නිවෙස් වල හඳුන් කූරු පත්තු කිරීම ඉස්ලාමයේ තහනම් කර තිබෙනවා ද?

නිවෙස් වල හඳුන් කූරු පත්තු කිරීම ඉස්ලාමයේ තහනම් කර තිබෙනවා ද?

හඳුන් කූරු යනු නිවෙස් සුවඳවත් කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයකි. අතීතයේ පටන් ජනතාව තම ගේ දොර පිවිතුරුව හා සුවඳින් පිරී තිබිය යුතු යැයි ප්‍රිය කළ හ. ඒ සඳහා විවිධ ක්‍රම වේද භාවිත කළ අතර හඳුන් කූරු ද එවැනි අරමුණක් උදෙසා ම සොයා ගන්නා ලදී. මෙවැනි අරමුණකින් යම් කෙනෙක් එය භාවිත කරයි නම් එහි කිසිඳු වරදක් නැත.

නමුත් හඳුන් කූරු එහි සාමාන්‍ය අරමුණ අභිභවමින් නිවෙසක සෞභාග්‍යය උදා කරන පූජනීය වස්තුවක් යැයි සැලකීමක් සිදු වේ. අද බහුල වශයෙන් සුවඳ ධූප-සුවඳ කූරු භාවිත කරන්නේ පූජා කටයුතු සඳහා ය. එමෙන් ම, වෙළෙඳ ව්‍යාපාර දියුණුවට, සරස්වතී - ගණ දෙවියන් වැනි දෙවි දේවතා (?) වුන්ගේ ඇල්ම බැල්ම ලබා ගැනීමට සුවඳ දුම් උපයෝගී කර ගැනෙයි.

බොහෝ වෙළෙඳ ව්‍යාපාර උදෑසන විවෘත කිරීමේදීත් සවස වැසීමේදීත් හඳුන් කූරු දැල්වීම, සුවඳ දුම් ඇල්ලීම සිදු කරනු ලබයි. සුවඳ දුම් අල්ලා පුද පූජා පවත්වා දියුණු වූ ව්‍යාපාර මෙන් ම පාඩුපිට වසා දැමූ වෙළෙඳ ව්‍යාපාර ද ඇත. අමනුෂ්‍ය බලවේගයන් අතර යකුන්, ප්‍රේතයන් ඇල්ලීම, බන්ධනය, පලවාහැරීම ආදියට දුම්මල භාවිත කරති. මේ සියල්ල බුද්ධි ගෝචර නොවන මිත්‍යා විශ්වාසයන් ය.

දෙවියන් ආකර්ෂණය කර ගැනීමට හඳුන් කූරු හා සුවඳ දුම් ඇල්ලීමක් මුස්ලිම් නොවන ජනතාව මෙන් මුස්ලිම් ජනතාව ද සිදු කරති. සුවඳ දුම් ඇල්ලීමෙන් දේව ආශීර්වාදය ලැබිය හැකිද? දෙවියන්ගේ බලය ආශීර්වාදය දේව ආකර්ෂණය සුවඳ ධූපයන්හි ගැබ්ව තිබේ ද? යන්න පිළිබඳව ජනතාව වටහා ගන්නේ නැත. මෙසේ සිදු කළ අය දෙවියන්ගේ ආශීර්වාදය වෙනුවට දේව උදහසට පත් වෙති. මන්දයත් සර්ව බල දෙවියන් තමාගේ ආශිර්වාදය ලබා ගන්නට මෙසේ සිදු කරන මෙන් පැවසුවේ නැත.

ඉස්ලාම් අල්ලාහ් උදෙසා කුර්බාන් කරන මෙන් පවසයි. එබැවින් මුස්ලිම්වරු හජ් සමයේ දී කුර්බාන් සිදු කරති. නමුත් එසේ සිදු කරන කුර්බාන් මාංශ අල්ලාහ්ට සේන්දු වේයැයි ඉස්ලාම් පැවසුවේ නැත. අනෙකුත් ආගම් පවසන අයුරින් බිලි පූජාවක් හෝ දවන පූජාවක් ලෙස ඉස්ලාම් කුර්බාන් කටයුත්ත සැලකුවේ නැත.

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ كَذَلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَبَشِّرِ الْمُحْسِنِينَ (37) سورة الحج

උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ්ට ළඟා නොවේ. නමුත් නුඹලා තුළ තිබෙන (දේව) බිය බැතිය ම ඔහුට ළඟා වේ.292 නුඹලාට යහ මග පෙන් වූ හෙයින් නුඹලා අල්ලාහ් උත්කෘෂ්ටවත් කරවනු පිණිස මෙලෙස ඔහු එය නුඹලාට ප්‍රයෝජනවත් කළේය. යහපත කරන්නන්ට සුබාරංචි කියන්න.

අල්කුර්ආන් 22:37

ඉස්ලාමීය විශ්වාසය අනුව සර්ව බලධාරී දෙවියන් අවශ්‍යතා වලින් තොර කෙනෙකි. ඔහුට කිසිඳු වස්තුවක් අපි පුජා කළ යුතු නැත. එසේ නම් සර්ව බලධාරී දෙවියන් වෙනුවෙන් කපා බිලි දෙන්නේ ඇයි ද යන පැනයට මෙම වැකිය පිළිතුරු සපයයි.

කපා බිලි දීමෙන් එහි ලෙය හෝ මාංශය හෝ දෙවියන්ට සේන්දු නොවන බවත් එය අවශ්‍ය නොවන බවත් මෙම වැකිය පැහැදිලිව පවසයි. පොදුවේ ආර්ථීකය සම්බන්ධ නැමදුම් කටයුතු වල දී එහි ඵල ප්‍රයෝජන දුගීන්ට සේන්දු විය යුතුය යන්න ඉස්ලාමයේ ස්ථාවරයයි.

සර්ව බලධාරී දෙවියන් වෙනුවෙන් කපා බිලි දී එහි මාංශ දිළින්ඳන්ට ලැබිය යුතු බවත් දෙවියන් අණ කළේ නම් මම ඕනෑම දෙයක් කරන්නෙමි යන හැඟීම මිනිසා ලැබීමත් කුර්බානයේ අරමුණ මිස දෙවියන්ට පූජා කිරීම නොවන බවට මෙම වැකිය සාධකයකි.

මෙසේ තිබිය දී අන්ධානුකරණයෙන් ප්‍රතිමා හා සොහොන් කොත් පාමුල මත සුවඳ කූරු දල්වා සුවඳ දුමෙන් පිරිවීම බුද්ධියට කෙතරම් ගෝචර වන්නේ ද? එය අප, අප තුළින් ම විමසා බැලිය යුත්තකි.

දෙවියන් සඳහා සාම්බ්‍රානි සකස් කොට දුම් ඇල්ලීම තුළින් එහි සුගන්ධය ශුද්ධ වූ තරංගයන් හා ගැටී බැතිමතා වෙත බලවත් තරංගයන් ලෙස නැවත යොමු වෙතියි යනුවෙන් ද මෙම ධූපයන්ගෙන් නිකුත් වන ඖෂධීය සුගන්ධයන්ගේ බලය, මන්ත්‍ර බලය, නක්‍ෂත්‍ර බලය හා සංයෝග වීම මත සියුම් බලවේගයක් නිර්මාණය කෙරෙයි යනුවෙන් ද අන්ධ භක්තියෙන් ජනතාව විශ්වාස කරති. එසේ කිසිවක් සිදු වන්නේ නැත.

නොපෙනෙන බලවේගයන් ආකර්ෂණය වීමේ බලයක් සුදු හඳුන්, දුම්මල, සාම්බ්‍රානි, එනසාල්, සැවැන්දරා, කීකිරිඳිය, කපුරු වැනි ද්‍රව්‍ය වලට නැත. එබැවින් එවැනි සුවඳ ධූප නිවෙසේ ව්‍යාපාරයේ දුම් ඇල්ලීමෙන් යහපත් ප්‍රතිඵල අත් වන්නේ නැත.

ඉස්ලාම් පවසන්නේ යම් වස්තුවකට එම වස්තුව සතු මුහුණත බලය හැර අමතර බලයක් නොමැති බවයි. උදාහරණයක් වශයෙන් ගත් කල, පෑනක් ලියන්නට භාවිත කළ හැකිය. එසේ ම එහි තිබෙන කූර හෝ ප්ලාස්ටික් ආවරණය වෙනත් යම් කාර්යයක් සඳහා භාවිත කළ හැකිය. ඒ හැරෙන්නට පෑනකින් පුද්ගලයෙකුගේ සිත පාලනය කළ හැකියැයි හෝ යම් කෙනෙක් පවසනවා නම් එය සීමාව ඉක්මවා එකී වස්තුවට බලයක් තිබේ යැයි කල්පනය කිරීමකි. මෙය ඉස්ලාම් එකම දෙවියන්ගේ බලය අන් වස්තුවකට තිබේයැයි ආරෝපණය කිරීමක් සිදු වේ.

හඳුන් කූරු ගොම වලින් සාදන බව ඇතැමුන් පවසති. නමුත් එහි සත්‍යතාවක් නැත. බැවින් එය දල්වන්නට හොඳ නැති බව පැවසීමත් වරදකි. පූජනීය කොට සලකා හඳුන් කූරු දැල්වීම වරදක් වන නමුත් නිවෙසක් සුගන්ධවත් කිරීම සඳහා එසේ හඳුන් කූරු දැල්වීම හෝ සාම්බ්‍රානි වැනි දුම් ඇල්ලීම වරදක් නොවේ. නමුත් වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් සමඟ කෘතිම සුගන්ධ ද්‍රව්‍යයන් රැසක් වෙළඳපොලේ දක්නට ඇත. ඒවා භාවිත කිරීම අනවශ්‍ය මිත්‍යා දෘෂ්ටික ක්‍රම තුරන් කරන්නට බෙහෙවින් ම උපකාරී වන බව අපි අමතක නොකළ යුතුය.