දේවස්ථාන (?) කාභාෂණය නැවත ඇරඹුණා ද?

දේවස්ථාන (?) කාභාෂණය නැවත ඇරඹුණා ද?

යහ පාලනයක් උදා වූ බවට උදම් අනමින්, සිහින දකිමින්, මදක් නිවී සැනසිල්ලේ මුස්ලිම් ජනතාව ජීවත් වන්නට පටන් ගත්තා පමණි. නැවතත් ඇතැම් භික්ෂුවරු තම රැඩිකල් ගති පෙන්වන්නට පටන් ගෙන ඇත. සුපුරුදු පරිදි සිය තපස් දිවියට තාවකාලික විරාමයක් ලබා දී ඇත.

පොලොන්නරු දිස්ත්‍රික්කයේ කදුරුවෙල ප්‍රදේශයේ, ගිරිතල, හතමන, නුගගහදමන ගම්මානයේ මුස්ලිම් ජනතාවගේ පුණ්‍යායතනයක් ලෙස ඉදිකරමින් පැවැතුණු ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරන්නට ප්‍රදේශයේ භික්ෂුවරු කිහිප නමක් බලපෑම් කිරීමේ සිද්ධියක් පසුගිය දින වලදී වාර්තා වී ඇත.

නුගගහදමන ගම්මානය හිගුරක්ගොඩ සිට කි.මී. 7ක් දුරින් පිහිටි ගම්මානයකි. හිගුරක්ගොඩ ප්‍රදේශවාසීන් දහම් නුවණින් පෝෂණය වී ඇත්තේ මුස්ලිම් ජනතාවට ඉඩම් අලෙවි නොකරන, ගනුදෙනු නොකරන මානසිකත්වයකිනි. කෙසේ වෙතත් ඒ මහත්මා (?) ගති ගුණ නුගගහදමන ජනතාවට විතැන් වූයේ කෙසේ ද යන්න ගැන සිතා බැලිය නොහැකිය. මන්දයත් නුගගහදමන ප්‍රදේශයේ සියවස් ගණනක් පුරා මුස්ලිම් ජනතාව ජීවත් වෙමින් සිටිති.

නුගගහදමන ගම්මානයේ දැනටමත් මුස්ලිම් ජනතාවට දේවස්ථානයක් තිබෙන අතර තම දේවස්ථානයට අමතරව මුස්ලිම් දරුදැරියන්ට දහම් අධ්‍යාපනය උගන්වන ආගමික ස්ථානයක් ඉදිකිරීමට අදිටන් කරගෙන පොදු අරමුදලින් මිල දී ගත් ඉඩමක ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටින විට එහි ගොඩ වූ ස්වෙච්ඡා සේවක (?)  භික්ෂූ පිරිසක් වහාම අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස මොර ගසමින් බලපෑම් කර ඇත.

ඒ මොරගැසිලි වලට බියට පත් වී ප්‍රදේශයේ මුස්ලිම් නායකවරු ම (?) ලහි ලහියේ ගොඩනැගිල්ලේ ගඩොල් ඉවත් කර ඇත්තේ ජාතික සංහිදියාව (?) සනිටුහන් කරන්නට සිතා ගෙන යයි ඒ ගම්මානයේ මුස්ලිම්වරු පවසති. නමුත් මෙය ජාතික සංහිදියාව ද නැතිනම් බියගුළුකමක් ද යන්න ප්‍රශ්නාර්ථයකි.

මෙම සිද්ධිය තුළින් අපට දැනගන්නට තිබෙන කරුණු රැසකි.

තවමත් බහු ආගමිකයන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනැගී නොමැත. එක් ආගමකට අයත් දේවස්ථානයක් හෝ ආගමික ස්ථානයක් හෝ පුණ්‍යායතනයක් හෝ කාර්යාලයක් හෝ තවත් ආගමක පිරිසක් විසින් ඉවත් කරන්නට හෝ අවහිර කරන්නට හෝ බාධා පමුණුවන්නට හෝ ඉදිරිපත් වීම ද්වේශයේ හෙළි දරව්වකි. එය සැබවින් ම සිය ආගමේ පරිහානිය ඉස් මතු කිරීමකි. මන්දයත් ආගමක සත්‍යාසත්‍යතාව තීන්දු කළ යුත්තේ එහි ඇතුලත් කරුණු කාරණා පදනම් කරගෙන මිස ප්‍රචණ්ඩකාරීව එය වල දමන්නට ප්‍රයත්න දැරීමෙන් නොවේ.

නීත්‍යානුකූල නොවන නිසා කඩන්නට කීවෙමු; එක ගම්මානයක එක දේවස්ථානයක් ප්‍රමාණවත් ය; සම්ප්‍රදායික මුස්ලිම්වරු අකැමැතිය යනාදී වශයෙන් චාටු බස් දොඩවන සිංහල අන්තවාදීන් අතලොස්සකගේ ක්‍රියා කලාපය හුදෙක් ම ආගමික දේශපාලනයක් වන බව සමස්ත බෞද්ධ ජනතාවට දැන් දැන් හොදින් වැටහී තිබුණ ද තවමත් අතලොස්ස ක්‍රියාකාරී වීම සිරි ලක් ජනතාවට මුහුණ දෙන්නට සිදු වී තිබෙන අභාග්‍යයකි.

මීට පෙර ඇතැම් අන්තවාදී මුස්ලිම් විරෝධී සංවිධාන මෙවැනි මුග්ධකම් ප්‍රදර්ශනය කළත් ඉන් කරන්නට සමත් දෙයක් නොවීය. මේ වග ඇස් පනාපිට ම දැක දැක නැවත එකී අඩි පාර දිගේ ම ගමන් කරන්නට ඇතැම්හු පටන් ගෙන ඇත්තේ මාර්ග ඵලය පිළිබදවත් නිසි දැනුමක් නොමැති නිසාවෙනි.

තම ප්‍රදේශයේ මතින් තෙත් වන්නට තැබෑරුම් හල් හරින විට, කාමයෙන් ආශ්වාද ලබන්නට ගණිකා මඩම් විවෘත කරන විට,  දිනකට ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකුගේ ජීවිත බිලි ගන්නා දුම් වැටිය කඩයක් කඩයක් පාසා අලෙවි කරන විට, අසභ්‍ය චිත්‍රපට ශාලා ගමක් ගමක් ගානේ විවෘත වන විට, හට නොගත් දේශමාමකත්වය, නීතිය හා ජාතිය පිළිබද හැගීම් මුස්ලිම් දේවස්ථාන බිහි වන විට ඉස් මතු වීම, හුදෙක් ම ජාතිවාදය නැමති මානසික රෝගය මිස අන් කිසිවක් නොවේ. අවිහිංසාවාදය පිළිබද වැඩි වැඩියෙන් කථා කරන අය ම අවිහිංසාවට එරෙහි වන බවත් අපි ප්‍රායෝගිකව දකින්නෙමු.

නමුත් ත්‍රස්තවාදී; අන්තවාදී යයි ලොව පුරා හංවඩු ගසනු ලබන ඉස්ලාම් දහම අන්‍යාගමිකයන්ගේ දේවස්ථාන පිළිබද දරන ස්ථාවරය ගැන මදක් විමසා බලන්න.

සර්වඥ දෙවියන් තම නැණවත් පුස්තකයේ මෙසේ පවසයි.

الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَنْ يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ (40) سورة الحج

 

අපේ දෙවියන් අල්ලාහ් ම යැයි ඔවුන් ප්‍රකාශ කළ බැවින් අයුක්ති සහගතව තමන්නේ නිවෙස් වලින් ඔවුහු නෙරපා දමනු ලැබූහ. අල්ලාහ් මිනිසුන්ගෙන් ඇතැමෙකු ලවා ඇතැමෙකු නොවැළැක්වූයේ නම් ආරාමයන්, දේවස්ථාන, සිද්ධස්ථාන සහ අල්ලාහ්ගේ නාමය අධිකව සිහි කරනු ලබන මස්ජිදයන් සුනු විසුනු කරනු ලැබ ඇත්තේ ය. තමාට උදව් කරන අයට අල්ලාහ් ද උදව් කරයි. අල්ලාහ් බලවතෙකි; අබිබවන්නෙකි.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 22 :  40

බහු වීධ ආගමිකයන් ජීවත් වන මෙලොවේ යහ සමගිය උදා කරවීම සඳහා වූ වැදගත් අනුශාසනාවක් මෙම වැකිය පවසයි.

සෑම ආගමිකයෙකුට ම ආගමික සිද්ධස්ථාන ඇත. ඔවුහු එAවා ඉතා ගෞරව කොට සලකති. නමුත් එක් ආගමකට අයත් ආගමික සිද්ධස්ථානයක් තවත් ආගමකට අයත් පිරිස ගෞරව කොට සලකන්නේ නැත. මෙය මනුෂ්‍ය ස්වභාවයයි.

ආගමික දෙපාර්ශවයක් අතර කල කෝලාහල ඇති වන විට ප්‍රතවිරුද්ධ ආගමිකයන්ගේ සිද්ධස්ථාන වලට ප්‍රහාර එල්ල කෙරේ. මෙවැනි තත්ත්වයක් උදා වන්නේ ජනතාව හුදෙක් ම පුහු හැගීම් වලට ප්‍රමුඛස්ථානය දී නැණ නුවණින් කල්පනා නොකිරීමේ ප්‍රතිවිපාකයක් වශයෙනි.

සෑම ආගමිකයෙක් ම තම ආගමික සිද්ධස්ථාන තම ධන දේපළ වලට වඩා අගය කොට සලකන නිසා තම ආගමික සිද්ධස්ථාන වලට ප්‍රහාර එල්ල වන විට එවැනි ප්‍රති ප්‍රහාර වලට යොමු වෙති.

එබැවින් අන්‍ය ආගමිකයන්ගේ ආගමික සිද්ධස්ථාන වලට එල්ල වන ප්‍රහාර සැබවින් ම අපගේ ආගමික සිද්ධස්ථාන වලට එල්ල වන ප්‍රහාර ලෙස පිහිටන බව අප අමතක නොකළ යුතුය.

~~නුඹලාගෙන් ඇතැමුන් මගින් ඇතැමුන් අල්ලාහ් නොවැළැක්වූයේ නම් පල්ලි ඇතළු සියලූ ආගමිකයන්ගේ ආගමික සිද්ධස්ථාන විනාශ කරනු ලැබේ~ යන නැණවත් මග පෙන්වීම මෙම වැකිය තුළින් අපට ලැබේ.

පන්සල් හෝ කෝවිල් හෝ ක්‍රිස්තියානි පල්ලි හෝ මුස්ලිම්වරුන්ගේ දෘෂ්ටි කෝණයෙන් සිද්ධස්ථාන නොවූවත් එAවාට ප්‍රහාර එල්ල කිරීමේ අයිතියක් අපට නොමැති බව හේතු සාධක සහිතව මෙම වැකිය පැහැදිලි කරයි.

ඉස්ලාම් මෙතරම් දුරට ආගමික සහජීවනය පිළිබද අවධාරණය කරයි. නමුත් ඉස්ලාම් විරෝධී ආකල්ප දරන අය මේ පිළිබදව සිතන්නට පසුබට වෙති.

මුස්ලිම් ජනතාව ද ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා බවක් අපට නොපෙනේ. දේවස්ථානයක් හෝ දහම් පාසලක් හෝ ආගමික ස්ථානයක් හෝ පුණ්‍යායතනයක් හෝ ඉදි කරන විට, එවැනි දෙයක් ඉදිකිරීම අවශ්‍ය ද? කාලීන ද? නීතිමය අවශ්‍යතාවන් මොනවා ද? යන්න පිළිබද ව කිසිදු සලකා බැලීමකින් තොරව ම අදාළ කටයුතුවල නියැලෙති. මේ ගැන කල්පනා නොකර කටයුතු කිරීමෙන් හට ගන්නා ප්‍රතිවිපාක වලට සමස්ත මුස්ලිම් ජාතිය ම දඩුවම් ලැබිය යුතුව ඇත.

දැනට පවතින දේවස්ථානය ප්‍රමාණවත් නම් තවත් දේවස්ථානයක් කුමටදැයි කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැත. එසේ ප්‍රශ්න කරන්නෙක් සිටියා නම් ඔහු මුස්ලිම් සමාජ ද්‍රෝහියෙක් වශයෙන් සලකනු ලබයි. අපට අවශ්‍ය කරන්නේ ප්‍රමාණාත්මක දේවස්ථාන නොව ගුණාත්මක දේවස්ථාව වන බව අප මුස්ලිම්වරු අවබෝධ කරන්නට යන්නේ කවරදා ද?

පවතින දේවස්ථානයේ නිසි කළමනාකරණයක් නැත. කුඩා ළමුන්ට නිසි දහම් පෝෂණයක් නැත. යුගයේ අවශ්‍යතාවට ගැලපෙන සංවර්ධනයක් නැත. තවමත් මළවුන් අදහන, සොහොන් කොත් අලංකාරවත් කරන, පරිපාලන කමිටු සහිත දේවස්ථාන අප සමාජය තුළ දක්නට ඇත.

නබි නායක (සල්) තුමාණන්ගේ අවවාදානුශාසනා වලට පටහැනිව නොයෙකුත් කටයුතු දහමේ නාමයෙන් සිදු කරන සිද්ධස්ථාන බවට අප දේවස්ථාන පත් වී ඇත. මේවා  දියුණු වන්නට නම් තවත් හත් මුතු පරම්පරාවක් ගත වේවි යැයි එකිනෙකාට කියා ගනිමින් හිටි තැන ම පල්වෙන තත්ත්වයක් අප දේවස්ථාන භාරකරුවන් වෙත අපි දකින්නෙමු. මෙම තත්ත්වය ද වෙනස් විය යුතුය.

එය කෙසේ වෙතත්, තවත් දේවස්ථානයක් බිහි වීම ආගමික නැණ නුවණ වැඩි කරන්නට දරන වෑයමකි. එයින් සදාචාරාත්මක හා සාර ධර්ම වලින් පිරුණු සමාජයක් ගොඩනැගේ. එයට එරෙහි වන අය මෙම මාතෘ භූමියට ද්‍රෝහී වන අය යන්නෙහි අබ මල් රේණුවක තරම්වත් සැකයක් නැත. ඒ තුළින් බිහිවන සමාජ උන්නතිය පිළි නොගන්නා කෙනෙක් සැබවින් ම ජාතිවාදී ය.

ගමකට ඒක දේවස්ථානයක් ප්‍රමාණවත් ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඒ ඒ ආගමිකයන් විසිනි. ඒ සදහා අදාළ බලධාරීන් හා අධිකාරියන් වෙත ගොස් අවසර ලබා ගැනීමත් ඊට සමගාමීව සිදු විය යුතුය. මේ හැර අන් කිසිවෙක් එයට මැදිහත් වීම අපට පිළිගත නොහැකිය. ජාතීන් අතර කල කෝලාහල වලට මුල පුරන්නේ මෙවැනි අධම ක්‍රියා කලාපයන් ය. ඇතැම්හු ජාතිමාමක යයි සිතා ගනිමින් චීවරයට මුවා වී දේශපාලනය කරති. ඒ ගැනත් අවංක හා නැණවත් බෞද්ධ ජනතාව අවබෝධ කර ගත යුතුය.

නමුත් අප සමාජෙය් සිටින මුස්ලිම් ජනතාව ආවේගශීලීනව හැගීම් වලට යටත් වී කටයුතු කරනවාට වඩා බුද්ධිමත් ව කටයුතු කරන්නට පුරුදු විය යුතුය. ආගමික ස්ථානයක් ඉදි කරන්නට දැරූ වේගයට වඩා ඒය කඩා සමතලා කරන්නට අපේ නුගගහදමන ජනතාව  ඉතා වේගවත් වූහ. මෙය ආගමික සංහිදියාව සනිටුහන් කරනවා ද? නැතිනම් අප ජනතාවෙග් අනුවණකම සනිටුහන් කරනවා ද? යන්න බුද්ධිමත් ජනතාව තීන්දු කර ගන්න.

බිත්ති පමණක් නොව අත්තිවාරමත් ඉවත් විය යුතු යයි නුගගහදමන භික්ෂුවරු අතලොස්සක් මාන බලා සිටියේ මෙරටේ නැවතත් මුස්ලිම් දේවස්ථාන කාභාෂණයක් ඇති කරන්නට මිස අන් කුමකට ද? දඹුල්ලේ අශෝභන ලෙස හැසිරුණු භික්ෂුවරුන්ගේ ඒ මුහුණු අප තවමත් අමතක කළේ නැත. එය මෙරටේ ආගමික පරිහානිය සජීවීව දක්නට ලැබුණු අවස්ථාවකි. නමුත් එකල ම මෙරට පැවති රජය නිසි ක්‍රියාමාර්ග අර ගෙන ඇත් නම් නුගගහදමන දක්වා ඒ චර්යාවන් හා ආකල්ප ව්‍යාප්ත වන්නේ නැත.

වත්මනේ පවතින යහපාලනය (?) සැබෑවක් නම් නැවත කහ සිවුරු ත්‍රස්තවාදය හිස ඔසවන්නය ඉඩ නොදිය යුතු වන බව යහ පාලනයට සහයෝගය දුන් සියලු ජනතාවගේ බලාපොරොත්තුවයි. නුගගහදමනින් නැවත මුස්ලිම් දේවස්ථාන කාභාෂණය පටන් ගන්නට  ඉඩ නොදී මුණිවත නොරැක පවතින රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව අප සංවිධානය රජයට අවධාරණය කර සිටින්නෙමු.