ඉස්ලාම් යනු කුමක්ද?

ඉස්ලාම් යනු කුමක්ද?

 “ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්,

  1. අවනත වීම
  2. සාමය

සර්ව බලධාරී එකම දෙවියන්ට පිවිතුරු හදවතින් හා මුළු සිතින් ම අවනත වීම ඉස්ලාම් වේ.

إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ (131)سورة  البقرة

ඔහුගේ (ඉබ්‍රාහීම්ගේ) දෙවියන් ඔහුට අවනත වන්නැයි කී විට විශ්වයේ දෙවියන්ට මම අවනත වූයෙමි යි ඔහු පැවසීය.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 2:131

මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍යය හිමි වේ. මේ ආකාරයට සර්ව බලධාරී එකම දෙවියන්ට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්ව බලධාරී එකම දෙවියන් තම බල පරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාව ධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.

وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلٌّ لَهُ قَانِتُونَ (26) سورة الروم

අහස්හි ද පොළොවෙහි ද සියල්ල ඔහුට ම හිමි ය. සියල්ල ඔහුට ම අවනත වන්නේ ය.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 31: 26

අප ජීවත් වන මෙම විශ්වය ගැන මදක් විමසා බලමු. විශ්වයේ ඇති සියළු දෑ නිසි පිළිවලකට අනුව ක‍්‍රියාත්මක වීම දැකිය හැකිය. ඉර සඳ ඇතුළු ග‍්‍රහවස්තු සියල්ල යම් කිසි දිව්‍යමය න්‍යායකට අනුව ක‍්‍රියාත්මක වේ. මේවා සියල්ල වෙනස් කළ නොහැකි න්‍යාය ධර්මයකට අනුව ක‍්‍රියාත්මක වේ. ඉස්ලාමීය පරිභාෂිතයෙන් කියනවා නම් ඒවා සියල්ල එකම දෙවියන්ගේ අණ අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකර සහමුලින් ම ඔහුට අවනත වී ක‍්‍රියාත්මක වෙයි.

මේ ආකාරයට ම විශ්වයේ ඇති කුඩාම වස්තුව වන පරමාණුවක් ගැන සලකා බලන කළ එහි නෂ්ටිය වටා කුඩා අංශුවක් වන ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. මේ කරුණු අධ්‍යනය කිරීමේදී අපට වටහාගත හැකි කරුණ නම් විශ්වයේ විශාලත ම අංශය වන ග‍්‍රහ වස්තුන්ගේ සිට කුඩා ම අංශුව වන පරමාණුවෙනුත් කොටසක් වූ ඉලෙක්ට්‍රොනය දක්වා ම ඒවායේ මැවුම්කරුවාණන් වන සර්ව බලධාරී දෙවියන්ගෙන් ඒවාට ලැබී ඇති අණට කීකරු වී ඒවා අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකර ක‍්‍රියාත්මක වන බවයි.

මේ මිහිතලය මත ඇති ගස් කොලන් සත්වයින් පක්‍ෂීන් ඇතුළු ජීවී හා අජීවී සියල්ල මේ ආකාරයට ම ස්වභාව ධර්මය නම් දිව්‍යමය න්‍යායට (ඉස්ලාමයට) අනුව, නියතියකට අනුව ජීවත් වේ. එනම් මේවා සියල්ල ඒවායේ මැවුම්කරුවාණන් මෙන්ම පාලකයාණන් ද වන සර්ව බලධාරී එකම දෙවියන්ට මුළුමනින් ම අවනත වී ජීවත් වෙති.

මනුෂ්‍යයාගේ ජෛව විද්‍යාත්මක පැත්ත ගැන සලකා බලන විටත් අපට වටහගත හැක්කේ කුඩා ‍සෛලයේ සිට හෘද වස්තුව මොලය ඇතුළු සියලු කායික ඉන්ද්‍රීයයන් ද එකම දෙවියන්ගේ නියමයට යටත් වී අවනත වී ක‍්‍රියාත්මක වන අතර සර්ව බලධාරී එකම දෙවියන්ගේ නියමය අල්පමාත‍්‍රයකින් හෝ කඩ නොකරන බවයි.

ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ මේ මිහිතලය මත ඇති ඉතාම කුඩා අංශුව වන පරමාණුවේ සිට ඈත අහසේ දිළිසෙන මන්දාකිණි ඉර සඳ ග‍්‍රහ වස්තූන් අහස පොළොව ඇතුළු සියළු අභ්‍යවකාශ වස්තුන් සර්ව බලධාරියා ද සර්වඥ ද වන එකම දෙවියන්ගේ නියමයට සහමුලින් ම අවනත වී සිටින නිසා ඒවා සියල්ල ඉස්ලාම් වන බවයි. මේ අයුරින් ම මෙලොව ඇති ජලය, තාපය, කදු, ගස් වැල්, සිවුපාවුන් අතුළු (මිනිසුන් හැර) ජීවී හා අජීවී සියල්ල එකම දෙවියන්ගේ නියමයට අල්පමාත‍්‍රයකින් හෝ පිටුපා නොයමින් මුළුමනින් ම අවනත වන නිසා ඒවා සියල්ල ඉස්ලාම් වේ.

මෙසේ මිනිසා හැර මේ පෘතුවිය මත ඇති ජීව අජීව සියල්ල තම බල මහිමයෙන් ම ඉස්ලාම් බවට (දෙවියන්ට යටත් වන තත්වයට) පත් කළ සර්ව බලධාරී එකම දෙවියන් මිනිසාට පමණක් විචාර බුද්ධියත් ඥානයත් දායාද කර, යහමග හෝ අයහමග තොරා ගැනීමේ නිදහස ද ලබා දී තම විචාර බුද්ධිය භාවිත කර අයහමගෙන් ඈත් වී යහමග තොරාගෙන සර්වබලධාරී එකම දෙවියන්ට මුළුමනින්ම අවනත වන ඉස්ලාමය නම් යහමගෙහි ජීවත් වන මෙන් අණ කළේ ය.

මො‍ලොව ප්‍රථම මිනිස් යුවල වන “ආදම්” හා “ඒව”ව මවා මෙලොවට යැවූ දා සිට ඒ දෙදෙනාට හා ඔවුන්ගෙන් ව්‍යාප්ත වූ මෙම මුළු මහත් මිනිස් සංහතියටම විශ්වයාධිපති එකම දෙවියන් ලබාදුන් පණිවිඩය වන්නේ එකම දෙවියන් වන ඔහුට පමණක් නැමදුම් කර ඔහු විසින් ලබාදුන් දිව්‍යමය නීතියට පමණක් අවනත වන ලෙයසි. මෙම දිව්‍යම නීතිය මිනිසාට දැනුම් දීම සඳහා මිනිසුන් අතරින්ම යහපත් පුද්ගලයින්ව දෙවියන් විසින් දේව ධර්ම දූතවරු (නබිවරුන්) වශයෙන් තොරා පත්කර එතුමන්ලාට දේව ධර්ම ග්‍රන්ථ ද පිරිනමන ලදි. මෙම දේව ධර්ම දූතවරුන්ගේ මඟ පෙන්වීමට අනුව දෙවියන්ට සහමුලින්ම අවනත වී දේව ධර්ම ග්‍රන්ථය මගින් අණ කරනු ලබූ දිව්‍යම නීතිය පිළිපදිමින් ජීවත් වීමට “ඉස්ලාම්” යැයි කියනු ලැබේ. මෙසේ ජීවත් වන්නා “මුස්ලිම්” (ඉස්ලාම් නැමැති කාර්ය ඉටුකරන්නා) යැයි හඳුන්වනු ලැබේ. මෙසේ දිව්‍යම නීතියට අවනත වීම තුලින් සාමය උදාකර ගැනීම ඉස්ලාම් වේ.

ඉස්ලාම් හා අනෙකුත් ආගම් නාමයන්

ලොව ඇති අනිකුත් ආගම් හා දර්ශන ගැන මදක් විමසා බැලූ විට අපට වටහාගත හැකි කරණක් නම් ඒවා සියල්ල යම්කිසි පුද්ගලයෙක් හෝ ප‍්‍රදේශයක සමාජයක නාමයෙන් ව්‍යවහාරය වීමයි. නිදසුනක් ලෙස ක්‍රිස්තියානි ආගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ද, බෞද්ධාගම ගෞතම බුදුන් වහන්සේගේ නාමයෙන් ද ව්‍යවහාරය වේ. හින්දු ආගම ඉන්දියාවේ හින්දු සමාජයෙන් බිහි වූ නිසා හින්දු යන නමින් ද යුදෙව් ආගම යූදියා නැමැති රටේ යූදා නම් ගෝත‍්‍රයෙන් බිහි වූ නිසා ඒ නමින් ද හඳුන්වනු ලැබේ. නමුත් ඉස්ලාම් දහම කිසිඳු පුද්ගලයෙකුගේ හෝ රටක, සමාජයක නමින් ව්‍යවහාරය නොවේ. දේව නීතියට සහමුලින්ම යටත් වී ජීවත් වන මෙන් අණ කරන මෙම දිව්‍යම දහමට ඉස්ලාම් යන අර්ථවත් නම තබන ලද්දේ සර්වබලධාරී එකම දෙවියන් වන අල්ලාහ් විසින්ම යි.

මේ ගැන අවසාන දේව ධර්ම ග්‍රන්ථය ද කිසිඳු විකෘති කිරීමකට ලක් නොවූ එකම දේව ධර්ම ග්‍රන්ථය ද වන පරිශුද්ධ වූ අල්-කුර්ආනයේ සර්ව බලධාරී දෙවියන් මෙසේ පවසයි.

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا(3)  سورة المائدة

අද දින නුඔලා වෙනුවෙන් නුඔලාගේ ධර්මය මම සම්පූර්ණ කළෙමි, නුඔලා වෙත මාගේ අනුග‍්‍රහයන් ද පරිපූර්ණ කළෙමි, තවද ඉස්ලාමය නුඔලා වෙනුවෙන් වූ ජීවන මාර්ගයක් වශයෙන් සතුටින් තෝරා ගතිමි.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 5:3

 

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ مِلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِنْ قَبْلُ وَفِي هَذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ فَأَقِيمُوا الصَّلَاةَ وَآَتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ فَنِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُ (78) سورة الحج

අල්ලාහ් විෂයයෙහි ධර්ම සටනේ නියැලිය යුතු ආකාරයට ධර්ම සටනේ නියැලෙන්න. මෙම දූතයා මුහම්මද් නුඹලාට පැහැදිලිව ප්‍රකාශ කරන්නෙක් වනු පිණිසත් නුඹලා සෙසු ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කරන්නන් වනු පිණිසත් ඔහු නුඹලා තෝරා ගෙන ඇත්තේ ය. නුඹලාගේ පියා වන ඉබ්‍රාහීම්ගේ ධර්මයේ ඔහු නුඹලාට කිසිදු අපහසුවක් ඇති නොකළේ ය. මෙහි ද මීට පෙර ද නුඹලාට මුස්ලිම් යැයි නම් කළේ ඔහු ය. එබැවින් සලාතය ඉටු කරන්න. සකාතය පිරිනමන්න. අල්ලාහ්ව තදින් අල්ලා ගන්න. නුඔලාගේ භාරකරුවා ඔහු ය. (ඔහු) විශිෂ්ට භාරකරුවෙකි, විශිෂ්ට උදව්කරුවෙකි.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 22:78

මෝසෙස් තුමා හෝ ඊශ‍්‍රායීල්වරුන් වෙත පැමිණි කිසිඳු අනාගත වක්තෘවරයෙක් තම වක්තෘ මෙහෙය ඉටුකරන විට යුදෙවි ආගම යන නම භාවිත කළ බවට යුදෙව් ආගමික ග්‍රන්ථයන් වන තෝරා (කිතුනු බයිබල‍යේ පැරණි ‍‍‍තෙස්ත‍‍මෙන්තු‍වේ පළමු කෘති පහ), ටැල්මුඩ් හෝ මික්නාෂ්වල කොතැනකවත් සඳහන් නොවන අතර යුදෙව් ආගම නැමැති පදය බයිබල් ශබ්ද කෝෂයේ ද නොමැත. එසේම යේසුස් වහන්සේ ද තම ආගම ක‍්‍රිස්තියානි යනුවෙන් හෝ තම අනුගාමිකයින්ව ක‍්‍රිස්තියානිවරු යනුවෙන් හෝ හැඳින් වූ බවට ද බයිබලයේ කිසිම තැනක සඳහන් නොවේ. ක‍්‍රිස්තියානිවරු යන වචනය ප‍්‍රථමයෙන්ම භාවිත කළේ අන්තියෝක් නම් ස්ථානයේ බවයි පහත බයිබල් වාක්‍යයෙන් පැහැදිලි වන්නේ.

ගෝලයන්ව කි‍්‍රස්තියානීන් ලෙස පළමු වරට හැඳින් වූයේ අන්තියෝකියේදී ය.

අළුත් ගිවිසුම ක‍්‍රියා 11-26

ඉහත බයිබල් වාක්‍යයට අනුව ක‍්‍රිස්තියානි නැමති පදය යේසුස් වහන්සේට බොහෝ කලකට පසු ව්‍යවහාරයට ආ වචනයක් බව පැහැදිලි ය. මෙම තත්වය කිතුනු දහම පදනම් කරගෙන හුවා දැක්වූව ද ඉස්ලාම් හැර අනිකුත් සියලූ දහම්වලට අත් වූ ඉරණම මෙයයි. ඒ අනුව පැහැදිලි වන කරුණ නම් අනාගත වක්තෘවරු දේශනා කර අත්තේ එකම දෙවියන්ට අවනත වී උන්වහන්සේට පමණක් නැමදුම් කර උන්වහන්සේගේ අණ පණත් හා නීති නියෝග අනුව ජීවත් වන ලෙයසි. එනම් ඉස්ලාමයට අනුව ජීවත් වන ලෙයසි. මෙහිදී ඉතාමත් වැදගත් කරුණක් දෙස අපි අවධානය යොමු කළ යුතුයි.

ලොව පහළ වූ සියලු දේව ධර්ම දූතවරුන්ගේ ධර්මය ඉස්ලාමයයි

එනම් මුස්ලිම් නොවන බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සත් වන ශත වර්ෂයේ සෞදි අරාබියේ මක්කා නගරයේ ජීවත් වූ මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා වන බවයි. නමුත් සත්‍ය නම් මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයාණන් නොව එම පිවිතුරු දහම ලොවට දේශනා කළ අනාගත වක්තෘ දම්වැලේ අවසන් පුරුකය යන්නයි. ඇත්ත වශයෙන්ම විශ්වයේ අධිපති එකම දෙවියන්  වන සර්වබලධාරී අල්ලාහ් විසින් ඉස්ලාම් දහම මුලින්ම දෙනු ලැබුවේ මෙලොවේ ප‍්‍රථම මිනිසා ද ප‍්‍රථම අනාගත වක්තෘවරයාද වූ ආදම් (අ‍ලෛ) තුමාට යි. එතුමාගෙන් පටන් ගෙන මෙලොවට ආ නෝවා(නූහ්) එබ‍්‍රහාම් (ඉබ්රාහීම්) දාවිත් (දාවූද්) මෝසෙස් (මූසා) යේසුස් (ඊසා) ඇතුළු සියළු අනාගත වක්තෘවරුන්ගේ ආගම වූයේ ද ඉස්ලාමයයි. මේ ආකාරයට මේ මිහිතලය මත ඉස්ලාම් නැමැති විශ්වයාධිපති එකම දෙවියන්ට අවනත වීමේ පිවිතුරු දහම ස්ථාපිත කිරීම සඳහා ඔහු විසින් ලක්‍ෂයකටත් අධික අනාගත වක්තෘවරුන්ව තෝරා පත්කර ඔවුන්ට ධර්ම ග්‍රන්ථය ද ලබා දෙන ලදී. නමුත් එක් අනාගත වක්තෘවරයෙක් ඉස්ලාමය නිවැරදිව ස්ථාපිත කර ධර්ම ග්‍රන්ථය ද ජනතාව අතරට පත් කොට මිය ගිය පසු එම අනාගත වක්තෘවරයාව දෙවියන්ගේ තත්වයට සමාන කර එතුමාට වැඳුම් පිඳුම් කිරීමත් එතුමා විසින් දෙවියන්ගෙන් ලබාදුන් දේව ධර්ම ග්‍රන්ථයට මිනිසාගේ අදහස් ඇතුළු කොට එහි දිව්‍යමභාවය කෙලසීමටත් එම සමාජය ඉදිරිපත් වූහ. ඉන්පසු නැවතත් තවත් අනාගත වක්තෘවරයෙකුගේ අවශ්‍යතාවය පැන නැගුණි. යළිත් තවත් අනාගත වක්තෘවරයෙක් පැමිණ නිවරදි ඉස්ලාමය ස්ථාපිත කළ පසු එතුමාට ද කලින් අනාගත වක්තෘවරයාගේ ඉරණම අත් විය. මෙසේ දේව ධර්ම ග්‍රන්ථයට මිනිස් අදහස් ඇතුළු කිරීමත් එහි දිව්‍යම භාවය කෙලසීමත් මිනිසා ඉතිහාසය පුරාවටම තම සිරිතක් කර ගත්තේ ය. වර්ථමාන‍යේ ලොව දකින්නට තිබෙන සියළු ආගම් (ඉස්ලාම් හැර) පෙර සමාජවලට සර්වබලධාරී දෙව්යන් විසින් අනාවර්ණය කරන ලද ධර්ම ග්‍රන්ථ මිනිසුන් විසින් විකෘති කිරීම්වලට ලක්‍කර මිනිස් අදහස් ඇතුළු කළ පසු ඒවා විවිධ ශාස්තෘවරුන්‍ පදනම් කරගෙන ව්‍යවහාරයට ගැනුණු දර්ශනයන් වේ.

පරිශුද්ධ වූ අල් කුර්ආනය සදා සුරක්ෂිත ධර්මයයි

අවසාන වශයෙන් සර්වබලධාරී දෙවියන් සියළු ප‍්‍රදේශවලටත් සියළු සමාජවලටත් පොදු වූ එකම අනාගත වක්තෘවරයා වශයෙන් ද යුගාන්තය දක්වා වූ අවසාන අනාගත වක්තෘවරයා වශයෙන් ද මුහම්මද් (සල්) තුමාණන්ව තෝරා පත්කර එතුමාණන්ට අල්-කුර්ආනය නැමැති දිව්‍යම පුස්තකය ද ලබාදුන්නේ ය. එම දිව්‍යම පුස්තකය අවසානය දක්වා ආරක්‍ෂා කිරීමේ වගකීම ද සර්වබලධාරී දෙවියන් වන අල්ලාහ්ම භාර ගත්තේ ය. සර්වබලධාරී අල්ලාහ් පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ සඳහන් කරයි,

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ (9) سورة الحجر

මෙම ධර්ම ග්‍රන්ථය අපිම පහළ කළෙමු. එය අපිම (අවසානය දක්වා) ආරක්‍ෂා කරමු

පරිශුද්ධ වූ  අල්කුර්ආනය 15:9

මේ ආකාරයට එහි ආරක්‍ෂාව පිළිබඳ වගකීම භාරගත් සර්වබලධාරී දෙවියන් සියවස් 15ක් පුරාවටම සියළු ආකාරයේ දුෂණවලින් එය ආරක්‍ෂා කර තිබීම විවෘත හදවතින් එය පරිශීලනය කිරීමේදී දැනගත හැකිය. එසේම මින් ඉදිරියටත් එහි ආරක්‍ෂාව පිළිබඳූව කිසිඳු සැකයක් නොමැත.

අල්-කුර්ආනය නම් වූ එම දිව්‍යම පුස්තකය මුහම්මද් (සල්) තුමාණන්ට අනාවරණය කරනු ලැබූ මුල් බස වන අරාබි බසින් ඒ ආකාරයෙන් ම අදටත් පැවතීමත්, එම භාෂාව ද මළ භාෂාවක් බවට පත් නොවී ලෝකයේ අති බහුතරයකගේ මව් භාෂාව වශයෙන් ව්‍යවහාරයේ පැවතීමත් අල්-කුර්ආනයේ ආරක්‍ෂාව ගැන කථා කරන කළ ඉතා වැදගත් ලක්‍ෂණයන් වේ. මෙම සත්‍ය දේව හෙළිදරව්ව ලොවට දේශනා කළ අනාගත වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන්ව ළගින්ම ඇසුරු කළ එතුමාණන්ගේ සමීපතම මිත්‍රයින් විසින්ම එය ග‍්‍රන්ථාරූඩ කිරීමත්, එම මිත්‍රයින් විසින් ග‍්‍රන්ථාරූඩ කරන ලද මුල් පිටපත් අදටත් පැවතීමත් අල්-කුර්ආනයේ නිරුපද්‍රිතභාවයට කදිම සාක්‍ෂි වේ.

(මුහම්මද් (සල්) තුමාණන්ගේ බෑනා හා එතුමාණන්ගේ සමීපතම අනුගාමිකයෙක් ද වූ ඉස්ලාමීය අධිරාජ්‍ය‍ය තුන්වන කලීෆා තැන්පත් උස්මාන් (රලි) තුමාගේ පාලන කාලයේ එතුමාගේ නායකත්වයෙන් ලියන ලද මුල්පිටපත් දෙකක් අදටත් සෝවියට් දේශයේ තාෂ්කන්ඩ් කෞතුකාගාරයේ හා තුර්කියේ ස්තම්බූර් කෞතුකාගාරයේ දැකිය හැකිය.)

අල්-කුර්ආනය එහි මුල් බසින්ම කටපාඩම් කිරීම නබි නායක තුමාණන්ගේ සමයේ සිට අද දක්වාම මුස්ලිම් සමාජය කලාවක් හැටියට සැලකීම ද අල්-කුර්ආනයේ ආරක්‍ෂාව තවත් තහවුරු වේ. මේ ආකාරයට ලොවේ දැනට ඇති මිනිස් අදහස්වලින් දුෂණය නොවූ අඩු වැඩි කිරීම්වලට ලක් නොවූ හා දෙවියන් වහන්සේ විසින් අනාවරණය කළ පසු සංශෝධනයන්ට ලක් නොවූ එකම දිව්‍යම පුස්තකය පාරිශුද්ධ වූ අල්-කුර්ආනය පමණක් බව ස්ථිරවම ප‍්‍රකාශ කළ හැකිය.

මේ ආකාරයට දැනට ලොව ඇති එකම ඉස්ලාම් නම් ස්වභාවික යහමග අල් කුර්ආනයත් එම අල් කුර්ආනයට විවරණය වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවන සැලැස්මත් අනුගමනය කිරීම ‍වේ. ‍මේ අනුව අදට මුස්ලිම් යැයි හැදින්විය හැක්‍කේ උප්පැන්න සහතික‍යේ අරාබි නමක් සදහන් වී ජාතිය මුස්ලිම් යැයි සදහන් කර ඇති පුද්ගලයා ‍‍හෝ පාරම්පරිකව මුස්ලිම් යැයි හදුන්වා ගන්නා ‍දෙමාපියන්ට දාව ඉපදී යම් සම්ප්‍රදායික චාරිත්‍රයන් පිළිපදින පුද්ගලයා ‍හෝ ‍නොව, ‍ ‍‍දේව පණිවුඩ‍‍‍‍‍‍‍යේ පළමු ‍කොටස වන පරිශුද්ධ වූ අල් කුර්ආනයත් එහි ‍‍දෙවෙන ‍කොට වන එම කුර්ආනයට විග‍්‍රහය වූ මුහම්මද් (සල්) තුමාණන්‍‍ගේ ජීවන සැලැස්මත් ‍‍‍හොදින් වටහා‍නෙ පිළිපදින පුද්ගලයාටය. ‍මේ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ කුර්ආනයත් ‍‍එම කුර්ආනයට විග්‍රහය වූ දේව ධර්ම දූත මුහම්මද් (සල්) තුමාණ‍‍ගේ ජීවන සැලැස්මත් පමණි. ‍මෙම මූලාශ්‍රයන් ‍‍‍දෙකට අනුව පමණක් සිය ප්‍රතිපත්ති හා ක්‍රියාවන් සකසා ගත් පුද්ගලයා මුස්ලිම් (ඉස්ලාම් නැමැති කාර්ය ඉටුකරන්නා) ‍වේ.‍ මෙම මූලාශ්‍රයන් ‍දෙක අවුරුදු 1500කට ‍‍පෙර මුහම්මද් ධර්ම දූතයාණන් විසින් ‍‍‍‍දේශණා කළ ආකාරයටම අදටත් ජීවමානව පවතී.

ඉස්ලාම් දහ‍‍මේ පදනම් මූලාශ්‍ර

මේ මිහිතලය මත මිනිසා පා තැබූ දා සිට ඉස්ලාම් දහ‍‍මේ එකම මූලාශ්‍රය වන්‍‍නේ දේව පණිවිඩයයි.

اتَّبِعُوا مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ وَلَا تَتَّبِعُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ قَلِيلًا مَا تَذَكَّرُونَ (3) سورة الأعراف

නුඹලාගේ දෙවියන් වෙතින් නුඹලාට පහළ වූ දැය ම අනුගමනය කරන්න. ඔහු හැර අන් කිසිවෙක් භාරකරුවන් ලෙස නොගන්න. සුළු වශයෙන් ම ය නුඹලා ඉගෙනුම ලබන්නේ.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 7:3

‍මෙම ‍‍දේව පණිවිඩයට අරාබි භාෂා‍වෙන් වහී යැයි කියනු ලැබේ. ඉස්ලාම් දහමට අනුව මිනිසා තම සියලු ක්‍රියා වහී නම් දේව පණිවිඩයට අනුව ම සකසා ගත යුතුය. මෙම දේව පණිවිඩය කොටස් දෙකකි. එනම්

  1. සර්ව බලධාරී දෙවියන් ජිබ්රීල් නම් තම සුර දූතයා මාර්ගයෙන් දේව ධර්ම දූතයාණන්ට සෘජුවම පාරායනය කර පෙන්වන ලද පරිශුද්ධ වූ අල් කුර්ආනයයි. මෙම පරිශුද්ධ වූ අල් කුර්ආනය අවසාන දේව ධර්ම දූතයාණන් වන මුහම්මද් තුමාණන්ට අවුරුදු විසි තුනක වක්තෘ මෙහ‍යේ දී එකම සර්වබලධාරී දෙවියන් වන අල්ලාහ්ගෙන් ලැබුණු අවවාද හා අනුශාසනා ඇතුලත් මගපෙන්වීමයි. එතුමාණන්ගේ අභාවයන් පසු සයමසක් ඇතුළත එතුමාණන් ළගින්ම ඇසුරු කළ එතුමාණන්ගේ මිත්‍රයින් විසින් ග්‍රන්ථාරූඩ කරන ලදි. මෙම පරිශුද්ධ වූ අල් කුර්ආනය ගැන ඇතැම් කරුණු ඉහත අප සදහන් කර ඇති අතර මුස්ලිම් අයට මෙන්ම මුස්ලිම් නොවන අයට ද මේ ගැන යම් දැනුමක් ඇත.
  2. වහී හි දෙවන කොටස වන්නේ දේව ධර්ම දූත මුහම්මද් (සල්) තුමාණන්ගේ මගපෙන්වීමයි. මෙය පර්ශුද්ධ වූ අල් කුර්ආනයේ ප්‍රායෝගික විග්‍රහයයි. ඉස්ලාමීය ව්‍යවහාරයෙන් මෙය හදීස් යනුවෙන් ද සුන්නාහ් යනුවෙන් ද හදුන්වනු ලැබේ. පරිශුද්ධ වූ අල් කුර්ආනය මගින් අල්ලාහ් විසින් කරන ලද අනුශාසනා හා අවවාදයන් අල්පමාත්‍රයක් හෝ උල්ලංඝනය නොකර ප්‍රා‍යෝගිකව තම ජීවිතයහි ක්‍රියාත්මක කරමින් සකළ ලෝවැසියාටම පූර්වාදර්ශය සැපයූ ආකාරය මෙම හදීස් මගින් විස්තර කෙරේ. දේව ධර්ම දූතයාණන්ව ළගින්ම ආශ්‍රය කරමින් එතුමාණන්ගේ අනුශාසනාවට අනුව සිය ජීවිත හැඩගස්වා ගත් සහාභාවරු නැමැති එතුමාණන්ගේ අනුගාමිකයින් විසින් පසු සියවස් තුළ ජීවත් වූ සැදැහැවත් ඥානවන්තයින්ට ප්‍රකාශ කරන විට ඔවුන් විසින් ග්‍රන්ථාරූඩ කර හදීස් ග්‍රන්ථ ලෙස ලොවට ඉදිරිපත් කරන ලදි. එවැනි ග්‍රන්ථ කිහිපයක නම් පහත ඉදිරිපත් කරමු.
  • සහීහුල් බුහාරී
  • සහීහ් මුස්ලිම්
  • සුනන් අබූ දාවූද්
  • සුනන් තිර්මිදී
  • සුනන් නසාඊ
  • සුනන් ඉබ්නු මා‍ජා
  • මුස්නද් අහ්මද්
  • මුඅත්තා
  • දාරමී
  • දෛයිලමී
  • හාකිම්
  • ඉබ්නු හිබ්බාන්
  • ඉබ්නු හුසෛමා
  • බෛහකී
  • තබ්රානී
  • මුස්නද් අල් බස්සාර්

මෙවැනි ග්‍රන්ථවල සැදැහැවත් දැනුම් දෙන්නන්ගේ දම්වැලෙන් ඉදිරිපත් කෙරෙන හදීස් සහීහ් හදීස් (සම්මත පුවත්) වේ. ඒවාට අවනත වීම හා පිළිපැදීම සෑම මුස්ලිම්වරයෙකුගේ ම අනිවාර්ය යුතුකමයි. ඔහු පරිශුද්ධ වූ අල් කුර්ආනය පිළිගන්නාක් මෙන්ම මෙය ද දේව පණිවුඩ ලෙස පිළිගත යුතුය. පරිශුද්ධ වූ අල් කුර්ආනය හා සහීහ් හදීස් කාසියක දෙපැත්තක් මෙනි. මෙයින් එකක් පිළිගෙන එකක් ප්‍රති‍කෂේප කළ නොහැකිය. මේ දෙකම පිළිගෙන ජීවිතයේ සෑම අංශයක් ම මෙම මූලාශ්‍රයන් දෙකට අනුවම පමණක් හැඩගස්වා ගන්නා පුද්ගලයා පරිපූර්ණ මුස්ලිම්වරයෙකි.

සර්ව බලධාරී එකම දෙවියන්ගේ දේව පණිවිඩය වන මෙම කුර්ආනයත් සහීහ් හදීසයත් මිනිස් ජීවිතයේ සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු සපයයි. උපතේ සිට මරණය දක්වා වූ ලෞකික ජීවිතය අධ්‍යාත්මිකව හැඩගස්වාගත යුතු ආකාරය මෙම දේව මූලාශ්‍රයන් දෙක මගින් මනාවටම පැහැදිලි කර ඇත. කෙල ගැසීම වැන සුළු කරණක සිට පාලනය කිරීම වැනි සංකීර්ණ කරුණක් දක්වාම මෙම මූලාශ්‍රයන් දෙ‍කෙන් ඉදිරිපත් ‍කෙරෙන කරුණු දේව ධර්ම දූත මුහම්මද් (සල්) තුමාණන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර එහි සාර්ථකත්වයද ඔප්පු කර ඇති නිසා ලොව දැනට ඇති එකම සහ කදිම යහමග මේ දෙක පමණි.

මෙම කුර්ආනය හා සහීහ් හදීස් යන මූලාශ්‍රයන්ට පරිබාහිරව, මෙ දෙකෙහි කිසිදු සාක්ෂියක් නොමැති යම් දෙයක් ඉස්ලාම් යන නමින් යමෙක් පිළිපැද්දහොත් එය මංමුළාවකි. මෙවැනි මංමුලාවන්ට ඉස්ලාමීය ව්‍යවහාරයෙන් බිද්අත් යැයි කියනු ලැබේ. බිද්අත් යනු නිරයෙන් කෙළවර වන මහා පාපයක් බවට දේව ධර්ම දූත මුහම්මද් නබි (සල්) තුමාණෝ අවවාද කර ඇත.

මේ අනුව ඉස්ලාම් යනු කුමක්ද? යන්නත්, මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාකලාපයන් කෙසේ විය යුතුද? යන්නත් ඔබ‍ට පැහැදිලි වනු ඇත.