මහ මැතිවරණය හා මුස්ලිම් ප්‍රජාව

මහ මැතිවරණය හා මුස්ලිම් ප්‍රජාව

මහ මැතිවරණය හා මුස්ලිම් ප්‍රජාව

අගෝස්තු මස 17 වන දින පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය. පාර්ලිමෙන්තු ආසන 196ක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයින් 6151ක් දෙනෙක් තරඟ වැදීමට නියමිතය. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අතිශයින් ම වැදගත් හා හැරවුම් ලක්ෂයක් සේ සැලකෙන මෙවර මැතිවරණයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ඇතුළු ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ද තරඟ කිරීම අපි දකිමු. එපමණක් නොව ජාතිවාදී ගින්න පතුරුවා හරිමින් නව ඡන්ද බැංකුවක් නිර්මාණය කර ගත් බොදු බල සේනාව සංවිධානය ද බොදු ජන පෙරමුණ (BJP) යන නමින් දේශපාලන පක්ෂයක් වශයෙන් නයා ලකුණින් කරලියට බැසීමත් මුස්ලිම් ජනතාව ඉතා අවධානශීලීව කල්පනා කළ යුතු දෙයක් බවට පත් වී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දී තරඟ කරමින් දූෂණය, අයුතු ලෙස බලය භාවිත කිරීම, ජාතිවාදී ක්‍රියා කාරකම් වැනි චෝදනා මත පරාජයට පත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අග්‍රාමාත්‍ය ආසනය ඉලක්ක කරගෙන තම පසුගිය කාලයේ ආත්මාර්ථකාමී මිත්‍රයින් සමග එකතු වෙමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී සිටීමත් මැතිවරණ භූමිකාවේ උණුසුම තව දුරටත් වැඩි කර ඇත.

 

අපගේ ස්ථාවරය එක්සත් උතුරු නැගෙනහිර පළාත් තුළ ෆෙඩරල් පාලන ක්‍රමයක දේශපාලන විසදුමකි යන ප්‍රතිපත්තිය යටතේ ජාතික දෙමල සන්ධානය ද මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කරමින් සිටිති.

ආසන පොරය අතිශයින් ම උණුසුම් වී තිබෙන මෙවන් වූ දේශපාලන වපසරියක් තුළ මුස්ලිම් ප්‍රජාව එළඹෙන මැතිවරණයට මුහුණ දීමට යන්නේ කෙසේ ද යන වග ඉතා ගැඹුරින් කල්පනා කළ යුතු දෙයකි පත් වී ඇත.

 

මුස්ලිම් ප්‍රජාවගේ නියෝජිතවරු යනුවෙන් විශ්වාස කෙරෙන රවූෆ් හකීම්, රිෂාද් බදූර්දීන්, හුනෛස් ෆාරුක් වැනි අය තමන් අතර ගැටුම් ඇති කර ගනිමින් තනතුරු හා පදවි ආසන රැක ගැනීමට දරණ කඳු පෙරළන තරම් වූ අති විශාල ප්‍රයත්නයන් ද දක්නට ලැබීම මුස්ලිම් ප්‍රජාව දේශපාලනික වශයෙන් මුහුණ දෙන දැවැන්ත අභියෝගයකි. මෙය මුස්ලිම්වරුන්ගේ දේශපාලන අතර මංවීමක් ලෙස ද සැලකිය හැකිය. විශේෂයෙන් ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිජ බිම වශයෙන් සැලකෙන නැගෙනහිර පළාතේ රිෂාද් බදූර්දීන්ගේ පක්ෂය පා තබමින් සිටීම දේශපාලන පළිගැනීම්, ඊර්ෂ්‍යාව හා බල ලෝභිත්වය මොනවට විදහා දක්වයි.

මුස්ලිම් දේශපාලන නායක වරු අතර පවතින ගැටුම් එක පසෙකත් මුස්ලිම් වරුන්ගේ පැවැත්ම ප්‍රශ්නාර්ථයක් කරන දිය යට ගින්දර ගෙන යන කුමන්ත්‍රණ තවත් පසෙකත් සිදු වෙමින් පවතින තත්ත්වයක් තුළ දී මෙම මැතිවරණය අප වෙත පැමි‍ණෙමින් තිබේ. විශේෂයෙන් ම අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ ප්‍රශ්න, විල්පත්තු ගැටළුව, මුස්ලිම් වරුන්ට එරෙහි ජාතවාදී මතවාදයන් ප්‍රධාන තැනක් ගනී. සියල්ලට වඩා ජාතිවාදීන්ගේ දිව් වලට පැණි රසක් වූ අයි.එස්. අයි.එස්.ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කාරකම් සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගේ හිස මත පවරා මුස්ලිම් ජනතාවට ත්‍රස්තවාදී ලේබල් ගැසීමේ කුහකකම ද මුස්ලිම්වරුන්ගේ අනාගතය බෙහෙවින් ම බලපෑම් සිදු කළ හැකි ප්‍රශ්න යයි කිව හැකිය.

මුස්ලිම් ප්‍රජාවට අත් වී තිබෙන කටුක ඉරණමත් සමග මුස්ලිම් නාමයෙන් සැරිසරන රූකඩ අස්වර්, මුසම්මිල්, සත්තාර් වැනි පාදඩ දේශපාලඥයින්ගේ වියරුවත් ඉවසමින් එළඹෙන මැතිවරණයට මුහුණ දිය යුත්තේ කෙසේ ද යව වගත් අපගේ ඡන්ද බැංකුව ශක්තිමත් හා තීරණාත්මක අවියක් කර ගන්නේ කෙසේ ද යන වගත් අප හමුවේ තිබෙන දැවැන්ත අභියෝග වේ.

පසුගිය කාල වල දී මුස්ලිම් මන්ත්‍රීවරු 18 දෙනෙක් පාර්ලිමෙන්තු යවා අපි අත් කර ගත් දෙයක් නැත. සමාජ සුබ සිද්ධිය හා අයිතිවාසිකම් සුරැකීමේ හඬ නැගිය යුතු අය තම තනතුරු සුරැකීමට හඬ නගමින් සිටීම පමණක් ක්‍රියා කිරීම සියැස් වලින් ම දුටු අප කාටත් අමතක කළ නොහැකිය.

මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න වල දී හා අභියෝග වල දී මුණිවත රැකගත් මුස්ලිම් දේශපාලන කුහකයන්ට මෙවර මැතිවරණයේ දී කිසිඳු සැබෑ මුස්ලිම් වරයෙක් පාර්ලිමෙන්තු වරම් ලබා නොදිය යුතුය. එමෙන් ම අපගේ ඡන්දය අමානතයක් බව වටහා ගෙන, සෑම කෙනෙකුගේ ම අයිතියක් බව වටහා ගෙන සාම්ප්‍රදායික ක්‍රමයට ඡන්දය ප්‍රකාශ නොකර ඡන්දයේ වටිනාකම සනාථ වන අයුරින් මුස්ලිම් සමාජ සුබ සාධනයටත් අනාගත යහ පැවැත්මටත් දායක වන අපට දැනටමත් අහිමි වී තිබෙව අහිමි වෙමින් පවතින අයිතිවාසිකම් නැවත ලබා දීමට වෙර දරණ උගත්, වැදගත්, නිර්භීත, පරාර්ථකාමී හා භාෂාවන් නිවැරදිව හසුරුවන කථිකයින් පාර්ලිමෙන්තුවට යැවීමට මුස්ලිම් ප්‍රජාව වග බලාගත යුතුය.