හිස කෙස් වලට වර්ණ ආලේප කළ හැකි ද?

හිස කෙස් වලට වර්ණ ආලේප කළ හැකි ද?

හිස කෙස් පැසුණු අය තම හිස කෙස් වලට වර්ණ සායම් අලේප කිරීමේ පුරුද්දක් අප සමාජයේ දැකගත හැකිය. හිස කෙස් නොපැසුණත් අලංකාරය උදෙසා වර්ණ සායම් ආලේප කිරීමේ පුරුද්දක් ද ඇතැමුන් සතුව ඇත.

හිස කෙස් පැසුණු අය කළු වර්ණය හැර අනෙකුත් යම් කිසි වර්ණයකින් හිස කෙස් වලට වර්ණ ආලේප කරගත හැකියයි නබි නායක (සල්) තුමාණන් නියෝග කර ඇත. එබැවින් යම් කෙනෙකුට සුදු පැහැති කෙස් පවතී නම් එහි වර්ණය වෙනස් කිරීම අනිවාර්ය වේ. නමුත් කළු වර්ණය භාවිත නොකළ යුතුය. මෙය පහත සඳහන් හදීසයෙන් වටහාගත හැකිය.

3462 حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنْ صَالِحٍ عَنْ ابْنِ شِهَابٍ قَالَ قَالَ أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ إِنَّ أَبَا هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِنَّ الْيَهُودَ وَالنَّصَارَى لَا يَصْبُغُونَ فَخَالِفُوهُمْ رواه البخاري

අල්ලාහ්ගේ දූතයාණන් (සල්) මෙසේ පැවසූ හ.

යුදෙව්වරු හා ක්‍රිස්තියානිවරු (තම රැවුලටත් හිස කෙස් වලටත්) වර්ණ සායම් අලේප කර නොගනිති. එබැවින් නුඹලා (ඒවාට කළු නොවන වර්ණයක් ආලේප කර) ඔවුන්ට පටහැනිව කටයුතු කරන්න.

දැනුම් දෙන්නා: අබූ හුරෛරා (රලි) තුමා

මූලාශ්‍රය: බුහාරි (3462)

3925 و حَدَّثَنِي أَبُو الطَّاهِرِ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ ابْنِ جُرَيْجٍ عَنْ أَبِي الزُّبَيْرِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ أُتِيَ بِأَبِي قُحَافَةَ يَوْمَ فَتْحِ مَكَّةَ وَرَأْسُهُ وَلِحْيَتُهُ كَالثَّغَامَةِ بَيَاضًا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَيِّرُوا هَذَا بِشَيْءٍ وَاجْتَنِبُوا السَّوَادَ رواه مسلم

ජාබිර් (රලි) තුමා මෙසේ පවසයි.

මක්කා ජයග්‍රහණ දිනයේ දී (අබූ බක්ර්-රලි- තුමාගේ පියාණන් වන) අබූ කුහාෆා (නබි නායක -සල්- තුමාණන් ඉදිරියට) ගෙන එනු ලැබීය. එතුමාගේ හිස කෙස් සආමා මළ මෙන් සුදු පැහැයෙන් යුක්ත විය. එවිට නබි නායක (සල්) තුමාණන් මෙ(ම වර්ණ)ය යම් කිසි ව(ර්ණය)කින් වෙනස් කරගන්න. කළු වර්ණය (භාවිත කිරීමෙන් ) වැළකෙන්නැයි පැවසූ හ.

මූලාශ්‍රය: මුස්ලිම් (4270)

නබි නායක (සල්) තුමාණන් කළු වර්ණයෙන් හිස කෙස් වල වර්ණය වෙනස් කිරීමට තහනමක් පනවා ඇක.

4988 أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عُبَيْدِ اللَّهِ الْحَلَبِيُّ عَنْ عُبَيْدِ اللَّهِ وَهُوَ ابْنُ عَمْرٍو عَنْ عَبْدِ الْكَرِيمِ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنْ ابْنِ عَبَّاسٍ رَفَعَهُ أَنَّهُ قَالَ قَوْمٌ يَخْضِبُونَ بِهَذَا السَّوَادِ آخِرَ الزَّمَانِ كَحَوَاصِلِ الْحَمَامِ لَا يَرِيحُونَ رَائِحَةَ الْجَنَّةِ رواه النسائي

නබි නායක (සල්) තුමාණන් මෙසේ පැවසූ හ.

පරවියාගේ ගෙලෙහි තිබෙන දේ (පිවිතුරු කළු වර්ණය) මෙන් කළු වර්ණය ආලේප කර ගන්නා පිරිසක් අවසාන යුගයේ දී බිහි වනු ඇත. ඔවුන් ස්වර්ගයේ සුවඳවත් විඳින්නේ නැත.

දැනුම් දෙන්නා: ඉබ්නු අබ්බාස් (රලි) තුමා

මූලාශ්‍රය: නසාඊ (4988)

කළු වර්ණය ආලේප කිරීමෙන් වැළකිය යුතුයැයි නබි නායක (සල්) තුමාණන් පැවසීම තුළින් හිස කෙස් වලට ඕනෑම වර්ණයකින් සායම් ආලේප කළ හැකි බව වටහාගත හැකිය.

හිස කෙස් නොපැසුණු අය හිස කෙස් වලට සායම් ආලේප කරන පුරුද්දක් නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ නොවී ය. එබැවින් නබි වදන් හි ඒ ගැන සඳහන් නොවේ. නමුත් වර්තමානයේ මෙය අලංකරණයක් සේ නූතනවාදීහූ සලකති. මෙය ධාර්මික කටයුත්තක් සේ හෝ නැමදුමක් සේ සලකා කරනු ලබන්නේ නැත. ධර්මානුකූල සාධක අවශ්‍ය වන්නේ ධාර්මික කටයුත්තක් සේ හෝ නැමදුමක් සේ සලකා කරනු ලබන්නේ නම් පමණි. වස්ත්‍ර අලංකරණයක්, විලාසිතාවක්, සංස්කෘතියක් වැනි කරුණු වල දී ධර්මයට පටහැනි යමක් පවතී නම් පමණක් එයින් අපි වැළකී සිටිය යුතුය. ධර්මයට පටහැනි යමක් එහි නොමැති නම් ඒවා සිදු කිරීම වරදක් නෙවේ. 

නොපැසුණු හිස කෙස් වලට වර්ණ ආලේප කිරීම අලංකරණය යන රාමුව තුළට පැමිණෙන බැවින් මෙයට ධර්මානුකූලව තහනමක් තිබේ දැයි සොයා බැලිය යුතුය. නමුත් මෙම ක්‍රියාව කිසිඳු අයුරකින් ධර්මයට පටහැනි වන්නේ නැත. එබැවින් නොපැසුණු හිස කෙස් වලට ද වර්ණ සායම් ආලේප කිරීම ධාර්මිකව වරදක් නොවේ. එය ධර්මයේ අනුමත ක්‍රියාවකි.