නොනිවෙන ආලෝකය

නොනිවෙන ආලෝකය

වර්තමානයේ අප රට තුළ අති බහුතරයක් ජනතාව විසින් කථාවට බඳුන් වී තිබෙන ප්‍රස්තුතය වන්නේ මුස්ලිම් ජනතාව සිය ප්‍රාණයටත් වඩා ප්‍රේම කරන්නා වූ ඉස්ලාම් දහමේ ප්‍රධානතම ධාර්මික මූලාශ්‍රය වන පරිශුද්ධ වූ අල් කුර්ආනයයි.

පරිශුද්ධ වූ අල් කුර්ආනය මානව සංහතියට අහිතකර ධර්ම ග්‍රන්ථයක් වන බවත් ශ්‍රී ලංකාව තුළ එය තහනම් කළ යුතු බවත් ඇතැම් අන්තවාදීහු කිසිඳු දැනුමක් නොමැතිව විවේචනය කරති. සැබවින් ම පරිශුද්ධ වූ අල් කුර්ආනය යනු කුමක් දැයි වටහාගත් කෙනෙක් මෙසේ විවේචනය කරන්නේ නැත. එසේ විවේචනය කරන්නට කිසිඳු ඉඩ ප්‍රස්තාවක් පරිශුද්ධ වූ අල් කුර්ආනය ලබා දෙන්නේ ද නැත.

එසේ නම්, මෙතරම් දුරට අල් කුර්ආනය විවේචනයට බඳුන් වීමට හේතුව කුමක් දැයි ඇතැම්හු කල්පනා කළ හැකිය. එයට විවිධ හේතු පවතී. ඉන් ප්‍රධානතම හේතුව වන්නේ ලෝකවාසී ජනතාවගෙන් අති බහුතරයක් ජනතාව ආධ්‍යාත්මික ජීවිතයේ මෝක්ෂය ලැබීමට මග පෙන්වන එකම ධාර්මික මූලාශ්‍රය වශයෙන් පරිශුද්ධ වූ අල් කුර්ආනය පිළිගැනීමයි.

වත්මන් ලෝක ජනගහනයෙන් බහුතරයක් ම ජනතාව අනුගමනය කරන දහම ඉස්ලාම් දහමයි. ලෝක මුස්ලිම් ජනගහනය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර වසර 2050 වන විට ලෝක ජනගහනයේ ක්‍රිස්තියානි ජාතිකයින්ට සමාන ජන ප්‍රතිශතයක් මුස්ලිම් වරු දරන බව ආගමික හා පොදු ජන ජීවිතය පිළිබඳ පර්යේෂණය කරන පිව් සංවිධානය පවසයි.

මේ හේතුව නිසා ම ඉස්ලාම් විරෝධී මත වාදයක් ගොඩ නගා එතුළින් මුස්ලිම් ජන ගහනය හා එහි වර්ධන වේගය සීමා කරන්නට ඇතැම්හු දැවැන්ත උත්සහයක නිරත වෙති. එකී උත්සහය සාර්ථක කර ගන්නට අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී අදහස් දරන අය කුමන්ත්‍රණකාරී ලෙස ඉස්ලාම් දහම පිළිකුල් කරවීමට පරිශුද්ධ වූ අල් කුර්ආනයට, නබි නායක (සල්) තුමාණන්ට හා මුස්ලිම් ජන සමාජයට එරෙහිව පදනම් විරහිතව චෝදනා එල්ල කිරීමත් ඉස්ලාම් විරෝධී ආකල්පයක් මුස්ලිම් නොවන ජනතාව අතර වැපරවීමත් සිදු කරති. මෙතුළින් ඉස්ලාම් දහමේ ආලෝකය නිවා දමන්නට අපේක්ෂා කරති.

ජන සන්නිවේදන මාධ්‍යයන් පවා මේ සඳහා නොමසුරු දායකත්වය ලබා දෙමින් සිටිති. ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු වාර්තා කරනවා වෙනුවට ඇතැමුන්ගේ පටු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන අත කොළුවන් බවට ඇතැම් ජන සන්නිවේදන මාධ්‍යයන් පත් වී ඇත. දේශීය හා විදේශිය මාධ්‍යකරුවන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාමෝෆෝබියාව පතුරුවන්නට වෙර දරති. වරදක් සිදු කරන පුද්ගලයා ගැන පුවත් වාර්තාකරණයේ දී ජන මාධ්‍යය විසින් අදාළ වරද සමඟ මුස්ලිම් නමැති පදය හෝ ඉස්ලාම් නමැති පදය එකතු කරන්නට අමතක නොකරන්නේ මාධ්‍ය සදාචාරයත් අචාර ධර්ම පද්ධතියත් හෘද සාක්ෂියත් උකසට තබමිනි. “මුස්ලිම් සොරෙක් සොරා කයි. මුස්ලිම් ජාතික කුඩු ව්‍යාපාරිකයා නීතියේ රැහැනට කොටු වෙයි” යනාදී වදන් ලියන්නට කතුවරුන්ගේ පෑන එසවෙන්නේ අනෙක් ජාතිකයින් හා ආගමිකයින් එකී වැරදි නොකරන බව නොදැන නොවේ. එයට එකම හේතුව ඉස්ලාම් හා මුස්ලිම් යන පද ජනතාවට පිළිකුල් කරවන්නට වෑයම් දැරීමයි.

මේවා සදාචාරාත්මක ක්‍රම වේද නොවේ. ආගමක් දහමක් ජනතාව පිළි ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ එහි ධාර්මික කරුණු විචාරාත්මකව විශ්ලේෂණය කිරීමෙන් සිදු විය යුතු වනවා මිස ඒ ධර්මය කෙරෙහි අපවාද, මුසාවාද ගෙතීමෙන් සිදු නොවිය යුතුය.

සමස්තයක් වශයෙන් ගත් කල ලොව පුරා ඉස්ලාම් දහම විනාශ කරන්නට ඉස්ලාම් විරෝධීන් විසින් ක්‍රියාත්මක කරන ලද ඉහත සඳහන් ක්‍රම වේදය තුළින් ඉස්ලාම් දහමට හෝ මුස්ලිම් ජන සමාජයට හෝ කිසිඳු අවාසියක් සිදු වී නැත. එය දිනෙන් දින ඉස්ලාම් දහම වර්ධනය වන්නට හේතුවක් වූවා මිස ඉස්ලාම් විරෝධී ආකල්ප ඉන් බිහි වූයේ නැත.

උදාහරණයක් වශයෙන් ගත් කල, 2001 වසරේ සැප්තැම්බර් මස 09 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටි නිවුන් ගොඩනැගිල්ලට ඇතැම් ත්‍රස්තවාදීන් පහර දුන් විගස එය ඉස්ලාම් හා මුස්ලිම් ජනතාවගේ ගිණුමට බැර කරන්නට අධිරාජ්‍යවාදීහු උත්සහ දැරූ හ. නමුත් එහි ප්‍රතිඵලය වූයේ වර්තමානය වන විට ඇමෙරිකාවේ වේගයෙන් පැතිරෙන ධර්මය බවට ඉස්ලාම් දහම පත් වීමයි. මෙකී ඉරණම ඉස්ලාමයට එරෙහිව ශීත යුද්ධ කරන සියලු රට වලට පොදු වූවකි.

දෙවනුව ඉස්ලාම් දහම විවේචනයට බඳුන් වන්නට හේතුව ඉස්ලාම් පිළිබඳ මුස්ලිම් නොවන ජනතාව සතුව පවතින දුර් අවබෝධයයි. ඇතැම් විට මුස්ලිම් ජනතාවගේ ක්‍රියා කලාපය නිසා හෝ හැසිරීම් රටාව නිසා හෝ එසේ වැරදි වැටහීම් ඇති වන්නට ඉඩකඩ තිබිය හැකිය. නමුත් කිසිසේත් ම එයට ඉස්ලාමීය ධාර්මික ඉගැන්වීම් හේතු පාදක නොවන බව ඔවුහු අවබෝධ කරගත යුතුය. මෙවැනි තත්ත්වයේ පසු වන අය හුදෙක් ම විවේචනයට කාල වේලාව වැය කරනවාට වඩා කරුණු අවබෝධය සඳහා කාල වේලාව වැය කිරීම නුවණක්කාර විසඳුමකි.

කෙසේ නමුත් මුස්ලිම් වරු වශයෙන් අපටත් ඉස්ලාම් දහම නිවැරදිව ජනතාවට අවබෝධ කර දීම පරම යුතුකමක් වන බව අපි අමතක නොකළ යුතුය. එසේ අවබෝධ කර දීමට මුස්ලිම් ජනතාව පසුබට වන බව මුස්ලිම් නොවන ජනතාව සිතමින් සිටිති. සැබවින් ම කරුණු අවබෝධ කර දීමට කිසිඳු පසු බට වීමක් නැත. එයට බාධාවක් වී ඇත්තේ භාෂාමය දුර්වලතාවය පමණි. ඉස්ලාමයේ ප්‍රධානතම ධර්ම ග්‍රන්ථය වන පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ප්‍රථම සිංහල පරිවර්තනය වසර 1961 දී එළිදක්වනු ලැබුවත් සරල හා වටහා ගැනීමට පහසු වන අයුරින් එය පිහිටා නොතිබුණි. එනිසා සිංහල ජන සමාජයට නිවැරදි ලෙසින් ඉස්ලාම් දහමේ හරය දැනගත නොහැකි විය. ඒ හේතුවෙන් ම සිංහල හා මුස්ලිම් ජන සමාජ අතර අති විශාල ඉඩැසක් මතු වන්නට පටන් ගැණින. නමුත් එකී ඉඩැස ශුන්‍ය කරන්නට තව්හීද් ජමාඅත් සංවිධානය හරහා පහසුවෙන් වටහාගත හැකි සරල, නිවැරදි හා සවිස්තරාත්මක සිංහල පරිවර්තනයක් හා අර්ථ කථනයක් සකස් කරන්නට හැකියාව ලැබී ඇත. මෙතුළින් පරිශුද්ධ වූ අල් කුර්ආනය ගැන සිංහල ජන සමාජයට යම් අවබෝධයක් ලබා ගත හැකි වන අතර අනවශ්‍ය කැලඹිලිසහගත තත්ත්වයන් මර්ධනය කර ගෙන ජාතික සංහිඳියාව ශක්තිමත් කරන්නට බෙහෙවින් ම එය උපකාරී වනු ඇත.

වත්මනේ අප රට තුළ එක් පැත්තකින් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සිංහල පරිවර්තන බෙදා හැරීමක් සිදු වන අතර තවත් පැත්තකින් ඇතැමුන් විසින් බොහෝ සෙයින් විවේචනයට ලක් වේ. විවේචකයින් කුර්ආනය ගැන දැනුමක් නොමැතිව විවේචනය කරන බැවින් කුර්ආන් පරිවර්තන බෙදාහැරීමක් සිදු වනවා ද? එසේ නැතිනම් විවේචකයින්ගේ විවේචන වලට සරිලන පිළිතුරු හා විග්‍රහයින් රහිතව කුර්ආන් පවරිවර්තන පවතින නිසා විවේචකයින් දරුණු වනවා ද? යන කාරණාව ද පරස්පර කාරණාවක් වූවත් හොඳින් සිතා බලා කටයුතු කළ යුතු වැදගත් කරුණකි.

පරිශුද්ධ වූ අල් කුර්ආනය දේව ධර්ම ග්‍රන්ථයකි!!!

ප්‍රථමයෙන් පරිශුද්ධ වූ අල් කුර්ආනය යනු කුමක් දැයි අපි කව්රුත් දැනගත යුතුය. ඒ පි‍‍‍‍‍‍ළිබඳව නිසි අවබෝධයක් නොමැතිව අත්තනෝමතිකව එයට විරුද්ධ නොවිය යුතුය. එබැවින් මෙහි දී ඒ ගැන කෙටියෙන් පැහැදිලි කිරීම අතිශයින් ම වැදගත් යැයි සිතමි.

පරිශුද්ධ වූ අල් කුර්ආනය යනු අති උතුම් හා සර්ව බලධාරී දෙවියන් වන අල්ලාහ් විසින් ලොව අවසාන ධර්ම දූතයාණන් වන මුහම්මද් නබි තුමාණන්ට පහළ කරන ලදුව, එතුමාණන් හරහා ජනතාවට තිළිණ වූ වසර විසි තුනක දේව පණිවුඩ වල එකතුවක් වන බව ඉස්ලාමීය විශ්වාසයයි.

එහි නබි නායක (සල්) තුමාණන්ගේ කථා වලින් එකදු වගන්තියක් හෝ සඳහන් නොවන බව පරිශුද්ධ වූ අල් කුර්ආනය ම පැහැදිලිව ප්‍රකාශයට පත් කරයි. එබැවින් එය මිනිස් අදහස් මිශ්‍රිත ග්‍රන්ථයක් නොවේ. එය සර්ව ප්‍රාකාරයෙන් ම දෙවියන්ගේ ම වචන වලින් පහළ වූ ධර්ම ග්‍රන්ථයකි.

وَإِذَا تُتْلَى عَلَيْهِمْ آَيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآَنٍ غَيْرِ هَذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِنْ تِلْقَاءِ نَفْسِي إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ (15) سورة يونس

අපේ පැහැදිලි වැකි ඔවුනට ප්‍රකාශ කරනු ලබන විට “මෙය නොවෙන වෙනත් කුර්ආනයක් ගෙන එන්න. නැතහොත් මෙය වෙනස් කරන්නැ”යි අප හමුවීම ගැන විශ්වාස නොකරන්නෝ පවසති. “මාගේ සිය කැමැත්තෙන් මෙය වෙනස් කිරීමට මට කිසිඳු බලයක් නැත. මට දැනුම් දෙනු ලබන දේ මිස අන් කිසිවක් මම අනුගමනය නොකරමි. මාගේ දෙවියන්ට මම පටහැනි වූයෙමි නම් ඉමහත් දිනක වේදනාවට මම බිය වෙමි”යි (මුහම්මද්,) පවසන්න.

අල් කුර්ආන් 10:15

(මෙම අදහස දරන තවත් වැකි කිහිපයක් ම ඇත. අල් කුර්ආන් 10:15, 10:37, 38, 11:13, 11:35, 16:101-103, 69:44-46 බලන්න.)

වර්තමානයේ ජීවත් වන විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් දරන කෙනෙක් ප්‍රකාශ කරන මත වලට වඩා විශිෂ්ට ලෙස පරිශුද්ධ වූ අල් කුර්ආනය කරුණු සඳහන් කිරීමත් නබි නායක (සල්) තුමාණන්ගේ කාල වකවානුවත් සමඟ සමගාමී ව කල්පනා කර බලන කාටත් මෙය මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ස්වකීය වචනයක් විය නොහැකිය. අතීතය, වර්තමානය, අනාගතය යන තුන් කාලය ගැන ම අවබෝධ කර ගත් සර්වඥ දෙවියන්ගේ වචනයක් ම විය යුතුය යන නිගමනයට එළඹීමට සිදු වනු ඇත.

විද්‍යාව හා නූතන සොයා ගැනීම් පමණක් නොව පරිශුද්ධ වූ අල් කුර්ආනය ප්‍රකාශ කරන දේශපාලන නීතිය, අපරාධ හා සිවිල් නීතිය ගැන යම් කෙනෙක් පර්යේෂණය කළේ නම් අද ලොව පුරා පවතින සියලූ නීති වලට වඩා එය විශිෂ්ට ව දිදුළන බවත් මානව සංහතියට බොහෝ ප්‍රයෝජනවත් වන අයුරින් පිහිටා තිඛෙන බවත් නියත වශයෙන් ම දැන ගනු ඇත. මුස්ලිම් නොවන අය පවා පරිශුද්ධ වූ අල් කුර්ආනය ප්‍රකාශ කරන නීති ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීම් කරන තරමට පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසන නීතිය නැණවත් ව හා කාලෝචිත ව පිහිටා ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ළමා අපයෝජන පිළිබද ගැටළුවට හා මිනිස් ඝාතන ගැටළුවට ෂරීආ නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි විද්වත්හු හා මහජන නියෝජිතයෝ පවා ප්‍රසිද්‍ධියේ ප්‍රකාශ කරති.

නොයෙකුත් නීති රීති, සිරිත් විරිත්, පළපුරුදු හා අත් දැකීම් පර්යේෂණය කර විවිධ නීති විශාරදයින් විසින් බිහි කළ විශිෂ්ට යැයි සම්මත නීති වාර්ෂිකව සංශෝධනය වෙමින් තිබිය දී දේව නීතිය යැයි මුහම්මද් නබි (සල්) තුමාණන් හඳුන්වා දුන් නීති බොහෝ අය විසින් පිළිගනු ලැබීම පරිශුද්ධ වූ අල් කුර්ආනය දේව ධර්ම ග්‍රන්ථයක් වන බව තහවුරු වේ. දේව ධර්ම ග්‍රන්ථයක් තුළ ආත්මාර්ථයන් තිබිය නොහැකිය. අයුක්තියක් අසාධාරණයක් තිබිය නොහැකිය.

පරිශුද්ධ වූ අල් කුර්ආනය මානව හිතවාදයට එරෙහි ධර්මයක් ද?

මෙතරම් වටිනා ධර්ම ග්‍රන්ථයක් වන අල් කුර්ආනය අන්තවාදී යැයි ද මානව හිතවාදයට එරෙහි වන්නක් යැයි ද ජිහාද් නමින් මුස්ලිම් නොවන ජනතාව ඝාතනය කරන්නට අණ කරනවා යැයි ද මන්ද අවබෝධයක් සහිත ඇතැම්හු විවේචනය කරති. නමුත් ලොව ප්‍රකට සත්‍යයක් වන්නේ ඉස්ලාම් දහම සාමකාමී ධර්මයක් යන්නයි.

පරිශුද්ධ වූ අල් කුර්ආනය ජිහාද් යන නාමයෙන් ඉවක් බවක් නොමැතිව මිනිස් ඝාතන සිදු කරන මෙන් කිසිවිටෙක අණ කළේ නැත. ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩ නගන්නට අවි ආයුද අතට ගෙන සන්නද්ධ අරගල පවත්වන්නට පෙළඹවූයේ ද නැත.

අනුන්ගේ ජීවිත පූජනීය කොට සලකන මෙන් අල් කුර්ආනය නියම කර ඇත.

مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ (32) سورة المائدة

මිනී මැරුමකට දඬුවමක් ලෙසින් මිස හෝ මහා පොළොවේ අවුල් වියවුල් පැතිරවීම සම්බන්ධයෙන් මිස හෝ අන් කෙනෙකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයා ම ඝාතනය කළා වූ කෙනෙක් මෙන් යනුවෙන් ද මිනිසෙකු ජීවත් කරවන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වූ කෙනෙක් මෙන් යනුවෙන් ද ඉස්රායීල්ගේ දරුවන්ට අපි නියම කළේ මේ හේතුවෙනි.

අල් කුර්ආනය 5:32

ඉහත අල් කුර්ආනීය වැකිය මනුෂ්‍ය ජීවිතයේ පුජනීයත්වය අවධාරණය කරන අතර සෑම කෙනෙකු ම අන් කෙනෙකුගේ ජීවිතය පුජනීය යැයි සලකා එය ආරක්ෂා කිරීමට සහය වීම අනිවාර්ය බව දන්වා සිටී.

අන් කෙනෙකුගේ ජීවිතයට හානි කරන්නෙක් එම ජීවිතක්ෂයට පත් පුද්ගලයාට අයුක්තියක් කළා පමණක් නොව තමන්ට මිනිස් ජීවිතයේ පූජනීයත්වය පිළිබඳ කිසිඳු හැඟීමක් නොමැති බවත් තමන් තුළ කිසිඳු දයාලූභාවයක් නොමැති බවත් ඉන් ප්‍රදර්ශනය කරයි. එනිසා ඔහු නිසැකයෙන් ම මුළු මිනිස් සංහතියේ ම සතුරෙක් යැයි අල් කුර්ආනය පවසයි. අනෙක් අතට යමෙක් එකදු මිනිස් ජීවතයක් පවා ආරක්ෂා කිරීමට සහය වන්නේ ද ඔහු සියලු මිනිස් සංහතියේ ම අනුග්‍රාහකයෙක් වේ. මන්දයත් මිනිස් ජීවිතයක වටිනාකම දැන සිටියි. සියලු මනුෂ්‍ය වර්ගයා ම ආරක්ෂා කිරීමේ උතුම් ගුණය ඔහු තුළ පවතී.

නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ ද මුස්ලිම් නොවන ජනතාව සමඟ මුස්ලිම් වරු සංහිඳියාවෙන් ජීවත් වූහ. එතුමාණන් රාජ්‍ය නායකයෙක් වශයෙන් සමස්ත ලොවේ තුනෙන් කොටසක් පාලනය කරද්දී ඒ පාලනය යටතේ ක්‍රිස්තියානි ජාතිකයින්, යුදෙව් ජාතිකයින් හා ප්‍රතිමා වන්දනාකරුවෝ ජීවත් වූ හ. කිසිදාක නබි නායක (සල්) තුමාණන් තම පාලන කාලය තුළ මුස්ලිම් නොවන ජනතාව සමූල ‍ඝාතනය කරන්නැයි අණ කළේ නැත. සුළු ජාතිකයින් වූ මුස්ලිම් නොවන ජනතාවට ආගමික නිදහස එතුමාණන් පිරිනමා සිටිය හ.

රාජ්‍ය නායක නබි නායක (සල්) තුමාණන්ගේ මෙහෙකරුවෙක් වශයෙන් එතුමාණන්ට ආවතේව කළේ යුදෙව් ජාතික තරුණයෙකි. මුස්ලිම් වරුන් මුලිනුපුටා දමන්නට කවර මොහොතේ හෝ තමන්ට අවස්ථාවක් උදා නොවේ දැයි මාන බලමින් සිටි යුදෙව් ආගමිකයින්ගෙන් කෙනෙක් නබි නායක (සල්) තුමාණන්ට මෙහෙකරුවෙක් වූයේ එතුමාණන් ජාතිවාදී නොවූ නිසාවෙනි. මෙය නබි නායක (සල්) තුමාණන්ගේ මානව හිතවාදයට එක් ‍නිදසුනක් පමණි.

ඉස්ලාම් දහම නොනිවෙන ආලෝකයකි!!!

මේ සියල්ල වුවමනාවෙන් ම වසන් කර ඉස්ලාම් දහමේ වර්ධන වේගය සීමා කරන්නට ඇතැම්හු උත්සහ දරති. නමුත් ඉස්ලාම් යනු නොනිවෙන ආලෝකයක් වන බව ඔවුන් වටහාගත යුතුය. ඈත අතීතයේ පටන් විවිධ ආගමිකයින්, විවිධ දාර්ශනිකයින් හා විවිධ කැරලිකරුවන් විසින් ඉස්ලාමීය පහන නිවන්නට නොයෙකුත් වෑයම් දරා ඇත. සමාජ පවිත්‍රකරණය නමැති අමානුෂිකම ප්‍රයත්න පවා දරා ඇත. නමුත් ඉස්ලාම් දහම මිහිපිටෙන් තුරන් කරන්නට කිසිඳු ජගතෙකුට හැකි වූයේ නැත.

يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ (32) هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ (33) سورة التوبة

අල්ලාහ්ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දැමීමට ඔවුහු අදහස් කරති. (තමා) ප්‍රතික්ෂේප කළ අය පිළිකුල් කළත් අල්ලාහ් තම ආලෝකය පරිපූර්ණ නොකර සිටින්නේ නැත. සමානයන් කල්පනය කරන්නන් පිළිකුල් කළත් සියලු ධර්මයන් අබිබවා යනු පිණිස යහ මඟ හා සත්‍ය ධර්මය සමඟ තම දූතයා එව්වේ ඔහු ය.

අල් කුර්ආන් 9:32,33

සර්ව බල දෙවියන්ගේ ආශිර්වාදය ඇති එකම ධර්මය ඉස්ලාම් දහම වන බැවින් එය කිසිවෙකුට අවියෙන් හෝ බලයෙන් හෝ මතවාදයෙන් ජයගත නොහැකි වන බව දේව පොරොන්දුවකි. එබැවින් ඉස්ලාම් දහම සැමදා නොනිවෙන ආලෝකයක් ලෙස ලෝකවාසීන් අඳුරෙන් එළියට යුගාන්තය දක්වා ම මහ ජනයාට මග පෙන්වමින් සිටිනු ඇත.