කාන්තාවන් මුහුණ ආවරණය කර ගැනීම නබි මගක් නොවේ!

කාන්තාවන් මුහුණ ආවරණය කර ගැනීම නබි මගක් නොවේ!

වර්තමානයේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම් පිළිබදව බහුල ව කතා බහට ලක් වේ. මුස්ලාම් කාන්තාවන්ගේ ඇදුම් ක්‍රමය අතිශයින් ම වැදගත් වන බවත් එය කාන්තාවන්ගේ ගෞවරවයට හා පතිව්‍රතතාව රැක ගැනීමට බෙහෙවින් ම අවශ්‍ය වන බවත් මානව හිතවාදී කවුරුත් පිළිගනියි.

          නමුත් අප මුස්ලිම් ජන සමාජයේ ඇතැම් කාන්තාවන් මුහුණු ආවරණය කිරීමට පුරුදුව සිටිති. එය ධාර්මික විධානයක් යයි සිතමින් ඉතා ඕනෑකමින් අනුගමනය කරති. ධාර්මික උගතුන් විසින් ද මුස්ලිම් කාන්තාවන් මුහුණු ආවරණය කළ යුතු යැයි පවසමින් ධර්ම දේශනා වල දී අවධාරනය කරනු ලැබේ.

          මුස්ලිම් කාන්තාවක් මුහුණු ආවරණය කර ගත යුතු ද ? නැද්ද ? යන ප්‍රශ්නයේ දී නිවැරදි පිළිතුරක් මුස්ලිම් උගතුන් විසින් ලබා නොදීම නිසා වත්මන් මුස්ලිම් සමාජයේ ඇතැම් කාන්තාවන් මුහුණු ආවරණය කරන අතර ඇතැම්හු ආවරණය නොකරන පරස්පර තත්ත්වයක් උදා වී ඇත.

          මුහුණු ආවරණය ධාර්මික විධානයක් නම් සෑම මුස්ලිම් කාන්තාවක් ම එය අනිවාර්යයෙන් ම අනුගමනය කළ යුතුය. ධාර්මික විධානයක් නොවේ නම් සර්ව බලධාරී දෙවියන් නියම නොකළ දෙයක් කාන්තාවන්ට නොපැටවිය යුතුය. එසේ නොවේ. එය කාන්තාවකගේ කැමැත්ත මත පදනම් වූ දෙයක් නම් ඒ සදහා වූ සාක්ෂි සාධක ගෙන හැර දක්වා පැහැදිලි කළ යුතුය.

          නමුත් මින් කිසිවක් නිසි පරිදි සිදු නොවන නිසා ඉහත විෂයයෙහි මත භේදාත්මක තත්ත්වයක් උදා වී ඇත. මෙකී මත භේදය උගතුන් අතර නොයෙකුත් කාල වකවානු වලදී හට ගෙන තිබීම කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. නමුත් මත භේදයක් පවතින විට දී එකී මති මතාන්තරය අවිච්ඡින්නව පවත්වා ගැනීම ධර්මය අනුමත කරන්නේ නැත. විවිධ මත පවතින විට ඉන් නිවැරදි මතය කුමක්දැයි පැහැදිලි කළ යුතුය. එසේ නොවූයේ නම් පවතින මතවල කිසිවෙකුට ස්‍ථීර විශ්වාසයක් නොමැති වී යනු ඇත. තව ද මත දෙකක් ධාර්මික මත විය නොහැකි විය නොහැකිය. ධර්මයේ නාමයෙන් ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට සිදු කරගත හැකි අවාසනාවන්ත තත්ත්වයක් උදා වන්නේ එකකට වඩා පවතින මත ධර්මානුකූල යැයි පිළිගන්නා විටක දී ය.

එබැවින් මුස්ලිම් කාන්තාවන් මුහුණු ආවරණය කර ගැනීම පිළිබදව ඉස්ලාම් හි නිවැරදි ස්ථාවරය සවිස්තරාත්මකය පැහැදිලි කර දීමේ අරමුණින් මෙම ලිපිය රචනය කරන ලදී.

ඉස්ලාම් පවසන්නේ මුස්ලිම් කාන්තාවන් මුහුණ, මැණික් කටුව දක්වා දෑත් හැර සිරුරේ අනෙකුත් කොටස් කිට්ටු ඥාතීන් නොවන අන්‍ය වූ පිරිමීන්ගෙන් ආවරණය කර ගන්නා ලෙසයි. මෙය ඉස්ලාමීය ව්‍යවහාරයේ හිජාබ්, ජිල්බාබ්, ෆර්දා, බුර්කා යන නම් වලින් හැදින්වේ. නමුත් සැබවින් ම හිජාබ් යනු කාන්තාවන් සම්පුර්ණයෙන් ම මුහුණු ඇතුළු තම සිරුර ආවරණය කර ගැනීමයි. එවන් වූ අණක් ඉස්ලාම් පනවා ඇත්තේ නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණි. සෙසු කාන්තාවන් එසේ ආවරණය කර ගැනීමට ධාර්මික අවසරයක් නොමැති බව පරිශුද්ධ වූ අල් කුර්ආනය හා නබි නායක (සල්) තුමාණන්ගේ නබි වදන් අධ්‍යනය කිරීමේ දී දැනගත හැකිය.

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ කාන්තාවන්ගේ ඇදුම පිළිබදව පහත සදහන් වැකි වල සදහන් වී ඇත.

තම බැල්ම පහත හෙලෙන ලෙසත් තම පතිවත ආරක්ෂා කරන ලෙසත් විශ්වාස කළ ස්ත්‍රීන්ට පවසන්න. ඔවුහු තම අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර අනෙකුත් දේ හෙළිදරව් නොකළ යුතුය. තව ද ඔවුහු තම උතුරු සළු තම පයෝධර මත දමා ගනිත්වා! තම ස්වාමි පුරුෂයින්, තම පියවරුන්, තම ස්වාමි පුරුෂයින්ගේ පියවරුන්, තම පුත්‍රයින්, තම ස්වාමි පුරුෂයින්ගේ පුත්‍රයින්, තම සොහොයුරන්, තම සොහොයුරන්ගේ පුත්‍රයින්, තම සොහොයුරියන්ගේ   පුත්‍රයින්,   ස්ත්‍රීන්, තමන්ට ම හිමි වහලූන්, පුරුෂයින්ගෙන් (දැඩි මහලූ විය හේතුවෙන් ස්ත්‍රීන් කෙරෙහි) ඇල්මක් නැති සේවකයින්, ස්ත්‍රීන්ගේ රහස් අවයව ගැන අවබෝධයක් නැති කුඩා ළමුන් හැර අන් අයට ඔවුහු තම අලංකාරය හෙළිදරව් නොකළ යුතුය. තමන් සඟවා තබා ඇති අලංකාරය (අන් අය) දැනගත යුතු පිණිස තම පාද වලින් (පොළොවට) ගසා නොඇවිදිය යුතුය. විශ්වාස කළ අයවලූනි, නුඹලා සියල්ලන් ම අල්ලාහ් වෙතට හැරෙන්න. මෙමගින් නුඹලා ජය ලබන්නෙහු ය.

පරිශුද්ධ වූ අල් කුර්ආනය 24 : 31  

නබිවරය, ඔබේ භාර්යාවන්ට ද ඔබේ දූවරුන්ට ද (සෙසු) විශ්වාස කළ ස්ත්‍රීන්ට ද උතුරු සළු හෙළන ලෙස පවසන්න. ඔවුන් (විනයගරුක කාන්තාවන් බව) හැඳින ගනු ලැබීමටත් හිරිහැර වලට ලක් නොවී සිටීමටත් මෙය යෝග්‍ය ය. අල්ලාහ් ක්ෂමා කරන්නෙක් ද අසම සම දයාවන්තයෙක් ද වේ.

පරිශුද්ධ වූ අල් කුර්ආනය 33 : 59  

ඉහත වැකි කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳව සඳහන් කරයි. කාන්තාවන් තම ඇඳුම් වලට ඉහළින් ජිල්බාබ් නමැති උතුරු සළුව ඇඳ ගත යුතුයැයි 33 : 59 වැකිය පවසයි.

ජිල්බාබ් යනු මුහුණ ආවරණය කර ගන්නා වස්ත්‍රයක් යැයි ඇතැම්හු විග්‍රහ කර කාන්තාවන් මුහුණු ආවරණය කර ගත යුතුයැයි තර්ක කරති. නමුත් ඔවුන් විසින් ජිල්බාබ් වලට ලබා දෙන විග්‍රහය සම්පූර්ණයෙන් ම වැරදි සහගත ය.

33 : 59 වැකිය සම්පූර්ණයෙන් කියවා නිවැරදිව එහි අවධානය යොමු කර තිබුණි නම් මෙම වැකිය මුහුණු ආවරණය කිරීම නොකළ යුතුයැයි අණ කරන බව දැනගත හැකිය.

නබිවරය, ඔබේ භාර්යාවන්ට ද ඔබේ දූවරුන්ට ද (සෙසු) විශ්වාස කළ ස්ත්‍රීන්ට ද උතුරු සළු හෙළන ලෙස පවසන්න. ඔවුන් (විනයගරුක කාන්තාවන් බව) හැඳින ගනු ලැබීමටත් හිරිහැර වලට ලක් නොවී සිටීමටත් මෙය යෝග්‍ය ය.

මෙම වැකියේ ජිල්බාබ් නමැති වස්ත්‍රය අංග ලක්ෂණ දෙකකින් සමන්විත වන බව ප්‍රකාශ කෙරේ.

  • ජිල්බාබ් ඇඳීම තුළින් කාන්තාවන් හිංසාවට ලක් නොවෙති යන්න පළමු කොන්දේසියයි.
  • ඔවුන් හඳුනා ගනු ලැබීම දෙවන කොන්දේසියයි.

"ජිල්බාබ් නමැති උතුරු සළුව පුරුෂයින්ගේ හිංසා වලින් ආරක්ෂාව ලබා දෙන අයුරින් පිහටා තිබිය යුතුය. ඔවුන් හඳුනා ගනු ලැබිය හැකි අයුරින් ද පිහිටා තිබිය යුතුය" යන්න ඉහත වැකියේ සඳහන් කොන්දේසි දෙක වන බව ඒ වැකිය කියවන කාටත් පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.

පොදුවේ ගත් කල කාන්තාවන් හිංසනයට ලක් වීමට පළමු හේතුව තම පයෝධර පෙදෙස කැපී පෙනෙන ලෙස පෙන්වීම ය. ඇඳුම් ඇඳීමෙන් පසු පයෝධර මත උතුරු සළුවක් දමා ගැනීමෙන් මෙකී තත්ත්වය පහ වී යනු ඇත.

ඒ අතර ම මුහුණ හා පයෝධර මත උතුරු සළුව දමා නොගත යුතුය. එසේ දැමීම තුළින් ඔවුන් හැඳින ගනු ලැබීම අනිවාර්යය යන දෙවන කොන්දේසිය නිෂ්ප්‍රභා වනු ඇත.

කාන්තාවන්ගේ ඇඳුම් පිහිටා තිබිය යුත්තේ ඔවුන් කවුරුන් ද යන වග දැනගත හැකි අයුරිනි. මෙම වැකිය ඒ පිළිබඳව පැහැදිලිව අණ කරයි. යම් කෙනෙක් කවරෙක් දැයි දැන ගැනීමට මුහුණ විවෘතව තිබීම අතිශයින් ම වැදගත් ය.

මේ අසවලා යැයි දැනගත හැක්කේ මුහුණ නිරාවරණව තිබුණේ නම් පමණි.

24 : 31 වැකියේ තම උතුරු සළු පයෝධර මත දමාගත යුතුයැයි ප්‍රකාශ කරන්නේ ද මේ සම්බන්ධයෙන් ම ය.

ජිල්බාබ් යන වචනයේ අර්ථය කුමක් දැයි දැන ගැනීමට මෙම වචනය භාවිත කර තිබෙන හදීස් කිහිපයක් සහයට ගත හැකිය.

උම්මු අතිය්යා (රලි) තුමිය මෙසේ පවසන්නීය.

අවුරුදු දින දෙකෙහි දී ම මාස් ශුද්ධිය හටගත් කාන්තාවන් හා තිරයක් තුළ සිටින (යෞවනයට පත්) කාන්තාවන් (නැමදුම් කරන පිටියට) එවන මෙන් අපි (ධර්ම දූතයාණන් විසින්) අණ වන ලද්දෙමු. කාන්තාවන් සියලු දෙනා ම මුස්ලිම්වරුන්ගේ සාමූහික සලාතයට සහභාගී විය යුතුය. මුස්ලිම්වරුන්ගේ ප්‍රචාරයේ ද සහභාගී විය යුතුය. අනෙකුත් කාන්තාවන් සලාතය ඉටු කරන තැනින් මාස් ශුද්ධි හටගත් කාන්තාවන් ඉවත් වී සිටිය යුතුයැ(යි නබි නායක (සල්) තුමාණන් පැවසූ හ. මෙයට සවන් දුන්) කාන්තාවක් “අල්ලාගේ දූතයාණනි, අප අතුරින් ඇතැමුන්ට ඇඳ ගැනීමට උතුරු සළුවක් නැත. (ඇය කුමක් කරන්න දැ)”යි විමසුවාය. එයට නබි නායක (සල්) තුමාණන් “(එක් කාන්තාවකට උතුරු සළුවක් නොමැති නම්) ඇගේ යෙහෙළිය ඇගේ උතුරු සළු වලින් එකක් ඇයට ඇඳ ගැනීමට ලබා දිය යුතුයැ”යි පැවසූ හ.

මූලාශ්‍රය : බුහාරි 351

ඉහත වැකියේ භාවිත කරන ලද ජිල්බාබ් යන වචනය ම මෙම හදීසයේ ද භාවිත වී ඇත. කාන්තාවන් අවුරුදු දින සලාතයට පැමිණීමට ඔවුනට ජිල්බාබය අනිවාර්යය වන බවත් ජිල්බාබය නොමැති කෙනෙකුට තිබෙන කෙනෙක ලබා දී උපකාර කළ යුතු බවත් නබි නායක (සල්) තුමාණන් පවසා ඇත.

අවුරුදු දින සලාතයට පැමිණෙන කාන්තාවන් ජිල්බාබය දමාගෙන පැමිණිය යුතු වන බව මෙයින් පෙනේ. ජිල්බාබ් ඇඳ ගත් පසුත් කාන්තාවන්ගේ මුහුණු විවෘතව තිබූ බව පහත සඳහන් හදීසය පැහැදිලි කරයි.

මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්) සමග අවුරුදු දින සලාතයේ සහභාගී වීමි. එවිට එතුමාණන් අදාන් හා ඉකාමත් නොමැතිව දේශනය පැවැත් වීමට පෙර දී ම සලාතය මෙහෙය වූ හ. පසුව බිලාල් (රලි) තුමා මත ඇලවී දේව බිය බැතිය රකිනා ලෙසත් සර්ව බලධාරී දෙවියන්ට හා ධර්ම දූතයාණන්ට අවනත වන ලෙසත් අවධාරණය කරමින් ජනාතාවට අවවාදානුශාසනා ලබා දුන්හ. පසුව එතැනින් ඉවත් වී කාන්තාවන් සිටින පෙදෙසට ගොස් ඔවුනට සිහි කර අනුශාසනා කළහ. තව ද සදකා කරන්න. නුඹලාගෙන් බොහෝ දෙනෙක් නිරයේ ඉන්ධන වන්නෙහු යැ”යි පැවසූ හ. එවිට කාන්තාවන් අතරින් කළු පැහැති කන් සහිත කාන්තාවක් නැගිට, අල්ලාහ්ගේ දූතයාණනි, (මෙකී තත්ත්වය හට ගන්නේ) කවර හේතුවකටදැ”යි විමසුවාය. එයට අල්ලාගේ දූතයාණන් (සල්), නුඹලා අධිකව දොස් කියන්නෙහු ය. ගුණ මකු වී ස්වාමි පුරුෂයින් ප්‍රතික්ෂේප කරන්නෙහු යැ”යි පැවසූ හ. එවිට ඒ කාන්තාවෝ තම කර්ණාභරණ, මුදු ඇතුළු රන් ආභරණ බිලාල් (රලි) තුමාගේ ඇඳුමට දැමූ හ.

                                                                                                       මූලාශ්‍රය : මුස්ලිම් (2085)

නබි නායක (සල්) තුමාණන්ගෙන් ප්‍රශ්න නැගු කාන්තාව ගැන දැනුම් දෙන්නෙකු වන ජාබිර් (රලි) තුමා සඳහන් කරන විට කළු පැහැති කම්මුල් සහිත කාන්තාවක් යැයි පවසයි. ඒ කාන්තාව මුහුණ ආවරණය නොකළ බව මෙයින් පෙනේ. කාන්තාවන් මුහුණ ආවරණය කිරීම අනිවාර්ය නම් තමන් වෙත ප්‍රශ්න නැගූ කාන්තාවගේ මුහුණ බාහිර ලොවට පෙනීම ගැන නබි නායක (සල්) තුමාණන් තරවටු කර ඇත්තාහ. එතුමාණන් එසේ තරවටු නොකිරීමෙන් කාන්තාවන් අන්‍ය පුරුෂයින් ඉදිරිපිට මුහුණ ආවරණය කිරීමට අවශ්‍ය නොවන බව තව දුරටත් තහවුරු වේ.

ජිල්බාබ් යන වචනයට හිසේ සිට මුහුණ ආවරණය වන අයුරින් එල්ලා දැමීම යනුවෙන් අර්ථයක් තිබේ නම් ඒ කාන්තාවගේ මුහුණ පෙනීමට කිසිඳු ඉඩ ප්‍රස්තාවක් නැත. ඒ කාන්තාව ජිල්බාබ් නොදමා සිටි බවත් පැවසිය නොහැකිය. එසේ වූයේ නම් ජිල්බාබ් නොදැම්මේ ඇයි දැයි නබි නායක (සල්) තුමාණන් නොවිමසා සිටින්නේ ද නැත.

          ඒ කාන්තාව ජිල්බාබ් ඇඳ සිටිය දී ම ඇගේ කම්මුල කළු පැහැයෙන් වූ බව පුරුෂයෙකුට දන්වා සිටිය හැකි නම් ජිල්බාබ් යනු මුහුණ ආවරණය කරන වස්ත්‍රයක් නොවන බවත් පයෝධර මත දමන වස්ත්‍රයක් වන බවත් තහවුරු වේ.

කාන්තාවන් මුහුණ ආවරණය කර ගත යුතුයැයි නබි නායක (සල්) තුමාණන් කිසිවිටෙක අණ කළේ නැත. අවධාරණය කළේ ද නැත. තමන් ඉදිරිපිට කාන්තාවන් මුහුණ විවෘතව තබා සිටිය දී එතුමාණන් එය තරවටු නොකළ බවට නොයෙකුත් සාධක ඇත.

පළමු සාධකය

ආයිෂා (රලි) තුමිය මෙසේ පවසන්නීය.

විශ්වාස කළ (මුඃමින්) කාන්තාවන් තම ලෝම වස්ත්‍ර වලින් පොරවා ගෙන අල්ලාහ්ගේ දූතයාණන් (සල්) සමග ෆජ්රු (අළුයම) සලාතයට සහභාගී වීමට පුරුදුව සිටිය හ. ඔවුහු සලාතය නිම වූ පසු තම නිවෙස් වලට ආපසු හැරෙති. අඳුර හේතුවෙන් ඔවුන් කවුරුන්දැයි කිසිවෙකුට දැනගත නොහැකිය.

මූලාශ්‍රය : බුහාරි (578)

එකල කාන්තාවන් මුහුණු වැස්මක් ඇඳ සිටියේ නම් ඒ මුහුණු වැස්ම ඔවුන් කවුරුන්දැයි දැන ගැනීමට බාධාකයක් වන්නට තිබුණි. නමුත් අඳුර හේතුවෙන් ඒ කාන්තාවන් කවුරුන්දැයි දැනගත නොහැකි වූ බව ආයිෂා (රලි) තුමිය දැනුම් දීම තුළින් සලාතයට පැමිණි කාන්තාවන් සලාතය නිම කර පිටත් වන විට මුහුණු වැස්මක් ඇඳ නොසිටි බව වටහා ගත හැකිය.

දෙවන සාධකය

අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රලි) තුමාගේ භාර්යාව වන සෛනබ් (රලි) තුමිය මෙසේ පවසන්නීය.

මම දේවස්ථානයේ සිටින විට නබි නායක (සල්) තුමාණන් “කාන්තාවනි, නුඹලාගේ ආභරණ වලින් හෝ සදකා කරන්නැ”යි පැවසූ හ. මම මාගේ (ස්වාමි පුරුෂයා වන) අබ්දුල්ලාහ් (රලි) තුමාට මාගේ භාරකාරත්වයේ සිටින අනාථ දරුවන්ටත් විය පැහැදම් කරන කෙනෙක වීමි. එබැවින් මාගේ ස්වාමි පුරුෂයා වෙත, “මම ඔබටත් මාගේ භාරකාරත්වයේ සිටින අනාථ දරුවන්ටත් මාගේ ධනය විය පැහැදම් කිරීම සදකාවක් ලෙස සලකනු ලැබේදැයි නබි නායක (සල්) තුමාණන්ගෙන් විමසාගෙන එන්නැ”යි කීවෙමි. අබ්දුල්ලාහ් (රලි) තුමා, “අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඔබ ම විමසන්නැ”යි පැවසීය. එබැවින් මම නබි නායක (සල්) තුමාණන් වෙතට ගියෙමි. එතුමාණන්ගේ දොරටුව අසල අන්සාරි කාන්තාවක් සිටියා ය. ඇගේ අරමුණත් මාගේ අරමුණ ම විය. එවිට අප අතරට බිලාල් (රලි) තුමා පැමිණියේ ය. එතුමා වෙත, “මාගේ ස්වාමි පුරුෂයාටත් මාගේ භාරකාරත්වයේ සිටින අනාථ දරුවන්ටත් මම විය පැහැදම් කිරීම සදකාවක් වේ දැයි නබි නායක (සල්) තුමාණන්ගෙන් අසන්න. අපි කව්රුන් ද යන වග නොදන්වන්නැ”යි පැවසීමු. වහාම එතුමා නබි නායක (සල්)තුමාණන්ගෙන් විමසූ විට නබි නායක (සල්) තුමාණන් “ඒ දෙදෙනා කවුරුන්දැ”යි විමසූ හ. එයට බිලාල් (රලි) තුමා “සෛනබ් යැ”යි පැවසීය. නබි නායක (සල්) තුමාණන් “මොන සෛනබ් දැ”යි විමසූ හ. බිලාල් (රලි) තුමා “අබ්දුල්ලාහ්ගේ භාර්යාවයැ”යි පැවසීය. වහාම නබි නායක (සල්) තුමාණන් “එසේ ය, සෛනබ්ට කුසල් දෙකක් ඇත. එකක්, කිට්ටු ඥාතීන්ට උපස්ථාන කිරීමට ය, අනෙක සදකා කිරීමට යැ”යි පැවසූ හ.

                                                                                                       මූලාශ්‍රය : බුහාරි ( 1466)

නබි නායක (සල්) තුමාණන් වෙත ආගමික විනිශ්චයක් පතා පැමිණි කාන්තාවන් දෙදෙනා ම තමන් කවුරුන්දැයි නබි නායක (සල්) තුමාණන්ට නොදන්වන මෙන් බිලාල් (රලි) තුමා වෙත ඉල්ලීමක් කළහ. ඒ කාන්තාවන් දෙදෙනා මුහුණු ආවරණය කරමින් සිටියේ නම් තමන් කවුරුන්දැයි බිලාල් (රලි) තුමාට ම දැනගත නොහැකි පරිදි සගවා තිබිය හැකිය. බිලාල් (රලි) තුමාට ඔවුන් කවුරුන් දැයි දැනගත හැකි වූයේ ඔවුන් මුහුණු විවෘතව තබා ගෙන සිටි බැවිනි. බිලාල් (රලි) තුමා ඔවුන් කව්රුන්දැයි හඳුනා ගත් නිසාවෙන් ම ඒ කාන්තාවන් දෙදෙනා ම නිවස තුළ සිටි නබි නායක (සල්) තුමාණන්ට තමන් ගැන නොපවසන මෙන් ඉල්ලීම් කළහ.

මෙම සිද්ධිය ද නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ කාන්තාවන් මුහුණ ආවරණය නොකර සිටි බවට සාධකයක් වේ.

තෙවන සාධකය

ජරීර් බින් අබ්දුල්ලාහ් (රලි) තුමා මෙසේ පවසයි.

මෙම අල්ලාහ්ගේ දූතයාණන් (සල්) වෙත (අන්‍ය කාන්තාවන් කෙරෙහි) අහම්ඛෙන් බැල්ම යොමු වීම ගැන විමසුවෙමි. එවිට මාගේ බැල්ම (වහාම) හරවා ගත යුතුයැයි එතුමාණන් මට අණ කළහ.

                                                                                                       මූලාශ්‍රය: මුස්ලිම් (5770)

කාන්තාවන් මුහුණු ආවරණය කරන අය වූවා නම් අන්‍ය කාන්තාවන් දෙස බලන ප්‍රශ්නයක් මතු වීමට ම ඉඩක් නැත.

සිව්වන සාධකය

අබූ සඊද් අල් කුද්ර් (රලි) තුමා මෙසේ පවසයි.

“නුඹලා මං මාවත්හි ඉඳ ගැනීමෙන් වළකින්නැ”යි නබි නායක (සල්) තුමාණන් පැවසූ හ. “අපට එහි ඉඳ ගැනීමට හැර වෙනත් මගක් නැත. අපි කථා බහ කර ගන්නා අපේ සභාවන් ඒවා යැ”යි ජනතාව පැවසූ හ. එවිට නබි නායක (සල්) තුමාණන් “නුඹලා ඒ සභාවල(ට පැමිණ) ඉඳ ගන්නා විට මං මාවත් වලට ඒවාහි අයිතිවාසිකම් පිරිනමන්නැ”යි පැවසූහ. “මං මාවත් හි අයිතිවාසිකම් මොනවාදැ”යි ජනතාව විමසූ හ. එයට නබි නායක (සල්) තුමාණන් (ඒවාහි අයිතිවාසිකම් වනුයේ, අන්‍ය කාන්තාවන් නොබලා) බැල්ම පහත හෙළීමත් (මං මාවත්හි ගමන් කරන අයට කථාවෙන් හෝ ක්‍රියාවෙන් හෝ) හිංසා නොකිරීමත් සලාමයට පිළිතුරු දීමත් අයහපත වැළැක්වීමත් යැ”යි පිළිතුරු දුන්හ.

මූලාශ්‍රය : බුහාරි (2465)

          මෙහිදී මං මාවත් වල ගමන් කරන කාන්තාවන් මුහුණු ආවරණය කරමින් සිටියේ නම් බැල්ම පහත හෙලන ලෙස පැවසීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කල්පනා ශක්තියක් තිබෙන අය වටහා ගනිති.

මෙම සාධක වලින් ම නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ කාන්තාවන් මුහුණු ආවරණය නොකර පොදු ස්ථාන වලට පැමිණ තිබෙන බව දැනගත හැකිය.

මුහුණ ආවරණය කළ යුතුයැයි පවසන අයගේ සාධක:

පළමු තර්කය

"ඉහ්රාම් ඇඳ ගත් කාන්තාවන් මුහුණු ආවරණයක් ඇඳ නොගත යුතුයැ"යි නබි නායක (සල්) තුමාණන් පැවසූ හ.

දැනුම් දෙන්නා : ඉබ්නු උමර් (රලි) තුමා

මූලාශ්‍රය : බුහාරි (1838)

කාන්තාවන් මුහුණු ආවරණය කළ යුතුයැයි පවසන අය මෙම සාධකය ඉදිරිපත් කරති. එනම්, ඉහ්රාම් ඇඳ ගත් විට දී පමණක් මුහුණු ආවරණය ඇඳ නොගත යුතුයැයි නබි නායක (සල්) තුමාණන් පැවසීමට හේතුව මුහුණු ආවරණ පැළඳීමේ පුරුද්දක් එතුමාණන්ගේ කාලයේ පැවතුණු බැවිනි. අනෙක් අවස්ථා වල දී මුහුණු ආවරණය කරගත යුතු බව මෙම හදීසයෙන් වටහාගත හැකියැයි ඔවුහු තර්ක කරති.

පිළිතුරු

කාන්තාවන් ජිල්බාබ් උතුරු සළුව ඇඳ ගත් පසුත් ඔවුන්ගේ මුහුණ බාහිර ලොවට පෙනෙන අයුරින් තිබිය යුතුයැයි අල්ලාහ් අණ කර තිබෙන බැවින් එයට පටගැනි නොවන අයුරින් මෙම හදීසය වටහාගත යුතුය.

පොදුවේ ගත් කල, කාන්තාවන් මුහුණු ආවරණය කර නොගත යුතුය. ඒ අතර ම හජ් සමයේ දී මෙය තව දුරටත් ස්ථීර ලෙසින් ම පිළිපැදිය යුතුය යනුවෙන් මෙය වටහාගත යුතුය.

උදාහරණයක් ලෙස, 24:33 වැකියේ “නුඹලාගේ කාන්තාවන් පතිවත ආරක්ෂා කිරීමට ප්‍රිය කරන අය නම් ඔවුන් දුරාචාරයේ නියැලීමට බල නොකරන්නැ”යි අල්ලාහ් පවසයි. කාන්තාවන් පතිවත රැකුමට ප්‍රිය නොකළේ නම් දුරාචාරයේ නියැලීමට බල කළ හැකියැයි මෙය වටහා නොගන්නෙමු. පතිවත රැක නොගන්නා අශීලාචාර කාන්තාවන් දුරාචාරයේ නියැලීමට බල කරනවාට වඩා පතිවත රැක ගන්නා ශීලාචාර කාන්තාවන් දුරාචාරයේ නියැලීමට බල කිරීම දරුණු පාපයක් වන බැවින් මෙසේ ප්‍රකාශ කරනු ලැබේ.

නුඹේ අසල්වැසියාගේ භාර්යාව සමග දුරාචාරයේ යෙදීම මහා පාපයක් යැයි නබි නායක (සල්) තුමාණන් පැවසූ හ. (බුහාරි 4207 බලන්න.) අනෙක් කාන්තාවන් සමග දුරාචාරයේ යෙදීම කුඩා පාපයක් යනුවෙන් හෝ පාපයක් ම නොවේ යනුවෙන් හෝ කව්රුත් මෙය වටහා ගන්නේ නැත. අනෙක් දුරාචාරයන්ට වඩා මෙහි ද්‍රෝහිවීමක් අමතරව තිඛෙන බැවින් මෙසේ අවධාරණය කොට ප්‍රකාශ කර තිබෙන බව අපි වටහා ගන්නෙමු.

කාන්තාවන් මුහුණු ආවරණය නොකර ජිල්බාබ් ඇඳගත යුතු බව අල්ලාහ් පවසන නිසා හජ් සමයේ ද ආවරණය නොකළ යුතුය. වෙනත් අවස්ථා වල දී ද ආවරණය නොකළ යුතුය. නමුත් හජ් සමයේ දී අල්ලාහ්ගේ මෙකී අණ අතිශයින් ම වැදගත් කොට සලකා පිළිපැදිය යුතු බැවින් නබි නායක (සල්) තුමාණන් එය විශේෂයෙන් ම සඳහන් කර තිබේ යැයි වටහා ගැනීම, අල් කුර්ආනයට පටහැනි නොවන විග්‍රහයකි.

දෙවන තර්කය

මුහුණ ආවරණය කරගත යුතුයැයි පවසන අය පහත වැකිය සාධකයක් ලෙස ඉදිරිපත් කරති.

තම බැල්ම පහත හෙලන ලෙසත් තම පතිවත ආරක්ෂා කර ගන්නා ලෙසත් විශ්වාස කළ කාන්තාවන්ට පවසන්න. ඔවුන් තම අලංකාරයෙහි මතු පිටින් පෙනෙන දේ හැර අන් ඒවා හෙළිදරව් නොකළ යුතුය. තම උතුරු සළු පයෝධර මත දමා ගනිත්වා!  

   පරිශුද්ධ වූ අල් කුර්ආන් 24 : 31

උතුරු සළුව යනුවෙන් අපි පරිවර්තනය කළ තැනෙහි කුම්ර් යන අරාබි වචනය සඳහන් වී ඇත. කිමාර් යනු මෙහි ඒක වචනයයි. කිමාර් යනු මුහුණ ඇතුළු හිස ආවරණය කරන වස්ත්‍රයක් යැයි පවසා මෙම වැකිය ද තම මතයට සාධකයක් ලෙස ඉදිරිපත් කරති.

පිළිතුරු

මෙම වැකියේ උතුරු සළුව දමා ගන්නා ලෙස පොදුවේ ප්‍රකාශ නොකර පයෝධර මත දමාගත යුතුයැයි ප්‍රකාශ වී ඇත. මුහුණ මත දමා ගන්නා මෙන් ප්‍රකාශ වී තිබුණී නම් මුහුණ ආවරණය කර ගත යුතුය යන්නට මෙම වැකිය සාධකයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. නමුත් එසේ ප්‍රකාශ නොවූ නිසා මෙය මුහුණ ආවරණයට සාධකයක් සේ පෙන්විය නොහැකිය.

කිමාර් යන්නෙහි වචනාර්ථය වන්නේ ආවරණය කරන දේ යන්නයි. හිස ආවරණය කිරීම යන අර්ථයෙන් ද මුහුණ ආවරණය කිරීම යන අර්ථයෙන් ද මෙම වචනය භාවිත වේ. තැනට සුදුසු පරිදි ඒ දෙකෙන් එක් අර්ථයක් ගත යුතුය.

ඉමාම් ඉබ්නු හජ්ර් තුමා කිමාර් යන්නට තම පුස්තකය වන ෆත්උල් බාරිහි එක් තැනක හිස ආවරණය කරන වස්ත්‍රය යනුවෙන් ද තවත් තැනක මුහුණ ආවරණය කරන වස්ත්‍රය යනුවෙන් ද සදහන් කරයි.

අරාබි ශබ්ද කෝෂ වල ද හදීස් වල ද මෙවිලසින් ම සඳහන් වේ. අල් මුඃජමුල් වසීත් හා ලිසානුල් අරබ් යන අරාබි ශබ්ද කෝෂ වල කිමාර් යනු කාන්තාවන් තම හිස ආවරණය කිරීමට භාවිත කරන සළුවට පවසනු ලැබේ යැයි සඳහන් වේ.

ඉහත වැකියේ කිමාර් දමා ගන්නැයි නොපවසා කුමුර් පයෝධර මත දමා ගන්නැයි පැහැදිලි ව ප්‍රකාශ කර තිඛෙන බැවින් මෙහි දී මුහුණ ආවරණය කරන වස්ත්‍රයක් යැයි අර්ථ කථනය කිරීම වැරදි ය. මෙහි නිවැරදි අර්ථය හිස ආවරණය කරන වස්ත්‍රය යන්නයි.

          හදීස් වල කිමාර් යන්න හිස් සළුව යන අර්ථයෙන් ම භාවිත වී ඇත.

නබි නායක (සල්) තුමාණන් මෙසේ පවසති.

මාස් ශුද්ධිය (හට ගන්නා වයසට පත්) කාන්තාවන්ගේ සලාතය උතුරු සළුව සමග (ඇය ඉටු කළා නම්) මිස අල්ලාහ් පිළිගන්නේ නැත.

මෙය ආයිෂා (රලි) තුමිය දැනුම් දෙන්නීය.

මූලාශ්‍රය: අබූ දාවූද් (5460)

කාන්තාවන් සලාතය ඉටු කරන විට උතුරු සළුව සමග සලාතය ඉටු කර යුතුයැයි මෙම හදීසය පවසයි. උතුරු සළුව යනුවෙන් පරිවර්තනය කළ තැනෙහි සඳහන් වන්නේ කිමාර් යන වචනයයි. කිමාර් යනු මුහුණු ආවරණය කරන වස්ත්‍රයකි යන වැරදි අර්ථයක් මෙහි දී ලබා දුන්නේ නම් කාන්තාවන් සලාතය ඉටු කරන විට මුහුණ ආවරණය කර ගත යුතුය යනුවෙන් වැරදි තීන්දුවක් ඉන් ලැබේ.

කාන්තාවන් මුහුණු ආවරණය කර ගත යුතුයැයි පවසන අය පවා සලාතය ඉටු කරන විට දී මුහුණ ආවරණය කර ගත යුතුයැයි නොපවසති. ඉහත සඳහන් හදීසයේ තබෙන කිමාර් යන වචනයට මුහුණ ආවරණය කරන වස්ත්‍රය යනුවෙන් අර්ථ කථනය නොකරති. එහි දී අර්ථ කථනය කරන්නේ හිස ආවරණය කරන වස්ත්‍රය යනුවෙනි.

උක්බා බින් ආමිර් (රලි) මෙසේ තුමා පවසයි.

මාගේ සොහොයුරිය පාවහන් නොපැළඳ, කිමාර් (හිස් සළුවක්) නොපැළඳ හජ් කරන බවට භාරයක් වී ඇතැයි මම නබි නායක (සල්) තුමාණන් වෙත (පවසා මේ ගැන) විමසුවෙමි. එයට එතුමාණන් “ඔබේ සොහොයුරියට ඔබ අණ කරන්න. ඇය උතුරු සළුව පැළඳ ගනිත්වා! ඇය වාහනයක නැග ගමන් කර පැමිණෙත්වා! ඇය දින තුනක් උපවාසය රැකගත යුතුයැ”යි පැවසූ හ.

   මූලාශ්‍රය : අබූ දාවූද් (2865)

හජ් ඉටු කරන කාන්තාවන් මුහුණු ආවරණය කර නොගත යුතුයැයි නබි නායක (සල්) තුමාණන් අණ කර ඇත. ඒ හදීසය පෙර දී ම දුටුවෙමු. මෙම හදීසයේ කිමාර් ඇඳගත යුතුයැයි නබි නායක (සල්) තුමාණන් උක්බා බින් ආමිර් (රලි) තුමාගේ සොහොයුරියට අණ කර ඇත.

කිමාර් යනු මුහණ ආවරණය කරන වස්ත්‍රයක් වූවා නම් මුහුණ ආවරණය නොකළ යුතුයැයි තහනම් කරන ලද හජ්හි දී කිමාර් අඳින මෙන් නබි නායක (සල්) තුමාණන් අණ කර සිටින්නේ නැත.

හජ්හි දී පළඳින මෙන් නබි නායක (සල්) තුමාණන් අණ කළේ කිමාර් යන්න හිස පමණක් ආවරණය කරන සළුවක් වූ නිසා ය.

තෙවන තර්කය

මුහුණ ආවරණය කළ යුතුයැයි පවසන පහත සඳහන් පුවත ද සාධකයක් ලෙස ඉදිරිපත් කරති.

ආයිෂා (රලි) තුමිය මෙසේ පවසන්නීය.

(කාන්තාවන් වන) අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්) සමග ඉහ්රාම් ඇඳ සිටිය දී ඔටුවන් මත ගමන් කරන අය අප පසු කර යමින් සිටිය හ. ඔවුන් අපට ළගින් ගමන් කරන විට හිසේ තිඛෙන මොට්ටැක්කිළිය මුහුණ මත දමා ගන්නෙමු. ඔවුන් අප පසු කර ගිය පසු මොට්ටැක්කිළිය ඉවත් කර ගත්තෙමු.

     මූලාශ්‍රය : අබූ දාවූද් (1562)

පිළිතුරු

මෙම පුවතේ යසීද් බින් අබී සියාද් නැමැත්තා සඳහන් වේ. මොහු හදීස් දැනුම් දීමේ දී බෙලහීනයෙකු යැයි අහ්මද් බින් හම්බල්, යහ්යා බින් මූයීන්, අබූ සුර්ආ, අබූ හාතිම්, ඉබ්නු අතී යනාදීහු පවසා ඇත. එබැවින් මෙය දුර්වල පුවතකි.

දුර්වල හදීසයක් පදනම් කර ගෙන නීති සම්පාදනය කළ නොහැකිය.

මුහුණ ආවරණය කිරීමෙන් වර්තමානයේ හටගෙන තිබෙන අයහපත් ථල විපාක ගැන අපි අවධානය යොමු කළ යුතුය.

          වැරදි හා අපරාධ සිදු කිරීමට සිතන අය මෙම මුහුණ ආවරණය පළිහක් ලෙස භාවිත කරමින් ධෛර්යමත් ව වැරදි කරති. මුහුණ ආවරණය නොකළ යුතුයැයි ඉස්ලාම් පවසන්නේ ඒ නිසාවෙනි.

මුස්ලිම් නොවන කාන්තාවන් තම පෙම්වතුන් සමග ගමන් බ්මන් යෑමේ දී මුහුණු වැස්මක් දමාගෙන තමන් ආවරණය කර ගනිති. මෙසේ මුහුණ ආවරණය කරගෙන අයාලේ යන යෞවනියන්ගෙන් හරි අඩක් ම මුස්ලිම් නොවන අය වීම සැබෑවකි.

  • මුහුණ ආවරණය කිරීම පළිහක් ලෙස උපයෝගී කරගෙන අයුතු ක්‍රියාවල නියැලීම.
  • ගණිකා වෘත්තියේ යෙදෙන මුස්ලිම් නොවන අභිසාරුකාවන් පොලිසියෙන් ගැලවීමටත් නීතියේ රැහැනෙන් මිදීමටත් මුහුණ ආවරණය කර ගැනීම පළිහක් සේ භාවිත කර ගැනීම.
  • සමාජ විරෝධි කටයුතු වල නියැලෙන පුරුෂයින් පවා කාන්තාවන් මෙන් මුහුණ ආවරණය කරමින් වැරදි ක්‍රියා වල නියැලීම.

මෙසේ නොයෙකුත් දුර්විපාක හට ගන්නා විට දුර්විපාක නොමැති දැයක් ම අපි තෝරා ගත යුතුය.

මුහුණ ආවරණය නොකිරීමෙන් හට ගන්නා දුර්විපාක වලට වඩා මුහුණ ආවරණය කිරීමෙන් හට ගන්නා දුර්විපාක අධික ය.

මුහුණ ආවරණය කර ගත යුතුයැයි ධර්මය අණ කරයි නම් එවිට ප්‍රතිවිපාක ගැන අපි අවධානය යොමු කළ යුතු නැත.

මුහුණු ආවරණය නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණි!

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ (33:53) වැකිය සාධකයක් ලෙස ඉදිරිපත් කරමින් කාන්තාවන් මුහුණ ආවරණය කිරීම අනිවාර්ය වන බව ඇතැම්හු තර්ක කරති.

මේ ගැන විස්තරාත්මකව දැන ගනිමු.

කාන්තාවන් මුහුණු ආවරණය නොකළ යුතු බව අපි ඉහතින් පැහැදිලි කළෙමු. ඒ සඳහා වූ සාධක ද එහි දී සඳහන් කළෙමු.

නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ කාන්තාවන් මුහුණු ආවරණය නොකර සිටි බවට අපි කෙතරම් සාධක ඉදිරිපත් කළත් ඒවාට ප්‍රතිවිරුද්ධ මත දරන අයගේ එකම පිළිතුරු මෙයයි.

හිජාබ් සම්බන්ධයෙන් කථා කරන මෙම වැකිය කාන්තාවන් සම්පූර්ණයෙන් ම අන්‍ය පුරුෂයින්ගෙන් තමන් ආවරණය කරගත යුතුයැයි ප්‍රකාශ කරන බැවින් කාන්තාවන් මුහුණු ආවරණය නොකර සිටි බව පැවසෙන සියලු සිද්ධීන් මෙම වැකිය පහළ වීමට පෙර සිදු වූ බව අපි වටහාගත යුතුයයි ඔවුහු පවසති.

හිජාබ් වැකිය යනුවෙන් පැවසෙන මෙම වැකිය (33:53) පවසන්නේ කුමක් ද?

විශ්වාස කළ අයවලුනි, නබිවරයාගේ නිවසට කැඳවනු ලැබුවේ නම් මිස අනුභව කිරීමට ඇතුළු නොවන්න. ඔහුගේ බඳුන් දෙස බලා නොසිටින්න. නමුත් කැඳවනු ලැබුවේ නම් යන්න. ආහාර අනුභව කළ වහාම පිටත් වන්න. කථාවෙහි කිඳා නොබසින්න. මෙය නබිවරයාට කරදරයක් වනු ඇත. ඔහු නුඹලාට (පවසන්නට) ලැජ්ජා වෙයි. සත්‍ය(ය පවසන) විෂයයෙහි අල්ලාහ් ලැජ්ජා නොවෙයි. (නබිවරයාගේ භාර්යාව මත) ඔවුන්ගෙන් නුඹලා යමක් ඉල්ලා සිටින්නේ නම් තිරයකට පිටු පසින් සිටිමින් ඉල්ලා සිටින්න. නුඹලාගේ සිත් වලට ද ඔවුන්ගේ සිත් වලට ද පිවිතුරු වන්නේ මෙයයි. නුඹලා අල්ලාහ්ගේ දූතයාට කරදර නොකළ යුතුය. ඔහුට පසුව කිසිවිටෙකත් ඔහුගේ භාර්යාවන් නුඹලා විවාහ නොකළ යුතුය. මෙය අල්ලාහ් හමුවේ ඉමහත් වේ.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 33:53

තිරයකට පිටු පසින් සිට ගෙන ම ඉල්ලා සිටිය යුතුයයි මෙම වැකිය ප්‍රකාශ කරන බැවින් කාන්තාවන් මුහුණු ආවරණය කරගත යුතු බව ඔවුන්ගේ තර්කයයි.

මෙම වැකිය පොදුවේ සියලු මුස්ලිම්වරුන්ට අදාළ වැකියක් නොවේ. මෙය නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ විශේෂ නීතියක් වන බව මෙම වැකිය ම පැහැදිලි ව පවසයි.

මෙම වැකියේ   භාවිත වී තිබෙන,

“නබිවරයාගේ නිවසේ” යන පාඨය ද,

“(නබිවරයාගේ භාර්යාව වන) ඔවුන්ගෙන් නුඹලා යමක් ඉල්ලා සිටින්නේ නම් තිරයක් පිටුපසින් සිටිමින්” යන පාඨය ද,

“අල්ලාහ්ගේ දූතයාට නුඹලා කරදර නොකළ යුතුය” යන පාඨය ද,

“ඔහුට පසුව නුඹලා කිසිවිටෙකත් ඔහුගේ භාර්යාවන් විවාහ නොකළ යුතුය” යන පාඨය ද,

මෙය නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන් සඳහා වන අමතර විනය පාලනයක් වන බව පැහැදිලිව ප්‍රකාශ කරයි.

මෙම වැකියේ නබි නායක (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසුව කිසිවෙක් එතුමාණන්ගේ භාර්යාවන් විවාහ නොකළ යුතුයයි ප්‍රකාශ වේ. මෙම අමතර පාලනය නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණක් වන බව නිවැරදිව වටහා ගනිති. මෙම වැකියේ ම ප්‍රකාශ වන තිරය පිළිබද නීතිය සියලු කාන්තාවන්ට අදාළ යයි පවසා මෙම වැකියේ අදහස විකෘති කර දමති.

විනය, පාලනය යන කාරණා වල දී නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට අමතර නියමයක් තිබෙන බව මෙම පරිච්ඡේදයේ ම එන පහත සඳහන් 30 සිට 33 වැකි වලින් දැන ගත හැකිය.

  1. නබිවරයාගේ භාර්යාවනි, නුඹලාගෙන් යම් කෙනෙක් පැහැදිලි අශිෂ්ට සම්පන්න ක්‍රියාවක් කළේ නම් ඇයට වේදනාව දෙගුණයකින් පිරිනමනු ලැබේ. එය අල්ලාහ්ට පහසු ය.

  1.  (නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලාගෙන් අල්ලාහ්ට ද ඔහුගේ දූතයාට ද අවනත වී යහපත් ක්‍රියා කරන්නියකට ඇගේ කුලිය දෙගුණයකින් පිරිනමන්නෙමු. ඇයට ගෞරවනීය ආහාරයක් ද පිළියෙල කර ඇත්තෙමු.

  1.  නබිවරයාගේ භාර්යාවනි, නුඹලා කාන්තාවන්ගෙන් අන් අය මෙන් නොවෙති. නුඹලා (දෙවියන්ට) බිය බැතිමත් වූවා නම් ඉතා කුලුපගව කථා නොකරන්න. කවරෙකුගේ සිතෙහි ලෙඩක් තිබේ ද ඔහු චපල වනු ඇත. අලංකාර වදනක් ම ප්‍රකාශ කරන්න.

  1. නුඹලාගේ නිවෙස්හි ම රැඳී සිටින්න. පෙර දී අනුවණ යුගයේ හෙළිදරව් කර ඇවිද්දා සේ නොඇවිදින්න. සලාතය ඉටු කරන්න. සකාතය ද පිරිනමන්න. මෙම නිවැසියන් වන නුඹලාගෙන් අපවිත්‍රය පහ කිරීමටත් නුඹලා මුළුමනින් ම පිවිතුරු කිරීමටත් අල්ලාහ් අදහස් කරයි.

මෙම සෑම වැකියක් ම නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට අමතර විනය නීතිරීති පවතින බවට පැහැදිලි සාධක වේ.

30 වන වැකියේ නබිවරයාගේ භාර්යාවනි, නුඹලාගෙන් යම් කෙනෙක් පැහැදිලි අශිෂ්ට සම්පන්න ක්‍රියාවක් කළේ නම් ඇයට වේදනාව දෙගුණයකින් පිරිනමනු ලැබේ යයි අල්ලාහ් පවසයි. අනෙක් කාන්තාවන්ට වඩා නබිවරයාගේ භාර්යාව සිදු කරන විනය සම්බන්ධ වරදට අනෙකුත් අයට වඩා දෙගුණයකින් දඬුවම් තිබෙන බව මෙයින් පෙනේ.

31 වන වැකියේ නබිවරයාගේ භාර්යාවන්ට දෙගුණයකින් තිළිණ ඇති බව ප්‍රකාශ කෙරේ.

32 වන වැකියේ “නබිවරයාගේ භාර්යාවනි, නුඹලා කාන්තාවන්ගෙන් අන් අය මෙන් නොවෙති. නුඹලා (දෙවියන්ට) බිය බැතිමත් වූවා නම් ඉතා කුලූපගව කථා නොකරන්න. කවරෙකුගේ සිතේ ලෙඩක් තිබේ ද ඔහු චපල වනු ඇත. අලංකාර වදනක් ම ප්‍රකාශ කරන්න” යනුවෙන් අල්ලාහ් පවසයි. විනය සම්බන්ධ කාරණා වල දී නබිවරයාගේ භාර්යාවන් අන් අය මෙන් නොවන බව අල්ලාහ් මෙම වැකියේ පැහැදිලි පවසයි.

33 වන වැකියේ “නුඹලාගේ නිවෙස්හි ම රැඳී සිටින්න. පෙර දී අනුවණ යුගයේ හෙළි දරව් කර ඇවිද්දා සේ නොඇවිදින්නැ”යි අල්ලාහ් පවසයි. අනෙක් කාන්තාවන් තම අවශ්‍යතාවන් උදෙසා පිටතට යා හැකිය. නමුත් නබිවරයාගේ භාර්යාව නිවසෙන් පිටතට නොයා යුතුයයි අල්ලාහ් පවසයි.

මෙම වැකි ගැන කල්පනා කර බලන විට දී, මුහුණු ආවරණය කිරීම ද නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියක් වන බව සක් සුදක් සේ පැහැදිලිව පෙනේ.

තව ද මෙම නීතිය නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ වන බවට හදීස් වල ද පැහැදිලිව ප්‍රකාශ වී ඇත.

උමර් (රලි) තුමා දැනුම් දෙයි.

අල්ලාහ්ගේ දූතයාණනි, තමන් වෙත හොඳ අයත් නරක අයත් පැමිණෙති. එබැවින් දේව විශ්වාසිකයින්ගේ මාතාවන් “හිජාබ්” (තිරයක්) දමා සිටින මෙන් අණ කළේ නම් යහපතක් විය හැකියයි මම ඇසුවෙමි. එවිට අල්ලාහ් “හිජාබ්” (නීතිය) සම්බන්ධ වැකිය පහළ කළේය.

මූලාශ්‍රය : බුහාරි (4790, 4483)

සියලු කාන්තාවන් තමන් ආවරණය කර ගත යුතුයයි නීති පනවන මෙන් උමර් (රලි) තුමා ඉල්ලා සිටියේ නැත. දේව විශ්වාසිකයින්ගේ මාතාවන් හෙවත් නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට මෙම විනය නීතිය පනවන මෙන් ඉල්ලා සිටියේ ය. මෙම වැකිය පහළ වූයේ ඒ වෙනුවෙන් ය.

මෙම වැකිය නබි නායක (සල්) තුමාණන්ගේ පවුලේ අය සම්බන්ධයෙන් පහළ වූ බවට පහත සඳහන් හදීසය ද සාධකයක් සේ පිහිටා ඇත.

නබි නායක (සල්) තුමාණන් සෛනබ් (රලි) තුමිය විවාහ කළ විට විවාහ සංග්‍රහයක් පිළියෙල කළ හ. එවිට සැවොම සංග්‍රහය භුක්ති විඳ ගිය පසුත් පිරිසක් නබි නායක (සල්) තුමාණන්ගේ නිවෙස තුළ හිඳිමින් කථා බහ කරමින් සිටිය හ. මෙය නබි නායක (සල්) තුමාණන්ට ඉතා දුෂ්කරතාවක් ඇති කළේ ය. (සියල්ලෝ ම පිටත් වී ගිය පසු) ජනතාවගෙන් පිරිසක් පමණක් (නැගිට නොගොස්) අල්ලාහ්ගේ දූතයාණන්ගේ නිවසේ හිඳිමින් කථා බහ කරමින් සිටිය හ. අල්ලාහ්ගේ දූතයාණන් ද හිඳගෙන සිටිය හ. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ භාර්යාව (සෛනබ් (රලි) තුමිය) තම මුහුණ බිත්තිය දෙසට හරවමින් සිටියා ය. එහි සිටි අය (නැගිට පිටත් නොවීම) අල්ලාහ්ගේ දූතයාණන්ට බරක් විය.

එබැවින්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පිටත් වී තම අනෙකුත් භාර්යාවන්ට සලාම් කියා (සුබ පතා) සුව දුක් විමසා හැරුණ හ. අල්ලාහ්ගේ දූතයාණන් ආපසු ඒම දැක, ඒ පිරිස තමන් අල්ලාහ්ගේ දූතයාණන්ට බරක් වූ බව වටහා ගත් හ. එබැවින් දොරටුව වෙත වේගයෙන් ගොස් සියල්ලෝ ම පිටත් වූහ.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පැමිණ තිරයක් දමා නිවසට ඇතුළු වූ හ. මම ඒ කාමරයේ අසුන් ගෙන සිටියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් මද වේලාවක් පමණක් සිටින්නට ඇත. ඒ අතර තුර පිටත් වී මා වෙත පැමිණිය හ. එවිට (එතුමාණන්ට) මෙම (33:53) වැකිය පහළ වී තිබිණ. අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පිටත් වී පැමිණ ජනතාවට ඒ වැකි පාරායණා කර පෙන්වූ හ. “විශ්වාස කළ අය වලුනි, නබිවරයාගේ නිවෙස්හි (ආරාධනාවකින් තොරව) ඇතුළු නොවන්න. එසේ (එහි පවතින) සංග්‍රහය වෙනුවෙන් නුඹලාට අවසර දෙනු ලැබුවත්, එවිට ද, ආහාර පිළියෙල කිරීම බලාපොරොත්තු වී (එහි රැඳී) නොසිටින්න. නමුත්, නුඹලා ආරාධනා කරනු ලබන විට දී ඇතුළු වන්න. අනුභව කළ වහාම විසිරී යන්න. කථා කිරීමෙහි උනන්දුවෙන් නොසිටින්න. නියතව, මෙම ක්‍රියාව නබි වරයාට වේදනාව ගෙන දේ” යන්න ම එම වැකිය වේ.

“මෙම වැකිය පහළ වූ පසුබිම සම්බන්ධයෙන් ද නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාව ‘හිජාබ්’ (තිරයක්) දමා ආවරණය කර ගැනීම සම්බන්ධයෙන් ද ජනතාවගෙන් අධිකව දැන සිටින්නේ මම යැ”යි අනස් බින් මාලික් (රලි) තුමා පවසයි.

මූලාශ්‍රය : මුස්ලිම් (2803)

මෙම සිද්ධිය ම වෙනත් වචන වලින් බුහාරි 5466 වන හදීසයේ ද වාර්තා වී ඇත.

මෙම වැකිය පහළ වූ පසුබිම ද මෙම වැකියේ භාවිත කර තිබෙන පාඨ ද මුහුණු ආවරණය කිරීම යන නීතිය නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ වන බවට කිසිඳු සැකයකින් තොරව දන්වා සිටියි.

මෙසේ තිබිය දී නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන් නොවන කෙනෙක් මුහුණ ආවරණය කිරීම අති උද්ච්ඡකමක් සේ සැලකේ. මන්දයත් අන් අය මුහුණු ආවරණය කිරීම තුළින් තමන් ද නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන් හෙවත් විශ්වාසිකයින්ගේ මාතාවන් වීමට වක්‍රාකාරව උත්සහ දැරීමක් සිදු වේ. දේව විශ්වාසිකයින්ගේ මාතාව යනුවෙන් ගෞරව නාමයෙන් පිදුම් ලැබූ උසස් තනතුරට තමන් ද එකතු කර ගැනීමට වෙර දැරීම අති බිහිසුණු පවකි. නබි නායක (සල්) තුමාණන්ගේ නිවැසියන්ට අහ්ලුල් බයිත් යනුවෙන් අති උදාර ගෞරවයක් අල්ලාහ් පිරිනමා ඔවුන් පවිත්‍ර කරන බව ද එම වැකි වල සදහන් වේ. එකී ගෞරවය හා විශේෂ වරප්‍රසාදය සෙසු කාන්තාවන්ට නොලැබෙන විට දී අහ්ලුල් බෛතයට අයත් නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට අදාළ නීතියක් සෙසු කාන්තාවන් තමන්ට ද ආරෝප කර ගැනීම අති මහත් වරදක් වන බවට අබමල් රේණුවක තරම්වත් සැකයක් නැත. මන්ද යත් අල්ලාහ් විශිෂ්ටත්වයට පත් නොකළ දෙයක් කිසිවෙකුට විශිෂ්ටත්වයට පත් කළ නොහැකි බව ඉස්ලාම් අවධාරණය කරයි.

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ හා සම්මත නබි වදන් පර්යේෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ මුහුණු ආවරණය නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියක් වන බවයි. සෙසු මුස්ලිම් කාන්තාවන්ට අදාළ නීතිය වන්නේ මුහුණු හා මැණික් කටුව දක්වා දෑත් විවෘත කළ යුතු බවයි. එබැවින් මුහුණු ආවරණට බිද්අත් හෙවත් ධාර්මික ආදර්ශයක් නොමැති නූතන කටයුත්තකි. බිද්අත් සියල්ල දුර් මාර්ග වේ. සියලු දුර්මාර්ග නිරයට මග පෙන්වයි.

තව ද ධාර්මික නීතියෙන් කොටසක් පිළිගෙන කොටසක් ප්‍රතික්ෂේප කිරීම දරුණු දඩුවම් ලබා දෙන පාපකාරී ක්‍රියාවකි.

ධර්ම ග්‍රන්ථයෙහි කොටසක් විශ්වාස කොට තවත් කොටස් ප්‍රතික්ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් මෙසේ සිදු කරන්නන්ට මෙලොව ජීවිතයේ නින්දාවක් මිස වෙනත් කුලියක් නැත. කියාමත් දින   දැඩි වේදනාවට   ලක් කරනු ලබති. අල්ලාහ් නුඹලා කරන දේ ගැන නොසලකන්නෙක් නොවේ.

පරිශුද්ධ වූ අල් කුර්ආනය 2 : 85

 

                                                                     අල්ලාහ් ම සර්වඥ වේ!