මිනිසා ආධ්‍යාත්මිකව පෝෂණය කරන පරිශුද්ධ වූ අල් කුර්ආනය

මිනිසා ආධ්‍යාත්මිකව පෝෂණය කරන පරිශුද්ධ වූ අල් කුර්ආනය

අල්ලාහු තආලා මෙම විශ්වය තුළ මිනිස් සංහතිය මවා ඔවුන් කෙබඳු ආකාරයෙන් ජීවත් විය යුතු දැයි මග පෙන්වීමට නබි  (සල්) තුමාණන් මාර්ගයෙන් අල් කුර්ආනය අප හට මඟ පෙන්වීමක් ලෙස පහළ කර ඇත. නබි (සල්) තුමාණන්ට පෙර බොහෝ ධර්ම දූතවරුන් එවනු ලැබූහ. නමුත් ඔවුන් සීමිත ජන කොට්ඨාශයකට පමණක් මග පෙන්වන්නන් ලෙස එවනු ලැබූහ. ඔවුනොවුන්ගේ භාෂා වලින් මිනිස් සංහතිය යහමග පෙන්වීමට අල්ලාහු තආලා ඔවුන්ට දේව පණිවිඩ ලබා දුන්නේ ය.

 අල්ලාහු තආලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසයි.

 " කවර දූතයෙකු වූවත් ඔහු තම ජන සමාජයට  පැහැදිලි කර ප්‍රකාශ කරනු පිණිස එම ජන සමාජයේ බසින් ම අපි එවීමු."

අල් කුර්ආන්14:04

එනමුත් නබි (සල්) තුමාණන් මීට පෙර පැමිණී නබිවරුන් සමඟ සසඳන කල්හි හාත් පසින් ම වෙනස් ය. මුළු ලොවට ම ධර්ම දූතයෙකු වශයෙන් නබි  (සල්) තුමාණන් එවනු ලැබූහ. එතුමාණන් හට පිරිනමන ලද අල් කුර්ආනය නැමැති ධර්ම ග්‍රන්ථය අවසන් මුළු මිනිස් සංහතියට ම දේව පණිවිඩයක් වශයෙන් පහළ කරන ලදී.

 " සෑම ධර්ම දූතයෙක් ම ප්‍රාතිභාර්යයන් සමඟ  එවනු ලැබීය. මට පිරිනමන ලද ප්‍රාතිභාර්යය පරිශුද්ධ වූ  අල් කුර්ආනයයි" යනුවෙන් නබි  (සල්) තුමාණන් පැවසූ හ.

මූලාශ්‍රය : බුහාරි(4981 ; 7274)

 නබි  (සල්) තුමාණන්ගේ කාල වකවානුවේ ජීවත් වූ ජනතාව අය්යාමුල් ජාහිලියියා නැමැති අනුවණ කාලයේ ජනතාවක් වශයෙන් ජීවත් වූ හ. ඔවුන් නොයෙකුත් මිත්‍යා විශ්වාසයන්හි ගිලී සිටියහ. මෙවැනි තත්වයන්  දැක පිළිකුල් කළ නබි නායක  (සල්) තුමාණන් සිය හතළිස් වන වියේ දී මක්කමේ පිහිටා ඇති හීරා නම් වූ ගුහාවේ තම නොසන්සුන්තාවය සංහිඳවා ගැනීමට ගිය හ. එහි ගොස් හුදකලාවේ සිටිමින් සිතන්නට පටන් ගත්හ. දින ගණනාවක් මේ ආකාරයෙන් ජීවත් වූ නබි  (සල්) තුමාණන්ට ජිබ්රීල් නැමැති සූර දූතයෙකු පහළ වී දේව පණිවුඩ දන්වන්නට පටන් ගත්තේ ය.

 එතැන් පටන් වසර 23 ක කාලයක් පුරාවට ටිකෙන් ටික අවස්ථානුකූලව අඛණ්ඩව අල් කුර්ආන් වැකි පහළ වන්නට විය. නබි  (සල්) තුමාණන් ප්‍රථමයෙන් කවර ජන සමාජයක ජීවත් වූයේ ද ඒ සමාජයේ ජීවත් වූ ජනතාව කියවීමට හෝ ලිවීමට නොදන්නා ජන සමාජයක් විය. එම සමාජයට අල් කුර්ආනය අල්ලාහු තාආලා පහළ කළේ ය. තවද අල් කුර්ආන් වැකි මහත් පරිශ්‍රමයක් දරා ජනතාවට පැහැදිලි කළහ.

 පරිශුද්ධ වූ අල් කුර්ආනය සමස්ත වශයෙන් එක ම දිනක දී හෝ කෙටි කාලයක් තුළ දී පහළ නොවීය. අවස්ථානුකූලව මිනිස් සංහතියට යහමක පෙන්වීමට ක්‍රම ක්‍රමයෙන් පහළ විය. එසේ පහළ අල් කුර්ආන් වැකි එක් සීමිත කාලයකට පමණක් පහළ වූ වැකි නොවේ. මිහිපිට මනුෂ්‍ය වර්ගයා ජීවත් වන සියලු කාල වලට පහළ වූ අති ශ්‍රේෂ්ඨ මඟපෙන්වීමකි, පරිශුද්ධ වූ අල් කුර්ආනය.

 

 

ධර්ම දූතවරුන් අතරින් අවසන් ධර්ම දූතයාණන් නබි  (සල්) තුමාණන් ය. එතුමාණන් ට පසුව ලෝක විනාශය දක්වා ධර්ම දූතවරු එවනු ලබන්නේ නැත. එවැනි දූතයෙකුට අල් කුර්ආනය එවා මිනිස් සංහතියට පැහැදීලි කරන ලෙස අල්ලාහ් මෙම පරිශුද්ධ වූ අල් කුර්ආනය එවීය. මෙම වැකි නබි  (සල්) තුමාණන් පැහැදිලි කිරීමකින් පමණක් නොනවත්වා එතුමාණන්ගේ ජීවිතයේ ඒ දහම් පණිවිඩයට අනුව ආදර්ශමත් ලෙස ජීවත් වී පෙන්වූ හ. නබි  (සල්)  තුමාණන්ගේ කාලයේ ජීවත් වූ නොයෙකුත් මිත්‍යා විශ්වාසයන්හි ගිලී සිටී සමාජයේ

 

 * නිරුවත්ව දෙවියන් නමස්කාර කළහ.

 * සරාගී සැණකෙළි වල ගිලී සිටියහ.

 * කාන්තාවන් තිරිසනුන් සේ සැළකූහ. 

 * කුල භේදය බහුලව පැතිරී ගොස් තිබුණි.

 * මිනිස් ඝාතනය සිදු කිරීම

 

යන වැරැදි ක්‍රියාව ඉතා සාමාන්‍ය වරදක් සේ පවා ඔවුනට හැඟුණේ නැත. සුළු හබයකටත්  මිනිස් ඝාතනය සිදු කළහ. පොලිය සුලබව තිබිණි.  මෙවැනි සියලු ම ගැටලු වලට පිළිතුරක් ලෙස සත්‍ය වූ අල් කුර්ආනය මෙලොවට පහළ විය.

 එපමණක් නොව  එක් මනුෂ්‍යයෙකු  ලොව තුළ තිරිසනෙකු සේ ජීවත් නොවී යහපත් මිනිසෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය සියලු ම පූර්වාදර්ශයන් මෙම පරිශුද්ධ වූ  අල් කුර්ආනයේ විස්තරාත්මකව සඳහන් වී ඇත.

 උදාහරණයක් වශයෙන් රමළාන්  මාසයේ මුස්ලිම්වරුන්ට අනිවාර්ය වූ සව්මය නම් වූ උපවාසය ගතහොත් එම උපවාසය තුළින්  එක් මිනිසෙකු ගේ බිය බැතිය, ඉවසීම වැනි බොහෝ යහ ගුණාංග මිනිසෙකු තුළ පෝෂණය වන පරිදි මෙම උපවාසය  අල්ලාහු තආලා නියම කර ඇත.  එපමණක් නොව එම රමළානයේ දී අප කෙබදු  ආකාරයෙන් වැඩ කටයුතු කළ යුතු ද යනුවෙන් අල් කුර්ආනයේ අල්ලාහු තආලා සවිස්තරාත්මකව පෙන්වා දී ඇත.

 තවත් උදාහරණයක් ලෙස අපහට සලාතය ගත හැකිය. සලාතය යනු එකම දෙවියන් අල්ලාහ් හා ඔහුගේ වහලුන් අතර සිදු වන සම්භාෂණයකි. ඒ සම්භාෂණය දිනකට පස් වතාවක් සිදු කිරීම තුළින් ආධ්‍යාත්මික වශයෙන් මිනිසා දියුණු වන්නට මගක් ඉස්ලාම් ලබා දී ඇත. මන්දයත් ඒ සලාතයේ අරමුණ අයහපත් ගතිගුණ හා අශිෂ්ට සම්පන්න ක්‍රියාවන් මිනිසාගෙන් තුරන් කිරීමයි.

 (මුහම්මද්,) ධර්ම ග්‍රන්ථයෙන් ඔබට දැනුම දෙනු ලබන දේ ප්‍රකාශ කරන්න. සලාතය ඉටු කරන්න. සලාතය අශිෂ්ට සම්පන්න ක්‍රියාවන්ගෙන් ද අයහපතෙන් ද වළක්වයි. අල්ලාහ් සිහි කිරීම අති ශ්‍රේෂ්ඨ ය. නුඹලා කරන දේ ගැන අල්ලාහ් දනියි.

අල් කුර්ආන් 29:45

 පරිශුද්ධ වූ අල් කුර්ආනය මනුෂ්‍ය සංහතියට නිසි මඟ පෙන්වන්නකි. 

 හජ් වන්දනාව ගතහොත්  එහිදී අප සියලු දෙනාට ම බොහෝ වැදගත් කරුණු එයින් උගන්වා දෙනු ලැබේ. එනම්  එකමුතුකම, සමානාත්මතාව, කුල භේද, වර්ණ භේද හා භාෂා භේදය තුරන් කිරීම වැනි කරුණු හජ් වන්දනාව තුළින් මිනිසාට උගන්වා දෙනු ලැබේ.

  එබැවින් ධනයෙන් හා සෞඛ්‍ය මට්ටමෙන් ශක්තිය තිබෙන අයට හජ් අනිවාර්ය කරන බව අල්ලාහ් පවසයි.

 " එහි පැහැදිලි සාධක ද මකාමු ඉබ්රාහීම් ද ඇත. යමෙක් එහි ඇතුළු වුවහොත්  ඔහු අභය ලද්දෙකි අල්ලාහ් උදෙසා එම ගෘහයෙහි හජ් ඉටු කිරීම එහි යෑමට ශක්තිය ඇති මිනිසුන් කෙරෙහි අනිවාර්ය වේ. යමෙක්  (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළේ නම් අල්ලාහ් ලෝකවාසීන්ගෙන් අවශ්‍යතා වලින් තොර වු කෙනෙකි.

අල් කුර්ආන් 3:97

  එපමණක් නොව අල්ලාහ් තආලා අපහට සකාතය නිසි ලෙස පිරිනමන ලෙස පවසයි. එයට හේතුව වන්නේ පොහොසතුන් ධනය රැස්කර ගනිමින් සියලු සැප සතුට භුක්ති විඳිමින් තමන් පමණක් සරුසාරවත් ජීවතයක් ගත නොකර තම ධනයෙන් කොටසක් දුගී දුප්පත් ජනතාවට ද පිරිනමා ජීවිතයේ යථාර්ථවාදී බව අවබෝධ කරගත යුතුයැයි අල් කුර්ආනය පවසයි. ධනය හා සැප සතුට තමන්ට පමණක් නොව ප්‍රාණයක් තිබෙන සියල්ලන්ට ම අදාළ වන බව මෙයින් ධනවතුන් වටහා ගන්නා විට උඩඟුකම හා ආත්මාර්ථකාමිත්වය ඔවුන්ගෙන් තුරන් වී යනු ඇත.

 (මුහම්මද්,) ඔවුන්ගේ ධනයෙන් සදකාවක් ගන්න. එමගින් ඔවුන් පවිත්‍රකර පරිශුද්ධ කරන්න. ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. ඔබේ ප්‍රාර්ථනාව ඔවුනට ශාන්තියකි. අල්ලාහ් සවන් දෙන්නෙකි, සර්වඥයෙකි.

  අල් කුර්ආන් 9:5

 මෙවැනි යහ ගුණංගයන් උගන්වා දෙමින් මානව සංහතිය ආධ්‍යාත්මිකව ශිෂ්ටවත් කරන එකම ධර්ම ග්‍රන්ථය පරිශුද්ධ වූ අල් කුර්ආනයයි.

 පරිශුද්ධ වූ අල් කුර්ආනය පහළ වූයේ මෙවැනි හේතු සාධක මුල්කොට ගෙන ය. මිනිසෙකු හුදෙක් ම ලෞකික ජීවිතයේ මායාවන් වලට මුළා වී ඒ උදෙසා ම සිය කාල වේලාව සම්පූර්ණයෙන් වැය කරමින් අපතේ යනවාට වඩා, ලොව ජය ගැනීමේ අරමුණින් එකිනෙකා ඇණ කොටා ඝාතනය කරගෙන තමන් විසින් තමන්ගේ ම ජීවිතය විනාශ කරගන්නවාට වඩා මිනිසත්කම වටහාගෙන ජීවත් වීමට පරිශුද්ධ වූ අල් කුර්ආනය මෙවන් වූ ධාර්මික මග පෙන්වීමක් ලබා දෙයි.

 එමෙන් ම ආධ්‍යාත්මයේ නාමයෙන් මුළා වී සම්පූර්ණ ජීවිත කාලය ම ආධ්‍යාත්මයට යොමු කරමින් ගිහි ජීවිතය අත් හැර දමා තවුස් ජීවිතයක් ගත කරමින් තමන් විනාශ කර නොගෙන ලෞකික හා ආධ්‍යාත්මික යන දෙකරුණ ම එකිනෙකට මිශ්‍ර කරමින් පිවිතුරු ජීවන රටාවක් ගත කිරීමට මිනිසාට පරිශුද්ධ වූ අල් කුර්ආනය පහළ විය.