේ නැත
  • එතුමාණන් වෙනුවෙන් කිසිඳු අනුස්මරණ උත්සවයක් පැවත්වූ යේ නැත.
  • එතුමාණන්ගේ සොහොන් කොත අබියස පුෂ්පෝපහාර හෝ මල් වඩම් තබන්නේ නැත
  • කිසිම මුස්ලිම්වරයකුගේ ආත්ම ගෞරවයට එතුමාණන්ගෙන් කිසිඳු හානියක් සිදු වූයේ නැත.
  • පාමුල වැඳ වැටීම නොව සුළුවෙන් හෝ ආත්ම ගරුත්වය කෙලසන කිසිවක් එතුමාණන් පිළිගත්තේ නැත.

වයසින් වැඩි මහල් අය, ගුරුවරුන්, නායකයින්, මුදලාලිවරුන්, පාලකයින් හා උසස් නිලධාරීන් වෙනුවෙන් අනෙක් අය නැගිට ආචාර කිරීම ලොව පුරා දකින්නමු.

නමුත් මේ මහ පුරුෂෝත්තමයා කිසිඳු මිනිසෙකු තවත් කිසිම මිනිසෙකුට ගෞරව දැක්වීම සඳහා නැගිට ආචාර නොකළ යුතු යැයි තහනම් කළ හ.

නබි නායක (සල්) තුමාණන්ට පසුව ඉස්ලාමීය අධිරාජ්‍යයේ පස්වෙනි රාජ්‍ය නායකයා වූයේ මුආවියා (රලි) තුමා ය. එතුමා නිවසින් පිටතට පැමිණි විට එතුමා දුටු අබ්ල්ලාහ් බින් සුබෛර් (රලි) තුමා හා ඉබ්නු සෆ්වාන් (රලි) තුමා (ගෞරව කිරීමේ අරමුණින්) නැගිට සිට ගත් හ. එවිට මුආවියා (රලි) තුමා, “වාඩිවෙන්නැ”යි පැවසීය. “තමා වෙනුවෙන් ජනතාව නැගිට සිටගත යුතුයැයි කවරෙක් ප්‍රිය කරන්නේ ද ඔහුගේ නවාතැන නිරයේ සකස් කරගන්නේයැ”යි නබි නායක (සල්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දුනිමියි ද පැවසීය.

මූලාශ්‍රය : තිර්මිදි (2769), අබූ දාවූද් (4552)

රාජ්‍ය නායකයෙකුට පවා ජනතාව නැගිට සිටිමින් ආචාර නොකළ යුතුය. අවම වශයෙන් එසේ නැගිට සිටගෙන ආචාර කළ යුතු යැයි කිසිඳු මුස්ලිම්වරයෙකු බලාපොරොත්තු ද නොවිය යුතුය. නබි නායක (සල්) තුමාණන් උගන්වා දුන් ආධ්‍යාත්මික නායකත්වය කවරක්දැයි ඉතා පැහැදිලිව මේ සිද්ධියෙන් අපට දැන ගත හැකිය.

තමන් වෙනුවෙන් සිට ගැනීම පවා ප්‍රතික්ෂේප කළ එක ම නායකයා ලෙසින් නබි නායක (සල්) තුමාණන් වැජඹූ නිසා මුස්ලිම්වරු එතුමාණන්ව සියයට සියයක් ම අනුගමනය කරති. එතුමාණන්ගේ සර්ව සම්පූර්ණ ජීවිතය ම මුස්ලිම් ජනතාවගේ ජීවිතය ගොඩ නගා ගැනීමට ආදර්ශයක් කර ගනිති.

මුහම්මද් තුමාණන් සාමාන්‍ය මිනිසෙකුගෙන් වෙනස් වන්නේ කෙසේ ද?

මුහම්මද් තුමාණන් සාමාන්‍ය මනුෂ්‍ය යෙකු වූවත් අපත් එතුමාණනුත් අතර අති විශාල වෙනසක් ඇත. එතුමාණන් මනුෂ්‍ය ස්වභාවයෙන් ජීවත් වූවත් එතුමාණන්ට එකම දෙවියන් වන සර්ව බලධාරී අල්ලාහ්ගෙන් දේව පණිවුඩ පහල වේ. දේව පණිවුඩ පහළ වීමේ කාරණාවේ දී එතුමාණන් අපට සමාන නොවේ.